කිසියම් කෘතියක්‌ පහළ වන්නේ, විශ්වයේ අංශු මාත්‍රයක්‌ ලෙසින් මෙන්ම ඒ කෘතියටම විශේෂ වූ පරිපූර්ණ සහ පෞද්ගලික සමස්‌තයක්‌ ලෙසින් ද බව කිව යුතුය. එය විශ්වයටත්, මානව වින්දනයේ සමස්‌තයටත් සම්බන්ධ වන්නේ පොදු වූද, මූල රූප වූද අවස්‌ථාව මූර්තිමත් කිරීමෙනි. (ග්රැහැම් හෆ්)

නවකතාව (- ප්ලෝබෙයාර් විසින් 1856 දී රචිත මර්ම් බෝවාරි කෘතියෙන් නවකතාව ඇරඹුණ බව ඇතැමුන් ගේ අදහස වුවද, 1740 දී සැමුවෙල් රිචඩ්සන් විසින් රචනා කළ 'පැමෙලා' මුල් නවකතාව වශයෙන් ඇතැමෙක්‌ කරුණු දක්‌වන්නේ, ඊටත් ප්‍රථම ලියෑවුණ ඉතාලි ජාතික ගියෝනි බොකෙෂියෝ ගේ ඩී කැමරන් නමැති, කතා සියයක සංගෘහිතය ද, නවකතාවක්‌ ලෙස නොගැනෙන බව ට අරුත් දක්‌වමිනි. කෙසේ නමුදු නවකතාව නමැති සාහිත්‍යයංගයෙහි ඇරඹුම පිළිබඳ විශ්වාසය 18, 19 යන සියවස්‌ කරා දිවෙන බව පැවසිය හැකි ය.

සෘජුවම මේ සාහිත්‍යාංගය කුමක්‌ ද යන්න පැවසීම දුෂ්කර කරුණක්‌ බැවින් ලොව විවිධ සාහිත්‍යකරුවන් දක්‌වා ඇති නිර්වචනයන් මේ සඳහා විමසීම සුදුසුය. 'අර්ථවත් කතා ප්‍රවෘත්තියක්‌ හා ජීවන දෘෂ්ටියක්‌ ඉදිරිපත්වන්නක්‌ නවකතාව වශයෙන් හැඳින්විය හැකි බව මහචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා පවසද්දී මාර්ටින් වික්‍රසිංහ සූරීන් පෙන්වා දෙන්නේ, 'විශ්ව අනුභූතීන් ග්‍රහණය කර ගනු ලබන මාධ්‍යය නවකතාව බවයි,' මේ පිළිබඳව මහාචාර්ය ඒ.වී. සුරවීර මහතා පවසන්නේ, ' නවකතාව වූ කලී ඒ ඒ රටට, ඒ ඒ සාහිත්‍යයට ඒ ඒ ලේඛකයාට ඒ ඒ කෘතියට විශේෂවන නවතම ලක්‌ෂණයන් ගෙන් යුක්‌ත සාහිත්‍යාංගයක්‌ යනුවෙනි. අපරදිග විචාරකයන් වශයෙන්, ඉයන්වොට්‌ නවකතාව යනු කුමක්‌ද යන්න සඳහන් කළේ, ' නවකතාව විෂයයෙහි පෙර නොවූ විරූ අවධානයක්‌ දක්‌වන සාහිත්‍යාංගය නවකතාව වශයෙනි, අර්නස්‌ට්‌ බේකර් සඳහන් කළේ, ඒ තුළින් 'මානව ජීවිතය විවරණය කෙරෙන අතර ගද්‍යමය ආඛ්‍යානයක්‌ වශයෙන් ද සැලකෙන බවයි. ඊ. එම්. ෙµdaස්‌ටර් සඳහන් කළේ කවර කතාවකින් මෙන්ම නවකතාවකින් ද කතාවක්‌ කියවේ. මේ වූ කලී ජීවිතය පිළිබඳ සාරධර්ම ගැබ් වූ හේතුඵලවාදී ඒකාබද්ධතාවකින් යුතු කතාවකි යනුවෙනි, එසන්වීන් පවසන්නේ, එය කාමර විශාල සංඛ්‍යාවකින් සමන්විත මන්දිරයකට සමානවන බවය. චෙකෝෆ් 'ප්‍රශ්නයක්‌ අවබෝධ කර දීම මිස විසඳුමක්‌ අනාවරණය නොකරන්නේ නවකතාවකි' යනුවෙනුත් ඩේවිඩ් සිසිල් සඳහන් කළේ, නවකතාව යනු 'ජීවිතය පිළිබඳ චිත්‍රයකි' යනුවෙනි. තව දුරටත් නිර්වචන ඉදිරිපත් කර ඇති සාහිත්‍යධරයින් අතර්හෙන්රි ඡේම්ස්‌, ප්‍රාන්ස්‌ බෝපස්‌, වොල්ටර් ඇලන්, අර්නස්‌ට්‌ ග්‍රෙගර් යනාදීන් ද සඳහන් කළ හැකිය.

නවකතාව පිළිබඳ විමසන විචාරකයන් ඒ තුළ තිබිය යුතු ලක්‌ෂණ කවරේද යන්න විග්‍රහකර දක්‌වති. ඉතා කෙටියෙන් සඳහන් කළොත්, එම කතා වස්‌තුව හුදෙක්‌ කර්තෘ විසින් නිර්මාණය කරන ලද නවතම කතාවස්‌තුවක්‌ විය යුතුයි. හේතුඵල සබඳතාව මැනවින් පැවතීමත්, සත්‍යයට ළංවන විශ්වාසනීයත්වයෙන් එය පෙළ ගැසිය යුතය. එය ගද්‍යමය ආඛ්‍යානයක්‌ වශයෙනුත් හුදෙක්‌ කතාවක්‌ කීම පමණක්‌ නොව කලාත්මක ලක්‌ෂණ ඉස්‌මතුවන සේ අවස්‌ථාව හා සිද්ධි නිරූපණය විය යුතුය. භාෂාව වනි පූර්ණ අර්ථ පූර්ණ රස පූර්ණ ලෙස පැවතිය යුතුය. දෘෂ්ටිමය වශයෙන් සමාජ විවරණය හා මිනිස්‌ සිත විවරණය කළ යුතුය. මානව දයාව වැනි උත්තම ගණයේ පුරුෂාර්ථ සාධනය විය යුතුය. චරිත නිරූපණයේ දී තාත්විකව නිරූපණය කිරීම වැනි කරුණු අරුත් ගන්වන ලක්‌ෂණ අතර සුවිශේෂී වන බව කිව හැකිය.

සමාජ සංශෝධනයෙන් හා ආගමික, සංස්‌කෘතික පුනර්ජීවනයෙන් මෙන්ම විනෝදාස්‌වාදය දනවමින් ඇරඹි ලාංකීය නවකතා කලාව ක්‍රමයෙන් වර්ධනය වී දුර ගමනක්‌ පැමිණ ඇත. නමුත් තවමත් සැලකියයුතු වර්ධනයක්‌ සිදුවී නොමැති බව බහුතර විචාරකයන් ගේ මතයයි.

"සිංහල නව ප්‍රබන්ධ හෙවත් නවකතා ආරම්භ වී මේ වන විට ශතවර්ෂයකටත් වැඩි කාලයක්‌ ගතවී ඇත. 1864 දී අයිසැක්‌ සිල්වා ලියූ වාසනාවන්ත පවුල හා කාලකන්නි පවුල යන කෘති සිංහල නව ප්‍රබන්ධයන්හි ආරම්භක කෘතිය සේ සැලකුව හොත් මේ වන විට හරියට ම ශතවර්ෂ එකහමාරක්‌ ගත වී ඇත. ඇතැම් වියතුන් සිතන පරිදි සිංහල නවකතාවේ පුරෝගාමියා බෙන්තොට ඇල්බට්‌ සිල්වා සේ සලකතහොත් සිංහල නවකතාවට මේ වන විට (1986) ශත වර්ෂයක්‌ කල් පිරී ඇත. එදා මෙදා තුර සිංහල නවකතාව ඉතා විසිතුරු වූත්, රසවත් වූත්, සිද්ධීන්ගෙන් ගහන ගමන් මගක්‌ ඔස්‌සේ පරිණාමයට පත් වී ඇති බව පිළිගැනීමට සිදුවේ. ඉතිහාසය අතින් එතරම් පැරැණි නොවූව ද, සෙසු බොහෝ රටවල නවකතාවට වඩා විවිධත්වයක්‌, ගැඹුරක්‌ හා සංකීර්ණත්වයක්‌ සිංහල නවකතාවේ දැකිය හැකිය." (සියවසක සිංහල නවකතා, මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම, 2003, චතුර, පිටු අංක 64)


ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ හම්බන්තොට නමැති දිස්‌ත්‍රික්‌කයට අයත් වනගත ගමක්‌ පසුබිම් කර ගනිමින් "ද විලේඡ් ඉන් ද ජන්ගල් " රචනා කරන ලෙනාඩ් වුල්ෆ් යන නම ශ්‍රී ලාංකික ජනතාවට හුරු පුරුදු නමක්‌ ලෙස මතක සටහන් තුළ සදාතනික ව ලියෑවී ඇති බව නොරහසකි. සාහිත්‍ය පෝෂණයෙහි ලා විදේශික සිවිල් සේවකයන්ගෙන් සිදුවූ සේවය අපට අමතක කළ නොහැක.

කතුවරයා බැද්දේගමට කේන්ද්‍රකර ගන්නේ, වනගත දුෂ්කරව ජීවත්වන අතැඟිලි ගණනට පමණ කුටුම්භ ගතව දිවි ගෙවන ජන පිරිසකි. වනයෙනුත් සොබාදහමේ සෑම ව්‍යසනයකිනුත්, වාණිජමය රුදුරු හස්‌තයේ අහිතකර බලපෑම්වලිනුත් පීඩා විඳින ෙ€දාන්ත රැසකින් සමන්විත අව්‍යාජ අත්දැකීම් රාශියක්‌ කතුවරයා අප හමුවට ගෙන එයි. ඔහු වනාන්තරය, මේ ප්‍රජාව සමග සෑම අතින්ම බද්ධ වී ඇති ආකාරය හා ඔවුන් ජීවත් කරවීමට බඩවියත රැකීමට මෙන්ම, සතුට හා බිය ද එක්‌කරන, පමණක්‌ නොව මරණයට ද මග පාදවන ඔවුන් ගේ හැසිරීම්, සත්ව චර්යාවන් හි සිරි උසුලන ආකාරය දනවන්නට ද, ඔහු සෑම අතින්ම ගන්නා වෑයම හා අවසානයේ මහ වනය විසින් ගම ගිල ගන්නා ආකාරයත් තුළින් පාඨකයා තුළ ශූන්‍යතාවය යන සැබෑ දර්ශනයේ ආලෝකයෙහි චිත්‍රයක්‌ මැවීමට දරන උත්සාහය අගය කළ යුතුය. මෙහි ප්‍රධාන චරිතය ලෙස සිලිඳු සිය බිරිඳ ඩිංගිරිහාමි මෙන්ම නිවුන් දරුවන් වන පුංචිමැණිකා හා හින්නිහාමි පිළිබඳ පාඨක අවධානය යොමු කරවන කතුවරයා සිලිඳු, දරුවන් විෂයෙහිලා දක්‌වන දයාබරත්වය ද, කෘතියෙහි මුල් පරිච්ඡේදයෙන් අවධානයට ලක්‌කරවයි.

"සිළිඳු ගේ ලොකුම සන්තෝෂය වූයේ, වනය ගැනත්, තමා දඩයමේ ගිය ගමන් ගැනත්, දිය කඩවල සමීපයේ රාත්‍රියේ රැක සිටි සැටිත්, ගස්‌ සෙවණේ සිටි සතුන් හා යකුන් ගැනත් තම ළමයින්ට විස්‌තර කර දීම ය." (පිටු අංක 19)

1913 තරම් ඈත කාලයක රචනා වන "ද විලේඡ් ඉන් ද ජන්ගල්" සෑම අතකින්ම පීඩාවට පත් දුප්පත් ගැමියා ගේ ජීවිතය තුළින්, යටත් විජිත සමයේ ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ යථා ස්‌වභාවය නිරූපණය කරන්නට දරන එක්‌තරා වෑයමකි. එය 'බැද්දේගම' නමින් සිංහලට පෙරලන ඒ. පී. ගුණරත්නයන් ගේ උත්සාහය ද ඊටම සමාන වන්නට ඇති බවත් සිතන්නට පොළඹවන බව පාඨක මනසේ ඇඳෙන සිතුවමක්‌ වැනිය. එමෙන් ම එය, පෘථුල පාඨක පිරිසක ගේ සදාතනික ආදරයට පාත්‍ර වන්නේ, එම චරිතවල ස්‌වභාවයන් මෙන්ම ඔවුන් ගේ මනෝ භාවයන් හා වනාන්තර ඇසුරු කර ගත් ජන ජීවිතයේ හරස්‌ කඩක්‌ ඒ තුළින් පිළිබිඹු කරන්නට සමත් වන නිසා යෑයි සිතිය හැකිය.

'ලෙනාඩ් වුල්ෆ්' සිය කෘතිය තුළ අතිශය තත්වාකාරයෙන් ද සුවිශද ලෙසින් ද ප්‍රබල වාග් චිත්‍රයක්‌ නගන්නේ, ලංකාවේ ඈත පිටිසර ගමක වැස්‌සන් තම දිවි රැක ගැනුම් වස්‌ ස්‌වභාව ධර්මය සමග ගෙන යන මේ අරගලයේ දුක්‌ඛ වේදනාවයි. මේ වාග් චිත්‍රය සමග සම්පර්කයට පත් වන අපි ගැමියන් ගේ දුර්දශාවට පදනම්ව පවතින හේතුව වන තාක්‌ෂණික පසු ගැමියාව පසක්‌ කරමු. ඒ අතරම අප හදවත් මේ දුර්දශාව අරබයා කම්පා වෙයි. මේ දුර්දශාවට හේතුභූතව පවත්නා තතු ඉක්‌ම යැමේ ආශාව වුල්ෆ් සූරීන් ගේ කෘතිය තුළ නිධන්ව පවතී. (සාහිත්‍ය කලා ආදිය ගැන, මහාචාර්ය සුචරිත ගම්ලත්, 1995, පිටු අංක 55, චතුර)

වුල්ෆ් වියතාණන් පෙරදිග සිවිල් සේවයට එක්‌ වන්නේ, වයස අවුදු 21 දී පමණ හෙවත් වර්ෂ 1904 දී පමණය, මෙම ඉංග්‍රීසි ජාතිකයා 1908.08.28 දින සිට 1911.05.20 දින දක්‌වා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ උප දිසාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

තම පරිපාලන දිස්‌ත්‍රික්‌කයෙන් හරි අඩකටත් වඩා වැඩි භූමි ප්‍රමාණයක්‌ වනාන්තරයෙන් වැසී පැවති අතර දිස්‌ත්‍රික්‌කයට අයත් මුළු භූමි ප්‍රමාණය වන වර්ග සැතපුම් 1200 ක්‌ අතුරින් වර්ග සැතපුම් 600 ක්‌ පමණ වූ මාගම්පත්තුව පාලන කොට්‌ඨාසය වනයෙන් වැසී පැවති බව සමකාලීන වාර්තා සඳහන් කරයි. අද ද වන සත්ව උද්‍යානයක්‌ ලෙස ප්‍රකට යාල සහ බූන්දල මෙන්ම මෑතක්‌ වන තුරු පක්‌ෂීන් ස`දහා ප්‍රසිද්ධියක්‌ දරන වීරවිල තිස්‌ස අභය භූමිය ද අයත් වන්නේ, එවකට පැවති මාගම් පත්තුව කලාපයටය.

ස්‌වභාව සෞන්දර්යටත් වන සත්ව ජීවීන්ටත් මහත් ඇල්මක්‌ දැක්‌වූ වුල්ෆ් වසර 07 ක්‌ තරම් කෙටි කාලයක්‌ ලක්‌දිව ගත කළද, ගැමි සමාජය තුළ පැවති ආචීර්ණ කල්පික ස්‌වභාවයත් තත්කාලීන ප්‍රශ්න පිළිබඳවත් මනා අවබෝධයකින් සිය නිර්මාණය සිදුකර ඇති බව ප්‍රත්‍යක්‌ෂ වෙයි.

ඔහුට තම නිර්මාණය සාර්ථක කරගැනීම සඳහා මෙම කලාපය හොඳින් නිරීක්‌ෂණය කිරීමටත් ජන ජීවිතය පිළිබඳ මනා පරිචයක්‌ ඇති කර ගැනීමටත් ලද සිවිල් තත්ත්වය ද සිය පරිකල්පන ශක්‌තිය ද පිටුබලයක්‌ වී ඇති බව කිව හැකිය.

කතුවරයා තම සංචාරවලදී දුටු, වනසතුන් ගේ හැසිරීම් වගේම විවිධ අවස්‌ථා දැකුම්කළු සිද්ධි පාඨකයාට පවසන ආකාරයේ නිදසුනක්‌ මෙලෙස තාත්වික වින්දනයට හසුකරලයි.

"නිරිතදිග සුළඟ පටන් ගැනීම සමගම අලියා පෙර පුරුදු ගං ඉවුර කරා ආපසු ඇදේ. එහෙත් ඌරාට හෝ මුවාට හෝ දැන් ඒවා මතක නැත. දිය වළවල ලිස්‌සන ඉවුරු අතරෙන් ඔවුහු ළං විය නොහැකි මේ දිය කඩවල් දෙසට හොස්‌ස දික්‌කර ගෙන රෑ දවල් වටේ කැරකෙති. සමහරු පිපාසයෙන් හා වෙහෙසින් මිය යත්. දිය බීමට කරන උත්සාහයේ දී පය ලිස්‌සා යැමෙන් මේ දියකඩ වලට වැටෙන සමහර සතෙක්‌ හැන්දෑවට එන කොටියාට පහසු ගොදුරක්‌ වන්නේය. පිපාසයෙන් පීඩිත මුව රංචු වියළි කැලයේ එහා මෙහා හැසිරෙත්, මුහුද දෙසින් හමා එන තද සුළඟේ වතුර ඉවක්‌ ඔවුන්ට දැනේ. මුවෝ දිය තිබෙන වැව් ගංගා පසු කර සුළඟේ හමන දිය ගඳ අනුව දවසින් දවස ම මුහුද දෙසට ගමන් කරති, තැනින් තැන නැවති නැවතී කර ඔසවා දිය ඉව අල්ලමින් මුහුදට ම ළං වෙති. මේ ගමනේ දී පිපාසයත් විඩාවත් නිසා අතර මග මිය යන මුවෝ බොහෝය. හිවල්ලු මුව රංචු පිටුපස ගමන් කරමින් කුඩා මුව පැටවුන් ඇද මරා කෑමේ යෙදෙති. පැටවුන් ආරක්‌ෂා කර ගැනීමට තරම් දිරියක්‌ මෙවිට මුව දෙනුන්ට ඉතිරිව නැත. අන්තිමේ දී මේ මුව රංචු අවුත් නැවතෙන්නේ, දිය පොදක්‌ නැති මුඩු මුහුදු කරයෙහිය."

(බැද්දේගම, පරිවර්තනය ඒ.පී.ගුණරත්න, ගුණසේන, 1994, පිටු අංක 6, 7)

බැද්දේගම රචනා කරන්නට ඔහුට ශක්‌තියක්‌ ලබා දුන් ඔහුගේම සටහන් තුළින් ද විශද වන්නේ, සිය අත්දැකීම් පරාසයෙහි පුළුල් බවම බව කිවයුතුය.

එනම්, 1909. 01. 27 දින උදේ පාන්දරින් ම ගඟෙන් එතරව (මැණික්‌ ගඟ) අභය භූමියට (යාල) ගියෙමි. වෘක්‌ෂලතාදියෙන් තොර සෑම විවෘත භූමි භාගයකම ඉතා අලංකාර අංතට්‌ටු සහිත මුව රංචු විශාල සංඛ්‍යාවක්‌ හා මී හරකුන් රාශියක්‌ ද දක්‌නට ලැබිණි. කුඩා මී හරකෙකු තරම් වූ ගෝනෙක්‌ දුටුවෙමි. මගේ කරත්තවලට වඩා සැතපුම් 12 ක්‌ පමණ ඉදිරියෙන් පැමිණ එදින රාත්‍රිය ගත කිරීමට බලාපොරොත්තු වූ මහපොතාන නමැති ස්‌ථානයට පැමිණියෙමි. නබඩගස්‌වැව කණ්‌ඩිය අසල තණ නිල්ලේ යාර 60 ක්‌ පමණ ඈතින් ගස්‌ යට තණ කමින් සිටි මුවන් 70 ක්‌ 80 ක්‌ පමණ අලංකාර දර්ශනයක්‌ නැරඹුවෙමි. අප දුටු මුවන් දුව ගොස්‌ වනාන්තරයේ මායිම අසල නැවතී අප දෙස බලන්නට වූහ. වියළි කාලයේ දී මේ අභය භූමියේ මූලික අවශ්‍යතාව සතුන්ට අවශ්‍ය ජලයයි. එම කාලයේදී අභය භූමියේ මධ්‍යයට ආසන්න විවෘත භූමියේ පිහිටි කුඩා වැව් හා ජල උල්පත් සිඳීයයි. නිරිත දිග මෝසම් සුළං සාගරයේ සිට හමා එයි. මේ කාලයේ දී ගංගා ජලය සොයා ගැනීමට හැකි වනුයේ අලින්ට පමණය. මුවන් හා මී හරකුන්ට ගංගා අමතක වේ. උන් සාගරය දෙසින් හමන ජල වාෂ්ප සහිත සුළඟ දෙසට ඉව අල්ලමින් සුළං දෙසට හිස්‌ හරවා දින ගණන් ගත කරති. සමහර මුවෝ හා මී හරකුන් ගංගාවලට ළඟා වීමට පෙර අධික පිපාසයත් දැඩි වෙහෙසත් නිසා මියයති. 'එංගල්බෙක්‌' මට පැවසුවේ මෙම වකවානුවේදී ඇතැම් මුවන් ජලාශ හා උල්පත් සොයා ගන්නා නමුත් ඒවායේ ජල මට්‌ටම ඉතා පහළින් තිබෙන බැවින් ජලය බීමට නොහැකිව නාසයට ජලයේ ඉව අල්ලමින් ජලාශ වටා ගමන් කරමින් ගත කරන බවයි.

1909.01.30 , උදෑසන ආපසු යාලට පැමිණියෙමි. පස්‌වරුවේ වනාන්තරය හරහා උතුරු දෙසට ගමන් කරන අතර අලි දෙදෙනකු ගේ සටනක්‌ දුටිමි.

ලෙනාඩ් වුල්ෆ් කෘතහස්‌ත මාධ්‍යවේදියෙකු ලෙස හම්බන්තොට වන දිවි වාර්තා කරන්නේ, ඉතිහාසයේ මෙතෙක්‌ කවරෙකු හෝ නොකළ අන්දමට බවට මෙවැනි සාක්‌ෂි කොතරම් ප්‍රබල වන්නේද යන්න විභාග කළ යුතුය.

දහඅට සහ දහනව වැනි ශත වර්ෂ, සමාජයීය, ආර්ථික, දේශපාලන මෙන්ම සාහිත්‍ය හා කලා යන සෑම අංශයකින්ම නව සංකල්ප ඔස්‌සේ මානව චින්තනය සකස්‌වීමට පෙළඹුන යුගයක්‌ ලෙස අවධානයට යොමුවන ආරම්භයකි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සමකාලීන මිනිසා සියුම් හා සංකීර්ණ අධ්‍යාත්මය පිළිබිඹු කරන නිර්මාණ කෙරෙහි දයාර්ද වන්නට විය. සිංහල නවකතාවේ බීජ අවස්‌ථාව විමසීමේ දී, බුදුසමයේ ආභාෂයත් ජනකථා හා බටහිර නවකථාවේ සිද්ධාන්තයනුත් බලපෑ බව මෙන්ම ක්‍රමයෙන් මේ සම්මිශ්‍රණය දේශීයමය රටාවක්‌ දෙසට ගමන් කිරීමේ ස්‌වභාවයක්‌ කාලීනව සිදුවූ බව ද සඳහන් කළ හැකිය.

පියදාස සිරිසේන සූරීන් ගේ ආගමික ආභාෂය තුළින් මතුකළ අධ්‍යාත්මික භාවමය ගුණය ට වඩා වෙනස්‌ ආකාරයකින් රසිකයන් ගේ හදවතට සමීපවන ඩබ්.ඒ. සිල්වා සූරීන් බටහිර නවකතාවේ ප්‍රවණතා කෙරෙහි ලොල්ව ඇති බව ඔහු ගේ නිර්මාණ තුළින් විශද කෙරිණි. සමකාලීන ඇතැම් විචාරකයන් ගේ අදහස වූයේ, ඩබ්.ඒ. සිල්වා සූරීන් මානව ජීවිතය සැබෑ වශයෙන් නොදුටු මනඃකල්පිත සමාජ සිතුවම් ප්‍රකට කරන්නට වෙහෙසුන ලේඛකයෙකු වශයෙනි. සමකාලීන විචාරකයෙකු පවසා තිබුණේ 'රයිගර් හැගාඩ් ගේ 'ෂි' වැනි පොත්වල බලපෑම මොහු ගේ කෘතිවල විද්‍යමාන වීම, ඔහු ගේ කෘතීන්වල පිළිබිඹුවන නොගැඹුරු ජීවන දෘෂ්ටියට හේතු වන්නට ඇති බවයි. එහෙත් තමා හාත්පස ජීවිතය ගැඹුරින් අධ්‍යයනය කරන මාර්ටින් වික්‍රමසිංහ සූරීන් බටහිර නවකතාවේ ලක්‌ෂණ විමර්ශනය කරමින් දේශීය ආකෘතියක්‌ ගොඩනගා ගැනීමට දරන ප්‍රයත්නය හමුවේ පියදාස සිරිසේන, ඩබ්. ඒ. සිල්වා, ගුණදාස අමරසේකර යන ලේඛකයන් ගේ කෘතීන් වෙන් වෙන් වශයෙන් ගෙන සාකච්ඡා කළ හැකි බව පෙන්වා දෙන අතර, මේ පසුබිම ඉතාම කෙටියෙන් සඳහන් කිරීමට සිදුවූයේ, මේ අතරට සපැමිණෙන ලෙනාඩ් වුල්ෆ් ගේ 'බැද්දේගම' එතෙක්‌ පැවති ස්‌වභාවයත් සමග අධ්‍යාත්මික වශයෙන් යාකරන පුරුකක්‌ ලෙස සැලකිය හැකි බැවිනි. එනම් පැවති දේශීය කථා සම්ප්‍රදාය වෙනුවට නව සම්ප්‍රදායක්‌ ඇරඹීමේ ආරම්භය 'බැද්දේගම' තුළින් මනාව ප්‍රකට වීමයි.

වසර 25 ක පමණ තරුණයෙකු ලෙස, දිස්‌ත්‍රික්‌කයේ පරිපාලන නිලධාරී වශයෙන් පත්වන වුල්ෆ් වනාන්තරවල සංචාරය කරමින් මුලදී වනසතුන් දඩයම් කරමින් ගෙවූ දිවිය සිය ජීවන ප්‍රවෘත්තිය තුළ දිස්‌වන අයුරු දිනසටහන් මනාව තහවුරු කරයි.

"1909. 02. 01 උදේ ආහාර ගැනීම සඳහා තල්ගස්‌ මංකඩ දක්‌වා පයින්ම ගොස්‌ පස්‌වරු කටගමුවට පැමිණියෙමි. ගමනේ දුර සැතපුම් 30 ක්‌ පමණය. ගමනේ දී සැලකිය යුතු මුවන් සංඛ්‍යාවක්‌ දු ටු නමුත් වනාන්තරයේ දැඩි කමත් මුවන් ගේ නුපුරුදු කම හා බිය ගතියත් නිසා උන්ට සමීපවීම දුෂ්කර විය. එක්‌ ස්‌ථානයක දී අපට නුහුරු හා නුපුරුදු ශබ්දයක්‌ ඇසෙන්නට වූ අතර වන නිලධාරියා (එංගල්බෙක්‌) එම ශබ්දය වළසෙකු ගේ බවට තීරණය කළේය. එම ශබ්දය ඔස්‌සේ ගමන් කළ අපට දැක ගන්නට හැකි වූයේ, දිය වළක සිටි දැවැන්ත කිඹුලෙකි. ඌට වෙඩි තැබුවෙමි. හෙමින් සීරුවේ ඉදිරියට ඇදෙන්නට වූ කිඹුලා ගේ කටේ දත් නොමැති බව පෙනුනි. (වයස්‌ගත නිසා වන්නට ඇත) කිඹුලා ගේ උගුරෙහි විශාල ඉබ්බෙක්‌ හිරවී තිබිණි. කිඹුලා විසින් ඉබ්බා අල්ලා ගන්නට ඇත. නමුත් දත් නොමැතිකම නිසා ඉබිකටුව විනාශ කිරීමට නොහැකි වීමෙන් ඉබ්බා උගුර දක්‌වා ලිස්‌සා ගොස්‌ හිරවෙන්නට ඇත. අපට ඇසුණ ශබ්දය ඉබ්බා පිට කරන්නට කිඹුලා දැරූ උත්සාහයේ ප්‍රතිඵලයකි. "

"වුල්ෆ් ගේ වන සංචාරයන් තුළ ව්‍යාපාරික ලෙස සංවිධානාත්මක වශයෙන් කරන ලද දඩයම් කිරීමේ ආකල්ප ද ප්‍රකට කෙරෙන්නේ යෑයි ඇතැම් විචාරකයන් ගේ මතය විය. 'දඩයම් කිරීමට අවසර දෙනු ලබන කාල සීමාවන් තුළ දී යුරෝපීය ජාතික දඩයම් කරුවන් නොකඩවා මෙහි පැමිණෙති. රජකුමාර වරුන් ඇතුළු වංශවතුන්, සොල්දාදුවන් හා වැවිලිකරුවන් ද මේ අතර වේ " (වුල්ෆ් චරිතාපදානය පිටුව 178)

මක්‌ෂිම් ගෝර්කි, දොස්‌තයොව්ස්‌කි, ඇන්ටන් චෙකෝෆ්, ඩී.එච්. ලෝරන්ස්‌ වැනි ලේඛකයන් තම රටවල සිදුවූ සමාජ වෙනස්‌වීම මැනවින් වටහාගෙන සමාජ වෙනස්‌වීම මත මානව චරිත වෙනස්‌වන අයුරු තම කෘති මගින් විවරණය කරන්නට සමත් විය. එහෙත් අප රට තුළ, ආරම්භයේ බැද්දේගම, ගම්පෙරලිය වැනි කෘති මගින් ප්‍රකට කෙරෙන වෙනස්‌වීම මූලික වශයෙන් වෙනස්‌වීමක්‌ දක්‌වා ගමන් කර නොමැති බව විචාරක මතයයි. එනම්, වත්මන් සමාජය තුළ ද ඊට සමගාමී චරිත පවත්නා හෙයිනි. කෙසේ වුවත් ගැමි සමාජයේ මානව ජීවිතය මැනවින් ප්‍රකට කරන කෘති අතර බැද්දේගම, ඉහළ අගයක්‌ ගන්නා කෘතියක්‌ බව පොදු පිළිගැනීම වශයෙන් සැලකෙයි. මෙම කෘතිය ගැන අදහස්‌ දක්‌වන මහාචාර්ය උයද ප්‍රශාන්ත මැද්දේගම මහතා පවසන්නේ,

" විදේශිකයෙකු වූ ද ලෙනාඩ් වුල්ෆ් බැද්දේගම නවකතාවේ කර ඇති තරම් ගැඹුරින් හා අවබෝධයකින් ද, මානව භක්‌තියකින් ද, යුක්‌තව සිංහල ගැමි ජීවිතය නිරූපණය කිරීමට සමත් වී ඇත්තේ සිංහල කතුවරුන් දෙතුන් දෙනකු පමණි. ලෙනාඩ් වුල්ෆ් ලියූ කාලයට වඩා අද, අප සමාජය කෙතරම් වෙනස්‌ වුවත් ගම්බද සමාජය තුළ තිබෙන ප්‍රශ්නවල ස්‌වරූපය පවා, එකලට වඩා බෙහෙවින් ම වෙනස්‌ වුවත්, නූතන ඇතැම් කතුවරුන් තවමත් තෝරා ගන්නේ, තමන් ප්‍රත්‍යක්‌ෂ වශයෙන් නොදත් තරමක්‌ පැරණි කාලයේ ගැමි සමාජයයි. මේ හේතුව නිසාත් මෙම නූතන කතුවරුන් ගෙන් ඇතැම් අය සැබැවින් ගම ගැන කිසිවත් නොදත්කම නිසාත් ඔවුන් ගේ කෘතීන්හි නොගැඹුරු බවක්‌ මෙන් ම අත්දැකීම් අතින් ඒකාකාරී බවක්‌ ද ඉදිරිපත් කරන අදහස්‌වල ව්‍යාජ බවක්‌ ද පිළිබිඹු වේ" යනුවෙනි.

බැද්දේගම ජීවන ප්‍රවෘත්තිය තුළින් ඉස්‌මතුවන සිලිඳු, බිරිඳ ඩිංගි හාමි, මුලාදෑනියා බබෙහාමි, කර්ලිනා හාමි, ආරච්චිල, ආදී චරිතයන්හි හැසිරීම නවකතාවක්‌ වශයෙන් පාඨකයාට ඉදිරිපත් කරන කතුවරයා එකී දාවිතයා ගේ විවරණය මනාව සිදු කරනු ලබයි. නවකතාවක ලක්‌ෂණයක්‌ වන මිනිසා ගේ ජීවන අභිප්‍රාය සාහිත්‍යයට පිවිසීමේ දී ජීවිතය පිළිබිඹු කිරීම මැනවින් මෙහි තහවුරු කරයි.

"උඹේ මිනිහා කිව්ව හරි, මේ මාසෙ තමයි, ළමයි මැරෙන්නෙ, ගිය අවුරුද්දෙ හරියට මේ මාසේ මගෙ ළමයෙකුයි අපේ අයියගෙ හාමිනේ ගෙ ළමයෙකුයි දෙන්නෙක්‌ම වැළලුවා. හොඳ වැස්‌සක්‌ දැන් කිසිදවසක වහින්නෙ නෑ. හැම තිස්‌සෙම බඩගින්නයි, උණයි. පුංචි උනුයි වයසක උදවියයි මැරි මැරී යනවා." (බැද්දේගම පිටු අංක 24)

"පුංචි මැණිකා හෙමින් හෙමින් අඩිපාරේ පහළට ගමන් කළාය. අවට සෞන්දර්යයෙන් උද්දීප්තිමත් වූ ඇගේ ශරීරයේ ලේ, අමුතු උෙද්‍යාaගයකින් නහර දිගේ දිව්වේය..

අතරමග පිටිපස පඳුරක්‌ අසල සෙලවෙන කිසිවක්‌ දැකීමෙන් ඈ ගල් ගැසුණාක්‌ මෙන් නැවතිණ. වන රොදින් මෑත්ව ඈ දෙසට බබුන් අප්පු එනු දුටු ඈ බියෙන් වෙව්ලා ගියාය. බබුන් අප්පු ගේ දෙනෙත් දීප්තිමත්ව පෙනිණ...

"අයියෝ මං බයවෙච්ච තරමක්‌ ¾ මට හිතුණෙ ගස්‌වල ඉන්න යකෙක්‌ය කියා. පුංචි කාලෙ අප්පොච්චි අපට කීවා ගස්‌වල ඉඳලා යක්‌කු ඇඟට පනිනවා පරිස්‌සම් වෙන්න ය කියා."

එහෙත් ඇගේ ඇඟට ඔහු අත තබන විට බියෙන් හා රාගයෙන් ඇගේ මුළු සිරුර වෙව්ලන්නට විණි. ඈ ඔහුත් සමග පොර බැදුවාය. " (පිටු අංක 38)

කවීන් මෙන්ම නිර්මාණ කරුවන් වර්ණනාත්මකව වනාන්තර අගයන නමුත් මිනිසා තුළ මහවනයක දී පවතින, මතු කරන, බියත් වන සතුන් ගේ චර්යාවන් මෙන්ම අප වුවද ආරක්‌ෂාව පිළිබඳ සහතිකයක්‌ ඇතොත් පමණක්‌ සොඳුරු දසුනකින් බැලුව ද, කතුවරයා තම සිතැඟි මේ ගම් වැසියන් ගේ ජීවන අත්දැකීම් තුළින් පාඨකයාට සැබෑ චිත්‍රයක්‌ මතුකර පෙන්වන්නට දරන උත්සාහය අගේ කළ යුතුය.

"ලෙනාඩ් වුල්ෆ් නිරූපණය කරන බැද්දේගම වැස්‌සෝ ස්‌වභාවධර්මයේම අවියෝජනීය කොටසක්‌ වන අතර තම දිවි පැවැත්ම සඳහා අවශ්‍ය දෑ එම ස්‌වභාව ධර්මයෙන් ම උපුටා ගැනීමට ඒ සමග කටුක අරගලයක නිරතුරු නිරතව සිටිත්. මේ ප්‍රබල අරගලය මධ්‍යයේ දී ඔවුන් ගිල ගැනීමට මාන බලා ගෙන සිටින්නේ, ගොර බිරම් වනය පමණක්‌ නොවේ. මුලාලිලා ඔවුන් ගේ අල්ප නිෂ්පාදන ගසා කති. තාක්‌ෂණික නොදියුණු කම නමැති තෝතැන්න මත වැවී ඇවිත් තිබෙන අන්ධ විශ්වාස නමැති උරචක්‍රමාලය ඔවුන් ගේ ගෙල වටා භ්‍රමණය වෙයි." (සාහිත්‍ය කලා ආදිය, මහාචාර්ය සුචරිත ගම්ලත්, ගොඩගේ, 1995, පිටු අංක 54) මෙහිදී ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ, වාණිජ්‍යය, ඔවුන් ගේ ම අන්ධ විශ්වාස පමණක්‌ නොව පාලක පක්‌ෂයේ සූරා කෑමට ද නතුවන ඔවුන් බරපතළ ලෙස ව්‍යසනයට පත්ව දිවි ගෙවන ලද ප්‍රජාවක්‌ ද වශයෙනි.

වනයට බිය නැතැයි වහසි බස්‌ දොඩමින් පුරසාරම් දොඩන ඇතැමුන් පිළිබඳ අප සැබෑ ජීවිතයේ දී ද දැක ඇති අතර, ඕනෑ තරම් ඔවුන්ට වැරදීම් සිදුව ජීවිතයට පවා හානි වී ඇති බව නොකිව මනාය. කතුවරයා අපට මෙය සාක්‌ෂාත් කරන්නේ මෙලෙසයි,

අපි වනයට බිය නැතැයි වහසි කියන්නෝ සිටිත්, තමන් ගේ ගෙමිදුල හෝ නුවර වීදි හෝ මෙන් වනය ද තමන්ට හුරු බව සමහරු කියත්. එහෙත් එසේ කියන්නෝ පුරසාරම් කාරයෝ නොවේ නම් වනයේ නියම තත්ත්වය පිළිබඳ තේරුමක්‌ හෝ හැඟීමක්‌ හෝ නැති මෝඩයෝය.

"ඔහු දඩයක්‌කාරයෙකි, දඩයක්‌කාරයන්ට මග පෙන්වන්නෙකි. වකුටු ගැසී රිංග රිංගා ගස්‌ හා පඳුරු අතරින් එබි එබී මුළු ජීවිතය ම ගත කළ ඔහු කුදු ගැසී ගිය උරහිස්‌ හා නිතර එබිකන් කරමින් බලන තියුණු කපටි කුඩා දෙනෙතක්‌ ද සිදුරු හා රැළිවලින් ගහන වූ අඳුරුවන් කුඩා මුහුණක්‌ ද ඇති පුංචි මිනිහෙකි. ඔහු දිවියෙකුට වඩා නිසොල්මන්ය. හිවලෙකුට වඩා කපටිය, රැළක නායක මුවකුට - නැඩයකුට වඩා හොඳින් ඔහු වනයේ මග තොට දනී. යටි සුළඟේ සිටින මුවකුට ඉව වැටෙන්නට පෙර තමාට වූ පෙනෙන බවත්, ඝන ලැහැබක සිටින දිවියෙකු විසින් තමා දකිනු ලබන්නට පෙර තමාට ඌ දැකිය හැකි බවත් පුරසාරම් කියයි. " (පිටු අංක 2)

මොනව කියන්ඩද අයිය. මට ඒක කරන්ඩ බෑ එහෙම එකක්‌ අපට වෙන්ඩ තියනවා නම් වෙච්චාවෙ. කවදත් මේ ගෙදරට මේ කැලෙන් අපල කඩා වැටෙනවා කියා අප්පොච්චි හැමදාම කියන්නෙ, ඉස්‌සර වෙලාම කන්ඩ නැතුව ගියා ඊට පස්‌සෙ අප්පොච්චිට යකා වැහුණ, ඊට පස්‌සෙ නංගිට යි එයා ගෙ ළමයට යි, මගෙ ළමයට යි තවත් අපල ළමයි මළා. මිනිස්‌සු පුංචි අප්පුව මැරුව, නංගිවත් මැරුව. දැන් තවත් අපල, තවත් නස්‌ පැත්ති. මොනව කරන්ඩ ද?"

කතුවරයා එම සමාජ පරිසරය හොඳින් අවබෝධ කර ගෙන, අත්දැකීම් විෂය කර ගෙන චරිත පණ පෙවීමෙන් නිර්මාණය බෙහෙවින් රසවත් වීමට හේතු වී ඇති බව කිව යුතුය. ගැමි වහර ඇසුරින් විශ්වාසණීයත්වය ද ආරක්‌ෂාවන පරිදි පියවරින් පියවර බැද්දේගම ට පාඨකයා කැඳවා ගෙන යන්නේ කුතුහලය ද මවමිනි. එමෙන්ම පරිවර්තක ගේ කාර්ය භාරය ද පාඨක හද දිනා ගැනීමට සමත් වන ආකාරයක්‌ විශද කරයි.

"දෙවියන්ට භාරහාර වී සිටි මිනිස්‌සු දූවිලි සහිත මග දිගේ පෙරළෙමින් ගියහ. දරුවන් නැති මව්වරු අඩියෙන් අඩියට නළල් තල බිම එබූහ..." (පිටු අංක, 82)

"බැද්දේගම වැසියන් තුළ පැවති ඇදහිලි විශ්වාස අතර යකුන් යක්‌ෂණියන් ප්‍රධාන වී ඇති අතර ඔවුන් ගේ කථාන්දර වලද ජීවත්වූයේ ඔවුන්මය. වනාන්තරයට ඇළුම් කරමින් වැඩිපුරම එහි ගතකළ 'සිලිඳු' ගේ හැසිරීම විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන්නේ වන සතෙකු ගේ චරියාවන්ට ඇතැම් කරුණු සමාන වන බවයි. (ඔහු ගේ දරුවන් වූ) පුංචි මැණිකාටත් හීන්හාමිටත් තුන් අවුරුදු වයස්‌ වන තුරු උන් ඉන්නවා ද මළා ද කියාවත් සිලිඳු නො බැලූ තරම් ය. මිදුලේ හෝ පිලේ හෝ සිටි දරුවන් සිලිඳු නොදුටුවේ ය. කිසි දිනෙක උන් ගැන කතා ද නො කෙළේය."( පිටු අංක 15)

ඉතාමත් අල්පේච්ඡ ජීවිතයක්‌ ගත කරන බැද්දේගම වැසියන් අවංක බව හා පිවිතුරු බවේ අගය සුරකින්නේ ඇතැම්විට මරණය වුව ද නොතකාය. දූෂණය නොවූ සංස්‌කෘතියක ලක්‌ෂණ විදහාපාන බැද්දේගම තත් යුගයේ වනාන්තරයට මැදිවූ ගූඪ ලක්‌ෂණවලින් පිරුණ මිනිස්‌ කොට්‌ඨාසයක හැසිරීම් රටාව යථාර්ථවාදීව විදහා දක්‌වන්නකි.

එමෙන්ම වැඩවසම් ක්‍රමය තුළ පරිපාලන රටාව සමාජය දැඩි දෝශ දර්ශනයට ලක්‌ කරන සිද්ධිවලින් බහුල එකකි. කෝරාල, ආරච්චිල, මුලාදෑනීන් තම වපසරිය තුළ මහේ ශාඛ්‍යයන්ය. ඔවුන් කිසිදු ආගමකින් හික්‌මවූවෝ නොවෙති. හිතු මනාපයට කටයුතුකළ ඔවුන් හා ඔවුන් ගේ වරිගය පිළිබඳ කොතෙක්‌ ඇතුළු හද කම්පාකළ ද සමකාලීන සමාජය තුළ දිවි ගෙවූවන් ඒවා බර පතළ ලෙස විඳ දරා ගන සිටි බව නොරහසකි. මේ සැබෑ ජීවිතය ගැඹුරින් විවරණය වූ නවකථා පසු කාලීනව ද රචනා විය.

නගරයේ නිරර්ථක ජීවිතය හෙළා දකින ගැමියන් වනයට ආශා කළෝය. කෘෂි ජීවිත ගත කරන ගැමියන් ගේ එකමුතු භාවය පිළිබඳ විශ්වාසයක්‌ බැද්දේගම තුළින් ඉදිරියට නොපැමිණෙන අතර ආත්ම විශ්වාසය බිඳී ගිය දුක තැවරුණ ජීවිත සමග සොබාදහමේ කෲරත්වය කතුවරයා අප හමුවට ගෙනෙන්නේ, අනුකම්පාව උපදවන විලාශයකිනි.

"1909. 11. 09, ගඟ ඔස්‌සේ යාල ප්‍රදේශයේ සංචාරයක්‌ කළෙමි. අපට යාර කීපයක්‌ ඔබ්බෙන් කොටියෙකු ගසකින් බිමට පැන දිව ගියේය. මෙහි දී බිම සිට අඩි 12 ක්‌ පමණ උඩින් ගසක අත්තක තබා තිබූ සම්පූර්ණයෙන්ම වැඩුණු මුවකු ගේ අඩක්‌ පමණ කා අවසන් කළ මළකුණක්‌ දැක ගත හැකි විය.(චරිතාපදානය)

වන සතුන් හා පරිසරය විඳිමින් තම අත්දැකීම් තුළින් නිර්මාණ කරණයට පිවිසීමෙන් කාල්පණික මායා ලෝකයෙන් බැහැරව සොබා දහමේ සිතුවම් නිර්මාණය කරන්නට වුල්ෆ් ට හැකිවිය.

"සිලිඳු ගේ සිතුම් පැතුම් ද අදහස්‌ උදහස්‌ ද බොහෝ සෙයින් පුදුමය. වනයට වුවත් සාහසික වැඩිය, ඔහු ගේ කෝපය ඇවිස්‌සීම ලෙහෙසි නොවේ. යනුවෙන් හඳුන්වන කතුවරයා, තව දුරටත් පවසන්නේ, ඔහු ගේ කෝපය ඇවිස්‌සුණහොත් පැය ගණන් දවස්‌ ගණන් ඔහු පැල්පත යටට වී කෝපයෙන් දැවෙමින් දහ අතේ හිතයි. ඊට පසු හදිසියේ එතනින් නැගිට සතුරා සොයා ගොස්‌ වන මෘගයෙකු මෙන් ඔහු කරා කඩා පනී." (බැද්දේගම පිටු අංක 12)

"වුල්ෆ් ගේ චරිතාපදානය ඔහු ගේ සැබෑ දිවියේ තතු මනාව චිත්‍රණය කරයි. තමා ගේ අවසාන අවුරුද්දේ දී තමාට මිඩංගු කළ හැකි උපරිම කාලය වනාන්තරවල රාත්‍රි කාලවලදී දිය වළවල් හා ජලාශ අසල ගත කරමින් ද, වන සතුන් සෝදිසි කමින් ද ගත කළ බව වාර්තා කරයි. දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වුවද, වන සතුන් දඩයම් නැවැත්වීමට තමා ගත් නොයෙක්‌ උත්සාහයන්ට තමාම ආදර්ශයක්‌ වෙමින් තමා ගේ ආහාරයට පමණක්‌ හැර වෙඩි තැබීම අත්හළ බව පවසයි. වනාන්තර සම්බන්ධවත්, දඩයම් කරන්නන් හා වෙඩි තබන්නන් ගැනත් ඔහු ගේ අත් දැකීම් හා දැනුම ක්‍රමයෙන් වැඩිවීමත් සමගම එම කටයුතුවල දැඩි ලෙස යෙදී සිටී. තමාගේම සුදු ජාතිකයන් කෙරෙහි අප්‍රසන්නතාවකින් සිටි බව ද හෙතෙම පවසයි." (වුල්ෆ් ගේ චරිතාපදානය හෙවත් ග්‍රෝවින් හි පිටු අංක 100) ඇසුරින් සම්පාදිත, ඒ ඩී පෙතන්ගොඩ ගේ වන දිවි තොරතුරු ලිපියෙනි )

පරිවර්තකයා සිය බස කාව්‍යමය ආකාරයකින් හසුරවනු ලබයි. චරිත නියෝජනය කරන සමාජ ස්‌වභාවය, ගැමි වහර, එහි අරුත් මෙන්ම චරිතයන් ගේ ක්‍රියාකාර කම් හි භාෂාවෙහි බැඳීම උපයුක්‌ත භාෂාවෙහි නිර්මාණාත්මක ලක්‌ෂණ මතු කරවන්නකි.

මේ අනුව බ්‍රිතාන්‍ය පාලන සමයේ එක්‌ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ලෙනාඩ් වුල්ෆ් උත්ප්‍රාසාත්මක ගුණය මුසුකරමින් රචිත "ද විලේ- ඉන් ද ජන්ගල්" තුළින් මෙතෙක්‌ දැක්‌වූ සියලු කරුණුවලට අමතරව අනාදිමත් කාලයක සිට ස්‌ත්‍රිය රැක ගෙන එන ධර්මතාවයන්හි ලක්‌ෂණයන් ද මතුකරලන්නේ තාත්වික ආකාරයෙනි.

"ඔව්, අප්පොච්චි, ඔව් ඔක්‌කොම මුදලාලිට මං ඕන කරපු නිසා තමයි. ඊට පස්‌සෙ උන් අපේ හේන ගත්ත. ඊට පස්‌සෙ නඩුවක්‌ පටලල මගෙ මිනිහ උදුරා ගත්තා. මං මොකද කරන්නෙ?"

ගැමි ජීවිතය වෙලන ඉතාමත් කෲරතර කටුක මෙන්ම අනුකම්පාව සේදී ගිය සමාජ යථාර්ථය සෞන්දර්යාත්මකව අවලෝකනය කරන පියවතී සහ ඇගේ පුත්තු, ජීවිතයේ කොටස්‌ කාරයෝ, මල්දෙණියෙ සිමියොන්, මම ඔබ සිඹිමි, පද්මාවතී, ජීවිතය සුන්දරය, මිහිසරණ, මෙන්ම ගැමි දිවිය හා අගහිඟකම නමැති රුදුරු රකුසා ගේ ග්‍රහණයෙන් මිරිකෙන චරිත රැගත් උඩුසුළඟ, දඩබිමෙන් දඩබිමට, මහකන්ද පාමුල ආදී නවකතාවන් ගෙන් වෙනස්‌ව බැද්දේගම රචනා වී තිබුණි ද පීඩාකාරී මෙන්ම අති දුෂ්කර ජීවිත ගත කරන්නන් ගේ ෙ€ද වාචකය අප හමුවට ගෙන එන්නේ, සමස්‌ත ස්‌ත්‍රී ප්‍රජාව කෙරෙහි මානව දයාවෙන් බැලිය යුතු බව පසක්‌ කරමිනි. කතුවරයා දුර සිට දුටු ගමක චිත්‍රයක්‌ පාඨකයා වෙත ඉදිරිපත් කරන බව ඇතැම් මත අතර වුව ද, ඔහු ගේ ජීවන ප්‍රවෘත්තිය විමසීමේ දී මෙන්ම චරිත හැසිරවීමේ දී එය සාවද්‍ය වන ලක්‌ෂණ ප්‍රකට වන බව කිව නොහැකිද යන්න විමසිය යුතුය.

එකල ගැමි සමාජයේ බලවතුන් ලෙස කැපී පෙනෙන ආරච්චිල, වෙදරාල, මුදලාලි, යන චරිත ගැමියන් හා කරන ගනුදෙනුව ව්‍යාජ අනුකම්පාවේ සාකල්‍යයන් ගෙන් පිරුණකි. ඔවුන් සතු සමස්‌තය ග්‍රහණයට ගන්නා අතර ලිංගික සූරාකෑමට ද නොපසුබට වන ආකාරය තත්කාලීන සමාජ සිදුවීම් තුළ බහුලව එන්නකි.

හම්බන්තොට දිසාපතිවරයා වශයෙන් කටයුතු කරමින් 1913 දී ලෙනාඩ් වුල්ෆ් රචනා කරන 'බද්දේගම'නවකතාවෙහි බබුන්, සිලිඳු සහ පුංචිමැණිකා වැනි චරිත තුළින් ලාංකීය පීඩිත අසරණ සමාජ තලයත් ප්‍රනාන්දු සහ ආරච්චිල යන චරිත හැසිරවීමත් නිලධාරී යාන්ත්‍රණය මෙන්ම සුළු ධනේශ්වර චින්තනයේ බලපෑමත් ප්‍රතීයමාන කරන්නේ, අකාලික දහමක සේයාවෙනි. සරණක්‌ නොමැතිව අපේක්‌ෂා භංගව අසරණ භාවයේ පතුළට වැටී පරපීඩිත කාමිකයන්ගේ අසාධාරණයන්ට වහල්වන සමාජීය චරිත එදා මෙදා තුර අපි අත්විඳින්නෝ වෙමු. ධනය සහ බලය ජීවිත වහල් භාවයට පත්කර ගන්නා ආකාරය සිලිඳුලා, බබුන්ලා ගේ කඳුළුවලින් සටහන් කර තබා ඇත. මානව වටිනාකම් තුට්‌ටුවකට මායිම් නොකරන ධනයෙන් සහ ආත්ම වර්ණනාවෙන් පිම්බුනු හිස්‌ මිනිසුන් ගේ නූතන හැසිරීම්, අපට මැනවින් වටහා දෙන්නට පුංචි මැණිකා ගේ අසරණ ජීවිතය හොඳටම ප්‍රමාණවත්ය. සමාජ අසාධාරණය වෙනුවෙන් නැගී සිටීමට චිත්ත ධෛර්යය සපයන එළඹුම සිය කුටුම්භය විනාශ කිරීම වෙනුවෙන් සිලිඳු අවි අතට ගැනීම සාධාරණය ඉටු කිරීමට නීතිය වසන්වීම තුළ කැලෑ නීතිය ඉස්‌මතු වීමක්‌ විදහා පෑමක්‌ පමණක්‌ නොවන අතර හෘද සාක්‌ෂිය සමග පොරබැදීම මිනිසෙකුගේ චිත්ත ස්‌වභාවය වෙනස්‌ වීමට බලපාන ආකාරය විසද කරයි.

තත්කාලීන ලෝක දේශපාලන වෙනස්‌වීම් සාහිත්‍යට නැගූ ලේඛකයන් අතර ඩී.එච්.ලෝරන්ස්‌, ඇන්ටන් චෙකෝෆ්, දොස්‌තයොව්ස්‌කි, මක්‌ෂිම් ගෝර්කි, ටොල්ස්‌ටෝයි ආදීන් තම රට තුළ සිදුවූ ආර්ථික හා සමාජ දේශපාලන වෙනස්‌වීම් ග්‍රහණයට නතු කර ගත් අතර තත්කාලීන මානව ක්‍රියාකාරකම්හි වෙනස්‌වීම් සිය සාහිත්‍යය වර්ණවත් කිරීමට ද යොදාගත්හ. 'බැද්දේගම' 'ගම්පෙරළිය' වැනි නවකතා අපේ හදවත් තුළින් මකා දැමිය නොහැක්‌කේ වර්තමානයේත් මේ චරිත දෘශ්‍යමාන වන නිසාම ද යන්න විමසුමට ලක්‌කළ යුතු වෙයි. මෙයින් ගම්‍යවන කරුණු අතර සමාජ විපර්යාස පිළිබඳ දුර දක්‌නා නුවණ දේශපාලනඥයන්ට ප්‍රථම සාහිත්‍ය කරුවා විනිවිද දකින බවය. ලාංකීය සමාජය තුළ 1917, 1945, 1947, මෙන්ම 1971 දී ද, වටිනා තරුණ ජීවිත දහස්‌ ගණනක්‌ අපට අහිමිවීම, 1980 මහා වැඩ වර්ජනය, 1983 කළු ජූලිය, 1987 ජීවිත අහිමිවීම හා ජන ජීවිතය කඩා වැටීම මෙන්ම 30 වසරක්‌ තිස්‌සේ පැවති ඊළාම් යුද්ධය ආදිය තුළින් අභියෝගයට ලක්‌වූයේ මානව ජීවිතයේ පැවැත්මයි. මේ ඝාතනයන් සහ විනාශයන් හි පශ්චාත් සමය තුළ වුල්ෆ්ලා බිහි නොවුණත් ඔහු මේ සමාජ අසාධාරණයන් පිළිබඳ සේයාවක්‌ දුටු නිර්මාණ කරුවන් අතර පෙළට සිටුවිය හැකි මෙන්ම අනාගත පරම්පරාවන් කරා ද මෙහි සේයාවන් ගමන් කරන්නේ සන්තාන ගත ෙ€දවාචකයන් වශයෙන් නොවේ ද.

පොදු මනුෂ්‍ය ජීවිතයේ සැබෑ තොරතුරු අතර වන්නා වූ සුචරිතවත් කම් දුෂ්ටකම් මෙන්ම කුහකකම් හා මෝඩකම් ද පිළිබිඹු කරන 'බද්දේගම' වනාන්තරය මැද බිහිවන ගම, අවසානයේ වනය විසින්ම, ගිල ගන්නා ආකාරය මවා පාන්නේ, සොබාදහමේ සැබෑ ස්‌වරූපයත්, මානව ජීවිතයත් එහි ගූඪ භාවයනුත් ශූන්‍යත්වය හෙවත් අනියත දහමෙහි ස්‌වභාවයත් දාර්ශනික වියමනක ආකාරයෙනි.

සුනිල් කුමාරසිංහ අතුකෝරල

සිංහල රජවරුන්ට රාජ සභාවට හාස්‍ය ලබා දුන් විකටයන් අතීතයේ සිටම සිට ඇත. එහෙත් ඔවුන් පිළිබඳ තොරතුරු වංශකථාවල සටහන් වී ඇත්තේ ඉතා අඩුවෙනි. සංස්කෘත නාට්‍යවල ”විදූෂක” නම් විකට චරිතයක් එයි. ”මැටි කරත්තය” සංස්කෘත නාට්‍යයේ විදූෂකගේ නම මාධ්‍යවයි. ලංකාවේ එවැනි නාට්‍ය ග‍්‍රන්ථ ලියවුණේ නැත. එහෙත් අතීතයේ සිටම රජවරුන්ට විකටයන් සිටි බවට ඔවුන්ගේ රාජකාර්යය රජු හා රාජසභාවට විකට රසය-හාස්‍ය-ලබා දීම බව පෙනෙයි.



යසළාලකතිස්ස රජුකල දොරටුපාල ශුභ

මහාවංශයේ 35 පරිච්ෙඡ්දයේ 52-56 ගාථාවල යසළාලකතිස්ස රජුකල (ක‍්‍රි.පු.5260) රජුගේම හැඩරුව ඇති ”ශුභ” නම් දොරටුපාලයෙක් සිටි බව කියවෙයි. ඇමතීන් රාජසභාවට ආ විට දොරටුපාලයා රජ වෙස් ගන්වා සිංහාසනයේ තබා යසළාලකතිස්ස රජු දොරටුපාල වෙස්ගෙන ඇමතීන් රැුවටීම කාලයක් සිදු විය.
සිංහාසනයේ සිටිනුයේ ශුභ දොරටුපාලයා බව ඇමතිවරුghkl නොදැන සිටියහ. රජු දොරටුපාල වෙස්ගෙන දොරටුපාල ශුභ සිංහාසනයේ තබා රාජසභාව රැුවටීමෙන් රජු විනෝදයක් ලබා ඇත. කලක් මේ වෙස්වළා ගැනීම සිදුවිය.

දිනක් රජුට දොරටුපාල වෙස්ගෙන සිටියදී සිනහා පහළ විය. සිංහාසනයේ සිටි දොරටුපාල ශුභ රාජසභාවේ දොරටුපාලයා සිනහා වීමෙන් අවමානයක් සිදු වූ බව කියා දොරටුපාලයාගේ හිස ගසා දැමීමට නියම කරයි. දොරටුපාලයා තමා රජු බව කොතෙක් කීවත් වධකයෝ ඒ නොපිළිගත්හ. දොරටුපාල ශුභගේ අණින් නියම රජු වූ යසළාලකතිස්ස මැරුම් කෑවේය. මේ අනුව යසළාලතිස්ස රජු මරා රජ වූ ශුභ අනුරාධපුර අලූත් රාජ පරම්පරාවක් ආරම්භ කළේය.
උත්සව අවස්ථාවල රජු තම රාජාභරණ වෙනත් අයකුට තාවකාලිකව පළඳවා වින්දනයක් ලැබීම අතීතයේ තිබූ විරල චාරිත‍්‍රයක් බව මේ ගැන විවරණය කරන මහාචාර්ය පරණවිතාණ පෙන්වා දෙයි. සිංහාසනයේ කීපවිටක් ඉඳගත් දොරටුපාල ශුභට ඇමතීන් වැඳ ආචාර කරනවිට රජු මරා රජ වීමට ආශාවක් සැබෑවට තිබූ බව පෙනෙයි.


රජු හා ශුභගේ රූපයද එක සමානය විය. යසළාලකතිස්ස රජු මැරූ දොරටුපාල ශුභගේ ශිලාලිපි දෙකක් ලැබී ඇත. ඒ කයිනාට්ටම් හා විහාරයේ ගල යන ශිලාලිපි දෙකයි. මෙම ශිලා ලිපි දෙක අනුව දොරටුපාල තනතුරේ සිටි යසළාලකතිස්ස රජු මරා රජු වූ ශුභගේ නියම නම සබ බව පෙනී යයි.


මාතලේ කවටයාමුණ විසු  සොළී රටින් ආ සිරිමෙවන් විකට යෝධයා.

මාතලේ සිට ගලේවෙලට විහිදෙන පාරේ මහවෙල ගම හමුවෙයි. මහවෙලට නුදුරුව කවටයාමුණ රජමහා විහාරය ඇත. ඉතා ශක්ති සම්පන්න යෝධ සිරුරක් තිබූ සිරිමෙවන් නම් යෝධයා මේ විහාරය හා ඒ අසල කුඹුරු වගා කිරීමට ඇළක් කළ බව කියවෙයි. අනුරාධපුර මුල් යුගයේ සිටි සිරිමෙවන් යෝධයා සොළී රට පරදවා 24000 හමුදාව ආපසු ගෙනා පළමු ගජබාහු රජුකල සොලී හමුදාවේ සිටි මේ අවට ඔහු පදිංචි කරවූ පසු ගැමියන් සමග විකට කථා කියමින් ජනප‍්‍රිය වූවෙකි. සොලී රට සිට මෙහි අවුත් පදිංචි වූ සිිරිමෙවන් යෝධයා කරවූ විහාරය අදත් කවටයාමුණ නමින් ප‍්‍රසිද්ධය.




අනුරාධපුර යුගයට පසු කාලය - සීතාවක අරිට්ට කී වෙණ්ඩු.

අනුරාධපුර මුල් අවධියේ සිට සෙංකඩගල අවධිය දක්වාම රාජකීය විකටයන් සිටි බවට තොරතුරක් නොලැබෙයි. එහෙත් සීතාවක රාජසිංහ රජුකල (1581-1592) සිට ”අරිට්ඨ කී වෙණ්ඩු” නම් ආඬි ජාතිකයා පිළිබඳ තොරතුරක් ”රාජාවලිය” හා ”අලකේෂ්වර යුද්ධය” වංශකතාවල එයි. ”චූලවංශය” අනුව සීතාවක රාජසිංහ රජු පියා මරා රජවිය. (එහෙත් චූලවංශයේ මේ ප‍්‍රවෘත්තිය සනාථ කිරීමට සාධක නැත.* පියා මැර වූ ශාපය දුරුකළ නොහැකි බව බෞද්ධ භික්ෂුහු පෙන්වා දුන්හ. ඒ පංචානන්තරිය පාපකර්මයක් බැවිනි.

එහෙත් සීතාවක කල දඹදිව සිට පැමිණි ආඬි ජාතික ශිව භක්තිකයෙක් වූ කපටි අරිට්ඨ කී වෙණ්ඩු සීතාවක රාජසිංහ රජු රවටා විශාල ශාන්ති කර්මයකින් පීතෲ ඝාතක පාපය දුරු කළ හැකි බව කියා රජු ශිව ආගමට හරවා ගත් බව කියවෙයි. ඒ නිසා අරිට්ට කී වෙණ්ඩු මාන්නප්පෙරුම මොහොට්ටාල හෙවත් ජයවීර බණ්ඩාර නමින් සිංහල ප‍්‍රභූනාමයක් ගෙන සීතාවක රජ පවුලෙන් විවාහයක් කර ගැනීමටද සැරසී ඇත.

එහෙත් එය අසාර්ථක විය. පොදු ජනයා මාන්නම්පෙරුම මොහොට්ටාල බෙහෙවින් පිළිකුල් කර ඇත. ඒ නිසා ඔහු උපහාසයට ලක් කරමින් ”පාද කොක්කනම” වීධිවල කියවූ බව ”රාජාවලිය” කියයි. ”පද කොක්කනම” යනු ඔහු උපහාසයට ලක් කරමින් කිවූ කවි හෝ විරිඳු ගායනාවක් විය යුතුය. මින් ලැජ්ජාවට පත් අරිට්ඨ කී වෙණ්ඩු මෝරුවත්ත නමැති ගමට පලා ගිය බව ”රාජාවලිය” කියයි.

රජකම ගැනීමට ගිය ආඬි ජාතිකයකු උපහාසයට ලක් කරමින් ”අඬිමාලය” උපහාස කාව්‍ය නුවර යුගය මුල්කල ලියවී ඇත. ආඬිමාලය උපහාසයට ලක් කරනුයේ අරිට්ඨ කී වෙණ්ඩුට පසු රජවීමට උත්සාහ දැරූ ආඬි ජාතිකයකු බව සිතිය හැකිය.


හාස්‍ය - උපහාසය මතුකරන කවිපොත් හා ජනතකා.

සෙංකඩගල යුගය මුල හා හාස්‍ය, උපහාසය, පොදුජන විනෝදය මුල් කරගත් ජනකතා, කවිපොත් ලියැවී ඇත. කර්තෘ අප‍්‍රකට ”ගජබින්නාලංකාරය” එවැනි කවි පොතකි. එහි කර්තෘ අප‍්‍රකටය. මෝඩ රජකු වටා රජුගේ මෝඩකම් කියවෙන්නේ කැකිල්ලේ රජු පිළිබඳ කතාව දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආ ජනකතාවක් බව පෙනී යයි. මහදැනමුත්තාගේ කතාව ද මෝඩ ගැමියෙකුගේ මෝඩකම් කියන කතාවකි. එයද දකුණු ඉන්දීය ආභාෂයෙන් ලංකාවට ආ කතාවක් බව පෙනෙයි.


රාජාධිරාජසිංහ රජුකල සිටි අන්දරේ හා ඔහු පිළිබඳ තොරතුරු:

රජු පිනවීමට පත්වූ වෙනම විකටයන් සිටි බවට හොඳම උදාහරණය අන්දරේය. ඔහු ජීවත්වූයේ සෙංකඩකල රාජාධිරාජසිංහ රජුකල (1782-1798) ඔහු ලංකාවේ රුහුණේ ඉපදී පසුකල සෙංකඩගල රාජසේවයට ආවෙකි. අන්දරේ උගත්කමක් නැති එහෙත් මුඛරි, හිටිවන කවියෙකු බව පුංචි බණ්ඩාර සන්නස්ගල ”සිංහල සාහිත්‍යවංශයේ”දී පෙන්වා දෙයි. අන්දරේගේ පියා කිරලවැල්ලේ ගුරුන්නාන්සේ නම් විය. ඔහුගේ උපන් ගම දෙවුන්දර හෝ ඒ අසල කීරවැල්ලයි. මොරටුවේ ශාසනරතනහිමි ”මාතර සාහිත්‍ය යුගය” ග‍්‍රන්ථයේ කියනුයේ අන්දරේ උපන් ස්ථානය තවම ”කිරලවැල්ලේ ගුරුන්නැහෙලාගේවත්ත” නමින් හඳුන්වන බවයි. ඔහු ඉගැනුමට පියා විසින් ගැටමාන්නට යවා ඇත. එහෙත් ඔහු ඉගෙනුම අතහැර දමා ඇත.

අන්දරේ යනු පෞද්ගලික නාමයක් නොව මෙකල සිටි විකටයන්ට යෙදුණු පොදු නාමයක් බව ”මාතර යුගයේ සාහිත්‍යධරයන් හා සාහිත්‍ය නිබන්ධන” ග‍්‍රන්ථයේදී පා.බ.ජ. හේවාවසම් කියයි. අන්දරේ නමින් කවි කීපයක් ග‍්‍රන්ථ වශයෙන් එයි. ”අන්දරේගේ කවි/ අන්දරේ හා ගජමන් නෝනා” එබඳු කාව්‍ය රචනා එකතු දෙකකි.


අන්දරේගේ කවි.

”අන්දරය” හෙවත් ”අන්ද්‍රය” නමින් වෙනම රචනා විශේෂයක් තිබී ඇත. අන්ද්‍රය යනු කතාන්දරය යන අර්ථය දෙයි. උදාහරණයක් ලෙස නරේන්ද්‍රසිංහ රජුකල (1707-1739) සිටි දස්කොන් අදිකාරම ”කවි අන්ද්‍රය” හෙවත් ”කඹේ නැටීම” නම් කවිපොත ලියා ඇත. අන්දරේගේ අන්දරේගේ විකට කතාවලට සමාන කතා”තන්ඔලි රාමන්” නමින් ද්‍රවිඩ සාහිත්‍යයේ එයි. රාජසිංහ රජුගේ නින්දට තදින් බාධා කළ දැවැන්ත මැඩියකු අන්දරේ විසින් අඳුරේ ඊයකින් විදමැරූ පසු රජුගෙන් ඔහුට ”සද්ද විද්ද පළඟ පතිර” යන විරුද නාමය ලැබී ඇත.

අන්දරේගේ ජීවිත කතාව නම් ග‍්‍රන්ථයේ ඔහුගේ විකට කතා හා කවි එකතුවක් එයි. යූ. ප‍්‍රඥාලෝක හිමි සංස්කරණය කළ ”පුරාණ සිව්පද සංග‍්‍රහය” ග‍්‍රන්ථයේදී අන්දරේගේ කවි ගණනාවක් 162-165 පිටුවල එයි. අන්දරේ හා සමකාලීනව සිටි කැකිරිගොඩ ගමරාළ සමග ඔහු තරගයට කිවු කවි හෙවත් පරොහු කවි රාශියක් ඇත. අන්දරේ රජුගෙන් තුන් මාසයක් හීනැටි හාලේ බත් කා ගලක් එසවීමට ගිය කතාව වඩාත් ප‍්‍රකයට. ඔහු පසුකල සෙංකඩගලම දිගුකලක් පදිංචිව සිටි බව පෙනෙයි.

අන්දරේ කැකිරි ගමයා සමග උක් ගස, වී, බුලත් වැල, කෙසෙල්ගස, ගිරවා ගැන කී තරග කවි හෙවත් පරහු කීම් ”පුරාණ සිව්පද සංග‍්‍රහයෙහි” එයි. දරුණු උණ රෝගයක් වැළඳුණු අන්දරේ සෙංකඩගල සිට තම උපන්ගම බලා යන අතර මළලගම දී උණ උග‍්‍රව අත් පා හතර පැත්තට විහිදුවා ගෙන වැටී මැරී සිටි බව කියවේ. ඒ අනුව අන්දරේ මියගිය පසුද රට සිනස්සා ඇත. ඔහු මිය ගිය තැන කරගම්ආර ගමේ සිහිවටනයක් බැඳ ඇත. අන්දරේ මරණයට පෙර කීවායයි සළකන කවියක් මෙසේය.

රිදී කළේ රන් කොතලේ බීපු මට
නිකම් කළේ පැන් නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති මෙමට
කෙසේ පසුවෙම්ද පළුවීර ගස් යට


සෙංකඩගල පැතිර ගිය සොකරි නැටුම.

දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආ සොකරී නම් රූමත් කත ලංකාවට එන්නේ දරු උපතක් සඳහාය. ඒ කතරගම දෙවිට බාරවීමටයි. ඉන්දියාවේ ”චොක‍්‍රී” යන හින්දි වචනයේ අර්ථය රූමත් කාන්තාව යනුයි. ඇය ලංකාවේ දී උදව්වට ආ වෙදරාළ සමග ඇසුරක් පවත්වයි. සිංහල අවුරුදු කල ගොයම් කැපීමට විනෝදය, සශ්‍රීකත්වය, පතා කුඹුරු හා කමත්වල සොකරි නැටූ බව ”සිංහල ගැමි නාට්‍යය” ග‍්‍රන්ථයේදී එදිරීවීර සර්ත්චන්ද්‍ර කියයි. මෙහි පරයාගේ චරිතය මුළුමනින්ම හාස්‍ය ජනකය. නරඹන ජනයාට හාස්‍ය මතු කිරීම පරයා කරයි. උඩරට හා වන්නියැයි සොකරි නැටුමේ කොටස් දෙකක් ඇති බව මහාචාර්ය ජේ.බී. දිසානායක කියයි.


සෙංකඩගල එකල සිටි විකටයෝ. - විසිරා

පාතහේවාහැට සෙංකඩගල මැදකල විසූ විසිරා නම් විකටයා ගැන ඞී.පී. වික‍්‍රමසිංහ ලිවූ ”මග දිගට ජනකතා” ග‍්‍රන්ථයේ තොරතුරු එයි. ඔහු එක වංගෙඩිය ගෙවල් හතකට විකුණා ඇත. රාත‍්‍රීකල ගෙදරක නැවතී කුකුළා ඇඬලීමට පෙර කුකුළා කිහිලි ගන්නා ගෙන ගෙදරින් පිටවිය. හී හෑමේදී ඇවුළුම දෙන නගුලක් ගින්නට දමා ඇත.


කීර්ති ශ්‍රී රාජසිංහ රජුකල සිටි මුංකොටුවේ රාළ හා ලෝකුරු නයිදේ අතර පරහු කවි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුකල (1747-1782) රාජසභාවේ සිටි මුංකොටුවේ රාළ ප‍්‍රකට කවියෙකි. ”සඟරාජවත” කවිපොත ලිවුවේ ඔහුය. රජුගේ රාජසභාවේම සිටි ලෝකුරු නයිදේ හෙවත් කොත්මලේ නයිදේ මුංකොටුවේ රාළ සමග රජු පිනවීමට එකිනෙකාගේ අඩුපාඩු - දොස් - කුලමල කියා ගනිමින් කවි කියා ඇත.
කීර්ති ශ්‍රී රජුකල මුංකොටුවේ රාල හා වඩු ගොඩපිටියාගේ පරහු කවි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුකල (1747-1782) රජුගේ රාජසභාවේ සිටි මුංකොටුවේ රාළ හා වඩුගොඩපිටියා රජු සතුටු කිරීමට බොහෝ විහිළු තහළු, පරහු කවි කියා ඇත. වරක් මුංකොටුවේ රාළ කුඹුරක් අද්දර සිට කවියක් කීමට සූදානම් වන විට වඩුගොඩපිටියා ඔහුව ුකුඹුරේ මඩට තල්ලූකර ඇත. එවිට මුංකොටුවේ රාළ මෙසේ කියා ඇත.


කදිම කවියක් කියන්ට සිටියා
නොදී රැකපීමේ වඩුගොඩපිටියා


කීර්ති ශ්‍රී රාජසිංහ රජු හා වැලිවිට සරණංකර සඟරාජහිමි

කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747-1782) බුදුදහමේ හා බෞද්ධ සංස්කෘතියේ උන්නතියට අපමණ වැඩ කළත් හින්දු චාරිත‍්‍ර අනුව නළලේ අළු ගෑම දිගටම කර ඇත. එය අත් හැර දමන ලෙස සඟරජු  කීපවරක්ම රජුට උපදෙස් දුන්නත් ඒ නැවතුණේ නැත. දිනක් සඟරජු, රජු ඉදිරිපිටම ”අළුගොඬේ ලගින්නේ බල්ලෝ” යයි උපසාහසයට කියා ඇත. රජු එදා සිට නළලේ අළුගෑම නවතා ඇත.

මල්වතු විහාරයේ සඟරාජ ආරාමයේ වාසය කළ සරණංකර සඟරජු දිනක් විශාල දානයක් සූදානම් කර බල්ලන් සඳහා දී ඇත. එහෙත් බලූ දානයේදී උන්, උන් හපාකෑම ඈතට ඇසුණි. මේ ගාල ගෝට්ටිය ඇසූ රජු සිනාසී ”සඟරාජු වුණත් ගම තුම්පනේ” යයි කියා ඇත.


උඩරට කල සිට තවත් විකටයන්.

පී.එම්.පී. අබේසිංහ ලිවූ ”උඩරට විත්ති” ග‍්‍රන්ථය අනුව උඩරට කල එදා සිටි විකටයන් කීපදෙනකුගේ නම් සඳහන් කරයි. අන්දරේ, ඌවේ ගමරාළ, පින්නපලේ රාළ, බම්වන්නේ රාළ, මැදඅරාවේ ගමරාළ ඔවුන්ය.


කීර්ති ශ්‍රී රාජසිංහ රජුකල විසූ පැණිවරකා කෑ විකටයෝ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුකල කුණ්ඩසාලේ හා හඟුරන්කෙත තවමත් දැකිය හැකි රජුටම සීමාවූ පැණි වරකා ගස් දෙකක් විය. ඒවා ගෙඩි ඉදෙනවිට රජුට වෙන් කොට සුදු රෙදිකඩකින් පැණිවරකා ගෙඩි වැසීම සිරිත විය. දිනක් ඒ අසලින් ගිය විකටයකුට පැණි වරකා සුවඳ දැනී ඉහිලූම් නුදුන්නේය. ඔහු සුදු රෙදිකඩ ඉවත් කර ගෙඩියෙන් අඩක් කා ඉතිරිය වසා තැබුවේය. මේ රාජ නිග‍්‍රහය හා අපරාධය කළ අය ගැන තොරතුරු සොයා රාජපුරුෂයෝ විකටයා අල්ලා රජු වෙත ගෙනාවෝය. ඔහු රජු ඉදිරියේ වරද පිළිගෙන සිනාසී අඬන්නට විය. රජු ඔහු සිනාසී අඬන්නට හේතුව විමසුවේය. එවිට විකටයා කීවේ ”දේවයන් වහන්ස”, හෙරලි ගෙඩියකට මිනිහෙක් මැරුවා කියලා රටේ ඔබතුමාට පැවරෙන අවමානය සිහිවී සිනාසුණා. මරණය ගැනසිහිවී ඇඬුවා යනුවෙනි. ඔහුගේ කපටි පිළිතුරට රජු සිනාසී කුණ්ඩසාලේ පැණි වරකා ගසේ අඩක් හොරෙන් කෑ විකටයා නිදහස් කොට ඇත. මේ පැණි වරකා ගස කුණ්ඩසාලේ රජමහාවිහරයේ මිදුලේ අදත් ඇත.

රජුට සීමාවූ අදත් තවම ඇති පැණිවරකා ගසක් හඟුරන්කෙත මහා දේවාලය අසල මිදුලේ තිබේ. එම ගස වටා ද මෙවැනිම ජන කතාවක් ඇත. එහි උස අඩි පණහක් පමණ වන අතර අතු පහක් විහිදී ඇත. කුණ්ඩසාලේ පැණිවරකා ගස අඩි දහහතරක් පමණ උසට ගසේ මුල් කොටස ඉතිරි වී ඉන් මතුවූ අතු තුනක් දැනට ඇත. ගස් දෙක වටාම හොරෙන් පැණි වරකා කා දිවි බේරාගත් විකටයන් දෙදෙනකු ගැන කියවෙයි.


විජයරාජසිංහ රජුකල සිටි උක්කුරාළ

”මග දිගට ජන කතා” ග‍්‍රන්ථය අනුව ශ්‍රී විජය රාජසිංහ රජුකල (1739-1747) රජුගේ කවටයා වූයේ උක්කුරාළයි. ගම්මුන් හා ගොන් වස්සෙකුට ඔට්ටුවක් අල්ලා හඟුරන්කෙත රාජකීය පැණිවරකා ගසෙන් පැණි වරකා කා දිවි බේරාගත් උක්කුරාළ තමන්ගේ ඔට්ටුව දිනා වසු පැටවා ද ලබාගෙන ඇත.
ශ්‍රී විජය රාජසිංහ රජුකල සිටි හඟුරන්කෙත දී රාජකීය පැණිවරකා කා දිවි බේරා ගත්තේ උක්කුරාළයි.


මැදඅරාවේ ගමරාළ.

පී.එම්.පී. අබේසිංහගේ ”උඩරට විත්ති” ග‍්‍රන්ථය අනුව ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජුකල හඟුරන්කෙත පැණිවරකා ගසේ පැණිවරකා කා වරදට හසුවී කපටි පිළිතුරකින් දිවි බේරා ගත්තේ මැදඅරාවේ ගමරාළයි. ඒ ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු කලදීය. (1798-1815) අප හඟුරන්කෙත ගොස් ලබා ගත් සියලූ විස්තර අනුව මේ සිද්ධියට සම්බන්ධ විකටයා මැදඅරාවේ ගමරාළයි.


බරදනාවේ විකටයා.

තවත් තොරතුරක් අනුව සෙංකඩකල අගකල රාජවාසලේ සේවය කළ බරූනාවේ නම ඇති විරූපී විකටයෙක් විය. ඔහු ගමක් මැදින් යද්දී ගම්මු ඔහු වෙලට පෙරළා පහරදී ඇත. ඇතැම් ජනකතාවක හඟුරන්කෙත පැණිවරකා කෑවේ බරදනාවේ බව කියවෙයි.


බම්මන්්නා හෙවත් බම්මන්නේ විකටයා.

කුණ්ඩසාලේ රජමහා විහාරවාසී රඹුක්වැල්ලේ සීලරතන හිමි අප සමග පැවසුවේ කුණ්ඩසාලේ පැණි වරකා ගසෙන් හොරෙන් පැණි වරකා කා රජුගෙන් ගැරහුම් ලැබුවේ බම්මන්නා හෙවත් බම්මන්නේ රාළ බවයි.


ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජුකල කුංකුණාවේ හිමි

ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජුකල (1778-1815) මහනුවර සිටි ”සිරිරාම සන්දේශය”, ”ධම්මචේතිය සූත‍්‍ර සන්නස”, ”වෙහෙර විත්තිය” යන ග‍්‍රන්ථ ලිවූ කුංකුණාවේ හිමි වස්කවිවලට ප‍්‍රකට විය. එහිමි කළු, මිටි, මහත, නහය මුක්කන් අයෙකු විය. ඒ නිසා කතාව අමුතු විය. රජුගේ දානයක දී කිරි හැන්දෙන් ටිකක් බෙදනවිට ඇඟටපතට නොදැනි කුංකුණාවේ හිමි හුණු දමන කිල්ලෝටය අල්ලා ඇත. තවත් වරකදී දානයට ලැබුණු සියලූ හිමිවරුන්ගේ බිත්තර එහිමි ඉල්ලා ගෙන වළඳා තමාට ලැබුණු බිත්තරය පාත‍්‍රයේ ඉතිරි කොට ඇත. කුංකුණාවේ හිමි ශ්‍රී පාදය නැග හෙම්බත් වී ”බුදුවෙලත් මෝඩකම ඇරිලා නෑ. නැත්නම් මේ වගේ කන්දක ශ්‍රී පාදය තියෙනවද? කියා ඇත.

තවත් විටෙක උපසම්පදාවට ආ ශිෂ්‍ය හිමිනමක් මහා නායකවරුන් වෙත වෙස් නැට්ටුවකු මෙන් අන්දවා සරසා නටමින් උපසම්දාවට යැවූ බව ”මග දිගට ජනකතා” ග‍්‍රන්ථයේ එයි.


ශ්‍රී   වික‍්‍රම රාජසිංහ රජුකල සිටි නම අප‍්‍රකට මහලූ විකට ස්ත‍්‍රිය

 ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු ඉංග‍්‍රීසීන් අල්ලා කෝර්න්වොලිස් නැවෙන් මදුරාසියට පිටුවහල් කරනවිටත් රජු සමග නැවේ යමින් රජු හා බිසෝවරුන් විකට බස් කියමින් හිනැස්සූ මහලූ විකට ස්ත‍්‍රියක් ගැන ඉංග‍්‍රීසි ජාතික විලියම් ග‍්‍රැන්වීල්ගේ විස්තරවල එයි. ලාංකික රජෙකුට විකට ස්ත‍්‍රියක් සේවය කළ බවට ලැබෙන එකම සාක්ෂිය මෙයයි. මේ පිළිබඳව කෙටි සටහනක් මේලියස් සිල්වා ලිවූ ”අපේ අන්තිම රජතුමා” ග‍්‍රන්ථයේ එයි.


මඩුවන්වෙල වලව්වේ සිටි පුංචි කිරා

මඩුවන්වෙල වලව්ව හා කොලොන්න සංචාරක ආකර්ෂණය ග‍්‍රන්ථය ලියූ විලියම් වීරසේකර මඩුවන්වෙල රජෙක් ලෙස වැජඹුණු කාමර තිස් දෙකක් තවමත් ඇති වලව්වත් මඩුවන්වෙල දිසාවේ විහිළුවෙන් පිනවූ පුංචිකිරා නම් විකටයෙක් ඔහුට සිටි බව කියයි.


සුප‍්‍රකට තේම්ස් නදිය ආසන්නයේ පිහිටා ඇති හැම්ප්ටන් මාලිගය සහ උද්‍යානය එංගලන්තයේ මහත් ප‍්‍රසිද්ධියට පත්වූ ස්ථානයකි. එංගලන්තයේ රජ පරපුර සියවස් ගණනාවක් වාසය කළ මාලිගයක් වූ මෙය අද හොල්මන් හා අවතාර පිළිබඳ කතා බොහොමයකින් සමන්විත ස්ථානයකි.
පහළොස්වැනි සියවසේ දී පමණ ඉදිකිරීම් ආරම්භ කළ මෙහි හිමිකරුවා වූයේ කාදිනල් වුල්සෙයි නමැති අයෙකි. අටවැනි හෙන්රි රජුගේ හිතවතකු වූ ඔහු මේ මන්දිරය රජුට පරිත්‍යාග කරන ලද බව ඉතිහාසයේ සඳහන් වේ. කාදිනල්වරයා ද මාලිගයේ එක් නිවෙසක වාසය කැර තිබේ. කාදිනල්වරයා 1529 දී මියයාමෙන් පසු අටවැනි හෙන්රි රජු මේ නිවාස සංකීර්ණය මහා මන්දිරයක් බවට පත්කැර ඇත. අක්කර 1100 ක් විහිදුණු උද්‍යානයක් සහිත මාලිගයේ ඇති කාමර සංඛ්‍යාව 280 කි.
රජුගේ ටෙනිස් පිටියත්, දේවස්ථානයත්, සොහොන් උද්‍යානයත් පමණක් නොව කැලෑබද ප‍්‍රදේශයකින් ද සමන්විත මාලිගා සංකීර්ණයේ ඉදිකිරීම් අවසන්ව ඇත්තේ 1540 දී ය.
තියඩෝර් රජ පරපුරෙන් පැවත අටවැනි හෙන්රි රජු රෝමානු කතෝලිකයකුව සිට පසුව ඇංග්ලිකන් දහම වැළඳගෙන රෝමානු කතෝලික පවුල් ඝාතනය කිරීමට ද කටයුතු කළ දරුණු පාලකයකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව තිබේ.

අටවැනි හෙන්රි රජු එංගලන්තය සහ අයර්ලන්තය පාලනය කළ හත්වැනි හෙන්රි රජුගේ සහ යෝර්ක්හි එලිසබෙත් රැජිනගේ තුන්වැනි දරුවාය. 1491 ජුනි 28 වැනිදා උපත ලද ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනකු සිටියද වැඩි පිරිසක් කුඩා කලම මියගොස් තිබේ. 1509 අප්‍රේල් මස 21 වැනිදා හත්වැනි හෙන්රි රජු මියගිය පසු හෙන්රි කුමරා අටවැනි හෙන්රි ලෙස රජවූවේය. එතැන් පටන් 1547 ජනවාරි මස 28 වැනිදා මියයන තුරු එංගලන්තයේ පාලකයා වූ අටවැනි හෙන්රි රජු එංගලන්ත වැසියන් 72,000 ක් පමණ මරා දැමූ බවට මතයක් තිබේ. මෙලෙස රජුගේ වද හිංසාවටත් මරණ දඩුවමටත් පාත‍්‍ර වූවන් අතර එංගලන්තයේ සොරුන්, කොල්ලකරුවන්, රාජද්‍රෝහීන් පමණක් නොව, ආගමික නායකයන්, වංශවතුන් හා රජුගේම බිසෝවරු ද සිටිති.
ලොව හොල්මන් හා අවතාර පිළිබඳ ප‍්‍රකට මහා මන්දිර අතරින් අටවැනි හෙන්රි රජුගේ හැම්ප්ටන් මන්දිරයට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයකි.
එංගලන්තයේ රජවරුන් අතරින් වැඩිම විවාහ ගණනක් කරගත් අටවැනි හෙන්රි රජුගේ විවාහ සංඛ්‍යාව හයකි. ඔහුගේ රාජ්‍ය කාලයේ දී විවිධ අද්භූත සිදුවීම් වූ බවත්, ඉතා දරුණු රාෂ්ට‍්‍ර පාලකයකු වූ ඔහු කළ සාපරාධී කි‍්‍රයා හේතුවෙන් හෙන්රි රජුගේ රාජ මන්දිරය දැන් හොල්මන් ගුහාවක් බවට පත්ව ඇතැයි එංගලන්ත වැසියෝ විශ්වාස කරති. ඔවුන් පවසන්නේ හෙන්රි රජු ජීවත්ව සිටියදී එහි සිදුවූ අපරාධවලට මුහුණදුන් පුද්ගලයන් දැන් අවතාර බවට පත්ව මන්දිරයට අරක්ගෙන ඇති බවයි.
බොහෝ දෙනකු පවසන්නේ හෙන්රි රජු විසින් හිස ගස්වා මරා දමන ලද ඔහුගේම බිරිඳගේ අවතාරය මේ මන්දිරයේ සැරිසරන හොල්මන් අතර ප‍්‍රධාන ස්ථානයක් ගන්නා බවයි. එමෙන්ම හෙන්රි රජුගේ සිත් ගත් සේවිකාවක් ද තවමත් මන්දිරය අතහැර ගොස් නැතැයි ද ඇතැම් පිරිසක් කියති. හෙන්රි රජුගේ ආරක්ෂක අංශයේ සේවය කළ සොල්දාදුවන් කිහිප දෙනකු ද අවස්ථා ගණනාවකදී මේ මන්දිරියේ දී දැක ඇති බවට කතා පැතිර තිබේ. මනුෂ්‍යයන් ලෙස ජීවත් වූවන්ගේ අවතාර පමණක් නොව හෙන්රි රජුගේ මාලිගාවේ සිටි බල්ලන් ද අවතාර බවට පත්ව තවමත් සිටින බව පැවසේ.
මෙවැනි අවතාර සියැසින් දුටු බවට අවස්ථා ගණනාවක දී විවිධ වාර්තා පළවී තිබේ. මේ අතරින් සුවිශේෂී අවස්ථාවක් උදාවූයේ 2003 වර්ෂයේදීය. දෙසැම්බර් 20 වැනිදා සමස්ත එංගලන්තයම නත්තල් උත්සවය සඳහා සූදානම් වෙමින් තිබිණි. නත්තල සඳහා සියළු දෙනාම සූදානම් වෙද්දී ජේම්ස් ෆොක්ස් නමැති නිලධාරියෙක් හැම්ප්ටන් මාලිගාවේ ආරක්ෂාව භාරව සිටියේය.
එංගලන්තයේ ශීත සෘතුවයි. හිම පතනය වෙමින් තිබේ. හාත්පස උත්සවශී‍්‍රයෙන් ඇළලී යමින් තිබේ. හිටි හැටියේ මාලිගයේ අනතුරු හැගවීමේ නලා නාද වන්නට විය. ගින්නක් ඇතිවූ විට නාදවන නලා හඩින් මුළු මාලිගයම දෙදරා යද්දී ෆොක්ස් ඇතුළු පිරිස වඩාත් විමසිලිමත් වූවේය. මෙවැනි නලා හඩක් නැගෙන්නේ ගින්නක් ඇති වූ අවස්ථාවක දී පිටව යාමට ඇති හදිසි දොරටුවක් විවෘත කළහොත් පමණි.
සියලූ දෙනාම වහ වහා යුහුසුළු වූහ. ආරක්ෂකයන් ඒ මේ අත දිව යමින් සෑම ස්ථානයකම සෝදිසි කළ ද ගින්නක් හටගත් බවට කිසිදු සාක්ෂියක් ලැබුණේ නැත. එමෙන්ම හදිසි දොරටු සියල්ල සෝදිසි කළ විට දැනගන්නට ලැබුණේ එවැනි දොරටු කිසිවක් විවෘත කර නොතිබූ බවයි.
කිසිවෙකු විසින් දොරටුවක් විවෘත කරනු ලැබීමකින් තොරව හා අනතුරු හැගවීමේ සංඥා නිකුත් කිරීමකින්

තොරව මෙවැනි හඩක් නැගුනේ කෙසේ දැයි ඔවුන් පුදුමයට පත්ව සිටියේය. ගතවූයේ විනාඩි කිහිපයකි. යළි පෙර පරිදිම අනතුරු හැගවීමේ නලා හඩ නිකුත්වන්නට විය.
ජේම්ස් ෆොක්ස් ඇතුළු පිරිස යළිත් වහාම කි‍්‍රයාත්මක වූහ. මාලිගාවේ සෑම ස්ථානයක්ම පරීක්ෂා කැර බැලූහ. ගින්නක් ඇතිවූ බවට කිසිදු සළකුණක් නැත. දොරටුවක් විවෘත කර නැත. නමුත් නළා හ`ඩ නිකුත්වෙමින් තිබෙන්නේ මාලිගාවේ අනතුරක් පිළිබඳ සේයාවක් පවතින බැවිනි.
‘‘කවුරු හරි අපත් එක්ක සෙල්ලම් කරන්න හදනවා වගේ’’ ෆොක්ස් තම සහාය නිලධාරීන්ට එසේ කීවේය.
මද වේලාවක වෙහෙස වීමෙන් පසු ඔවුහු ශබ්දයට හේතුවන ස්ථානය සොයා ගැනීමට සමත්වූහ.
හදිසි ගින්නක දී පිටව යාම සඳහා හැම්ප්ටන් මාලිගයේ සුවිශාල ආලින්දයේ හදිසි පිටවීමේ දොරටුවක් තිබේ. නලා ශබ්දය ආරම්භ වන්නේ එතැනිනි. කවරකු හෝ විසින් මෙම දොරටුව විවෘත කරන විට නලා ශබ්දය නිකුත් වේ. නමුත් පුදුමයකි. එය විවෘත කළ බවට කිසිදු සලකුණක් නැත. වැඩි බරකින් යුතු මේ දොරටුව පහසුවෙන් විවෘත කළ හැකි දෙයක් ද නොවේ. මෙම ස්ථානයේ විශේෂත්වයක් තිබේ. එම ආලින්දය දැන් ප‍්‍රසිද්ධව ඇත්තේ අමනුෂ්‍ය ආලින්දය යනුවෙනි. අටවැනි හෙන්රි රජුගේ පස්වැනි විවාහක බිරිය කැතරින්




හොවාර්ඞ් ආර්යාවගේ අවතාරය මේ ආලින්දයේ නිතර නිතර සැරිසරන බව එංගලන්ත වැසියන්ගේ දැඩි විශ්වාසයකි.
වර්ෂ 1542 පෙබරවාරි මස 13 වැනිදා මෙම ආර්යාවගේ හිස ගසා දමා මරණයට පත්කැර තිබිණි. ඇයට එල්ලවූ චෝදනාව වූයේ වෙනත් පිරිමියකු සමග සබඳතා පැවැත්වූවාය යන්නයි. මරා දමා දින කිහිපයකට පසු පටන් ඇය මේ මාලිගයේම වාසය කරනු රජමැදුරේ සේවක සේවිකාවන් පවා දැක ඇතැයි පැවසේ.
මාලිගාවේ ආරක්ෂකයෝ මේ සිද්ධියෙන් තැති ගත්හ. කිසිවකුත් විවෘත නොකළ දොරකින් වරින් වර නලා හඩ නිකුත්වෙයි. ඒ දොරටුව ආර්යාවගේ හොල්මන සිටින ආලින්දයේ දොරටුවයි. ගුප්ත සිදුවීම් සහ හොල්මන් කතා දැඩි සේ විශ්වාස කරන එංගලන්තයේ හැම්ප්ටන් මැදුරේ සිටින ඔවුන්ට බියට පත්වීමට හේතුකාරණා අතීතය විසින් නිර්මාණය කරන ලද කතාන්තරවල ගැබ්ව තිබිණි.
‘‘මේක මහ පුදුම වැඩක්. නලා හඩ නිකුත්වූ අවස්ථා දෙකේදීම අපි දොරටුව පරීක්ෂා කළා. ඒත් දොරටුව වැසූ ආකාරයෙන්ම තිබුණා. මේ දොරටුව තිබෙන ප‍්‍රදේශයට කිසිවකුටත් ඇතුළුවිය නොහැකි ස්ථානයක්. ආරක්ෂකයන්ට පමණයි මෙහි යාමට හැකියාව තිබෙන්නේ. අපේ ඒකකයේ කිසිවෙකුත් මෙහි ගිහින් තිබුණේ නැහැ. මේක ඇත්තටම පුදුම ගැටළුවක්’’ ෆොක්ස් එසේ කීවේය.
මාලිගාවේ ස්ථාන රැසක ආරක්ෂක කැමරා සවිකැර තිබේ. මේ දොරටුව අසල ද එවැනි කැමරාවක් සවිකැර තිබෙන බැවින් එය පරීක්ෂාකොට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීම ඔවුන්ගේ අරමුණ වූවේය.
ඉතා ඉක්මණින් ඔවුන් මෙය නිරීක්ෂණය කරන්නට තීරණය කළහ. ඒ අනුව මුලින්ම නළා හඩට හේතු වූ වේලාව ඔස්සේ යමින් ඔවුහු වීඩියෝ පටිය පරීක්ෂා කරන්නට වූවේය. පුදුමයකි, විශාල බරකින් යුතු දොර ඉබේම විවෘත වෙයි. ඒ සමගම නළා හඩින් ගිගුම් දෙන්නට විය. නමුත් විවෘත වූ දොර යළි වැසෙන බවක් පෙනෙන්නට නැත.
ඔවුන්ගේ පුදුමය තවත් වැඩිවන්නට විය. වීඩියෝ පටිගත කිරීමට දොර වැසෙන්නේ නැත. පළමු නලා හඩ නිකුත්වීමෙන් පසු එම දොර ඔවුන් පරීක්ෂා කළ ද ඒ මොහොතේ එය විවෘතව තිබුණේ නැති බව ඔවුන්ගේ විශ්වාසයයි.
දොර විවෘතව පවතී. දෙවැනි වතාවේ නලා හ`ඩට හේතුවන්නේ කුමක්දැයි ඔවුහු පරීක්ෂා කළහ. සිදුවන දේ ඔවුන්ට අදහාගත නොහැක අද්භූත මුහුණක් ඇති දැවැන්ත මිනිසකු පැමිණ විවෘතව ඇති දොර වසා දැමුවේය. ඒ සමග යළි නළා හඩ ගිගුම් දෙන්නට විය.
‘‘ඒ මනුස්සයා පැහැදිලිවම දක්නට ලැබුණා. අද්භූත රූපයක්. අපට දෑස් අදහාගන්න බැහැ. මුහුණනම් මනුස්සයකුගේ වගේ නොවෙයි. ඇඳ සිටියේ කි‍්‍රස්තු වර්ෂ 1500 දී පමණ මිනිසුන් හැඳ සිටි ආකාරයේ ඇඳුම්. අප දන්නා විදියට හෙන්රි රජුගේ කාලයේ මිනිස්සු ඇන්දේ ඒ ඇඳුම්. අප හැමෝම මොහොතක් තුෂ්ණිම්භූතව බලා සිටියා.’’
ආරක්ෂක නිලධාරීන් වහාම කි‍්‍රයාත්මක වූවේය. ඔවුන් කොතෙක් භීතියට පත්වුව ද ඔවුන් සියළු දෙනාට අවශ්‍ය වූයේ මේ දොර වසා දමන්නේ හොල්මනක් නොව යම් මිනිසකු විසින් යැයි තහවුරු කැර ගැනුමටයි. ඒ අනුව වහාම මාලිගාවේ සේවය කරන සියළුම සංචාරක මග පෙන්වන්නන් මොහොතකින් එක් ස්ථානයකට කැඳවූවේය. මේ සංචාරක මග පෙන්වනෝ පැරණි කාලයේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සංචාරකයන් රැගෙන මාලිගාව වටා ගමන් කරති. ආරක්ෂකයන්ගේ වුවමනාව වූයේ මේ දොර වසා දමන්නේ හැම්ප්ටන් මාලිගාවේ සිටින අවතාරයක් නොව සංචාරක මගපෙන්වන්නෙක් බව තහවුරු කැර ගැනීමයි.
ඔවුහු සියුම් පරීක්ෂණයක් කළහ. කිසිදු සංචාරක මග පෙන්වන්නකු සතුව දොර වසා දැමූ රූපයේ ආකාරයේ පැරණි ඇඳුමක් තිබුණේ නැත. වීඩියෝ දර්ශනයේ සටහන් වූ රුවට සමාන රූපකායක් ඇත්තෙක් එදින මාලිගාවේ සිටියේ ද නැත. ඉතිරිවූයේ තවත් ගැටළුවක් පමණි.
ෆොක්ස් මෙසේ ද පවසා තිබේ.
‘‘මේ සිදුවීම වූ ප‍්‍රදේශය අමුත්තන්ටත් සංචාරක මගපෙන්වන අයටත් තහනම් කලාපයක්. ඒ නිසා එම ස්ථානයට කිසිවකුට යාමට හැකියාවක් නොමැති බව අපිට ස්ථිරයි. එතැනට යාමේ හැකියාව හා අවසරය තිබුණේ අපේ ආරක්ෂක නිලධාරීන්ට පමණයි. මේ අනුව අපි හැමෝම පුදුමයටත් භීතියටත් පත්වීම අරුමයක් නොවෙයි’’



තව දුරටත් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ මාලිගාව නැරඹීමට එන අමුත්තන්ගේ සටහන් තබන පොතේ  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙක් තබා ඇති සටහනකි. එයින් කියවුනේ ‘‘මාලිගයේ අද්භූත ආලින්දය කියා සඳහන් වන කොටස ආසන්නයේදී මම පුදුමාකාර මිනිස් රුවක් දුටුවා’’ යනුවෙනි. ඔහු සටහන තබා වේලාවද සටහන් කැර තිබිණි. මේ වේලාවත් නලාව ශබ්ද වූ වේලාවත් එකිනෙකට හරියටම ගැළපුනේය.
එදින පැය ගණනක් වෙහෙසුණ ද අද්භූත රූපය ආරක්ෂක කැමරාවන්හි සටහන් වීම පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය කැරගත නොහැකි වූයෙන් එදින රාති‍්‍රයේ මේ හොල්මන් රුව ගැන ආරංචිය ලොව පුරා මාධ්‍යවලට විශාල පුවතක් වී තිබිණි.
දෙසැම්බර් 21 වැනිදා ආරක්ෂකයන්ගේ කතා බහට වැඩිපුරම මාතෘකාව වූයේ තම කැමරාවන්හි සටහන්වූ අද්භූත රුව පිළිබඳ ලොව පුරාම ප‍්‍රචාරය වීම පිළිබඳවය. මේ අතර එදින ද හිටි හැටියේ නළා ශබ්දය නිකුත්විය. මාලිගාව වටා නොගොස් සියළු දෙනාගේ අවධානය යොමු වූයේ අද්භූත ආලින්දය වෙතටය.
ඔවුන්ගේ අනුමානය නිවැරදිය. අද්භූත ආලින්දයේ දොරටුව කිසිවකු විසින් විවෘත කිරීම හේතුවෙන් නලා ශබ්දය හටගෙන තිබේ. කැමරාවේ ඇති දෙය ඔවුහු පිරික්සූහ. දොර ඉබේම විවෘත වෙයි. එය විවෘත කරන්නකු දක්නට නැත. මේ ගැන ආරක්ෂක ප‍්‍රධානී ෆොක්ස් යළි බලධාරීන්ට දන්වා සිටියේය.
මෙම අද්භූත රුව පිළිබඳ කතාන්තරය බි‍්‍රතාන්‍යයයේ අද්භූත සිද්ධි පිළිබඳ පරීක්ෂණ පවත්වන ආචාර්ය ටෙරී සුල්ලිවාන්ගේ අවධානයට ලක්විය. වීඩියෝ පටය පරීක්ෂා කළ ඔහු කියා සිටියේ මේ වෙනත් කිසිවකු නොව අටවෙනි හෙන්රි රජුගේ හොල්මන බවයි. ඔහු පවසන්නේ මේ ඡුායාරූපය විශ්මිත දෙයක් බවයි.
‘‘ලොව කිසිදු ස්ථානයක හොල්මනක් සම්බන්ධයෙන් මෙවැනි පැහැදිලි රූපයක් කිසිදු ආකාරයකින් ලැබී තිබුණේ නැහැ. අපි අසා තිබෙනවා අටවැනි හෙන්රි රජුගේ බිරියන් ගණනාවක්ම මේ මාලිගයේ හොල්මන් කරන බව. හිසගසා මරා දැමූ ඈන් බොලෙයින්, කැතරීන් හොවාර්ඞ්, දරුවකු බිහිකිරීමේදී මියගිය සෙයිමුවර් වැනි ආර්යාවන් මේ මාලිගාවේ හොල්මන් කරනවා. ’’
මේ අද්භූත රුව පිළිබඳ සොයා බැලීමට එංගලන්තයේ හර්ට්ෆෝර්ඞ්ෂයර් විශ්වවිද්‍යාලයේ අධිමානසික කටයුතු පිළිබඳ ඒකකයේ අධිමානසික විද්‍යා අංශයේ ආචාර්ය රිචඞ් වයිස්මන් ද හැම්ප්ටන් මාලිගයට පැමිණියේය.
ඔහු පවසන්නේ ආරක්ෂක කැමරාවේ සටහන්ව ඇති මේ රූපය පිළිබඳ වැඩිදුරටත් කරුණු පරීක්ෂාකැර බැලිය යුතු බවයි. ආරක්ෂක කැමරාවේ සටහන් වූ එය කිසිවක පරාවර්තනයක් නොවන බව පැහැදිලි අතරම පැහැදිලිවම හඳුනාගත හැකි ඡුායාරූපයක් වීම විස්මය දනවන්නක් යැයි ආචාර්ය වයිස්මාන් පවසයි. ස්වයංකී‍්‍රය ආරක්ෂක කැමරාවෙන් බොරුවක් නිර්මාණය කැර පෙන්වීමට කිසිවකුටත් නොහැකි නිසා මේ කඩිනමින් සොයා බැලීමට උත්සාහ ගතයුතු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
‘‘සාමාන්‍යයෙන් භූතයන් ගැන සඳහන් වන්නේ පෙනී නොපෙනී යන ඡුායාවන් ආකාරයෙන් නැතිනම් දුමක් වැනි දෙයක් ලෙසින්. නමුත් මෙය මිනිසකුගේ රුවකට ඉතාමත්ම සමීපයි. ඒ වගේම බොඳවූ ඡුායාරූපයක් ද නොවෙයි. ඉතාමත්ම පැහැදිලි රූපයක්. මේ නිසා මෙය අමනුෂ්‍යයකුගේ නොවිය හැකියි. මාලිගාවේ සිටින අයකු කළ කි‍්‍රයාවක්ම වීමට ඉඩ තිබෙනවා.’’

හැම්ප්ටන් මාලිගාවේ මේ හොල්මන් කතාව මෙතෙක් නොවිසඳුනු සිදුවීමකි.

සටහන  - සජීව විජේවීර
 http://video.lakdivanews.com/2016/09/pilikuththuwa-rajamaha-viharaya.html
ඒ වන පෙත සොඳුරුය. තවමත් නොඉඳුල්ය. වන සතුන්ගේ හඬින් නිතර පාළුව මැකේ. රූස්ස ගස් වැල් වනයේ ජීව ගුණය පසක් කරමින් යෝදයන්ගේ අඩවියක බඳු සිතිවිලි දකිනවුන්ට ජනිත කරවයි. මේ වන පෙත මායිමේ සැදැහැවතුන්ගේ නෙත් සිත් පහන් කරන ඓතිහාසික පුද බිමකට අපි අද ‘රජමහ වෙහෙරක කතාවෙන්’ ඔබ කැඳවාගෙන යමු.
ලක්දිව ලෙන් විහාර සම්ප‍්‍රදාය තුළ පිළිකුත්තුව රජ මහා විහාරය මුල් තැනක් උසුලයි. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ ඌරුවල් පේරුවෙහි මේ ඓතිහාසික පින්බිම පිහිටා තිබේ. ගම්පහ - කිරිඳිවැල (231) බස් මාර්ගයේ යක්කල හන්දියේ සිට විහාරයට දුර කිලෝ මීටර් තුනක් පමණ වේ. පිළිකුත්තුව විහාර ඉතිහාසය ක‍්‍රි.පු. පළමු වැනි සියවසතෙක් දුරාතීතයට දිවේ. අනුරාධපුර යුගයේ මුල් සමයේ සිටම භික්ෂූන් වහන්සේලා භාවනායෝගිව වැඩ සිටි ස්ථානයක් හැටියට පිළිකුත්තුව හඳුනා ගත හැකිය. කටාරම් කෙටූ ගල් ලෙන් 99 ක් මේ විහාරය අවට වනගත බිමේ පිහිටා ඇති අතර එයින් ගල් ලෙන් 82ක් දැනට සොයාගෙන තිබේ. මෙපමණ ගල් ලෙන් ප‍්‍රමාණයක් දැකිය හැකි ලංකාවේ දුර්ලභ ස්ථානයක් හැටියට පිළිකුත්තුව විශේෂ වෙයි.



මේ ලෙන්වල ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා වාසය කරන්නට ඇති බව ඉතිහාසඥයෝ ප‍්‍රකාශ කරති. එසේම අනුරාධපුර, මිහින්තලය ආදී පෞරාණික වෙහෙර විහාරවල පැවතියාක් මෙන් විහාරාරාම සැලසුම් හා උද්‍යාන කලාවක් පිළිකුත්තුවේ පවතින්නට ඇති බවට පුරාවිද්‍යාඥයෝ අදහස් පළ කරති.
මේ ප‍්‍රදේශය පිළිකුත්තුව වූයේ කෙසේද? ඊට මත කිහිපයක් පවතී. අතීතයේ රජවරුන්ට ‘පිළි’ සැපයූ ගම්මානය නිසා පිළිකුත්තුව විනැයි එක් ජනප‍්‍රවාදයකි.
එසේම, පිළිකොටුව, ආරච්චි කොටුව, මල් කොටුව, හාල්පන් කොටුව, බිලිගහ කොටුව යන කොටු පහ එකතුව පිළි කොටුව වී පසුව පිළි කොත්තුව, පිළිකුත්තුව වූ බව තවත් මතයකි.
මේ විහාර ඉතිහාසයට සම්බන්ධ වළගම්බා රජුගේ බිසෝව පරිහරණය කළ පිළි හා රන්, රිදී මුතු මැණික් සඟවා තැබූ ගම ‘පිළි සැඟවූ ගම’ පිළිකුත්තුව වී ඇති බවද ජනප‍්‍රවාදයේ එන මතයකි.
පිළිකුත්තුව රජ මහා විහාරයේ ප‍්‍රධානම ගොඩනැගිල්ල ලෙන් විහාරයයි. අතීතයේ භික්ෂුන් වහන්සේලා මෙහි භාවනා යෝගීව වැඩ සිටි බවත් පසුව එය බුදු මැඳුරක් බවට පත්ව ඇති බවත් විශ්වාස කළ හැකිය. එය කටාරම් කෙටූ සුවිශාල ගල් ලෙනකි. මෙහි විශාල සැතපෙන පිළිමයක් සමාධි පිළිමයක්, හා හිටි පිළිමයක් දැකිය හැකිය. මෙහි නුවර යුගයට අයත් සිතුවම් රාශියකි. ඒ අතර වෙස්සන්තර, මහාකප්ප හා ධර්මපාල ජාතක කතා ප‍්‍රකටය.
විහාර ගෘහයට පිවිසෙද්දී දොරටුව අභියස ඇඳ ඇති දොරටු පාල රූප දකිද්දි පෘතුගීසි සමයේ සෙබළුන්ගේ ස්වරූපය සිහියට නංවයි. ක‍්‍රි.පු. පළමුවැනි සියවසට අයත් සෙල් ලිපියක් පිළිකුත්තුව විහාරයෙන් හමුවී ඇති අතර මේ සෙල් ලිපි වලින් කියැවෙන්නේ සතර දිගින් වඩින සංඝයාට මේ ලෙන් පූජා කර ඇති බවය. ඒ අනුව අතීතයේ පටන් මේ ප‍්‍රදේශයේ බුදු දහම පැතිරී පැවති බවට පැහැදිලි සාක්ෂි හමු වේ.
පැරණි විහාර ගෙට ආසන්නයේ නා පෙණ හැඩැති ගල් ලෙන යට ඉදි කළ කුඩා ස්තූපය නුවර යුගයට අයත් වූවකි. ඊට ඉදිරියෙන් ඉපැරණි බෝධීන් වහන්සේලා දෙනමක් රෝපිතය. එයින් එකක් ‘කුමර බෝධිය’
 http://video.lakdivanews.com/2016/09/pilikuththuwa-rajamaha-viharaya.html
වශයෙනුත් අනෙක ‘කුමරි බෝධිය’ නමිනුත් හැඳින්වේ. මෙයින් කඳ මහත්ව තනි කෙළින් උසට වැඩුණු බෝධිය කුමර බෝධියයි. පහළින් අතු විහිද කුඩා බෝධිය ‘කුමරි බෝධිය’ යි.
පිළිකුත්තුව විහාරයේ අසල ගිරි ශිඛරයට නැගීමට ඇති කෙටි අඩි පාර පාමුල පිහිටි තවත් විහාර මන්දිරයකි. එය කරවා ඇත්තේ විහාරයේ වැඩ සිටි යාගොඩ ගුණරත්න හිමිගේ සමයේදීය.
පැරණි ධර්ම ශාලාව අසළින් පහළට ගිය විට කාල පරිච්ජේද තුනකට අයත් ආවාස ගෙවල් දැකිය හැකි දුර්ලභ විහාරයක් හැටියට ද පිළිකුත්තුව රජ මහා විහාරය හඳුනාගත හැකිය.
ඒවා ඉංග‍්‍රීසි පාලන සමය, මහනුවර රජ සමය හා  ඕලන්ද සමයට අයත් ය. ඒ ඒ කාල සමයන්වලට අදාළ විශේෂ ගෘහ නිර්මාණ ලක්ෂණ ද ඒවායින් දැකිය හැකිය.
මේ විහාරයේ ඇති ඉපැරණි කෞතුක වස්තූන් අතර හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් පරිහරණය කළ දෝලාව විශේෂ වේ. උන්වහන්සේ ධර්ම දේශනයකට දෝලාවෙන් මෙහි වැඩම කර ඇති අතර ආපසු තිරික්කලයෙන් වැඩි නිසා දෝලාව මේ විහාරයේ තබා ගොස් ඇත. එය අදත් දැකිය හැකිය. පැරණි පුස්කොළ පොත්, මහනුවර යුගයට අයත් දැව පාලමක්, තොප්පි ගල්ගෙය, මේ ඓතිහාසික විහාරය, නැරඹීට එන ඔබට දැක බලා ගැනීමට පිළිවන.






පිළිකුත්තුව රජමහා විහාරය පිහිටා ඇත්තේ වන ගහනයෙන් ගැවසී ගත් විශාල ගිරි ශිඛරයක් පාමුලය. මේ ස්වභාවික පිහිටීම නිසාම දේවානම්පියතිස්ස රජ සමයේ ආරණ්‍යයක් හැටියට මෙය පැවැති බවත්, වළගම්බා රජුට ආරක්ෂාව සැලසූ ස්ථානයක් හැටියටත් ප‍්‍රසිද්ධව තිබේ. දැනට පිළිකුත්තුව විහාරය පූජා නගරයක් කිරීමට කඩිනම් වැඩ කටයුතු සිදු කරගෙන යන බව විහාරාධිපති කිණිගම ආනන්ද හිමියෝ අපට පැවසූහ. දැනට වාහල්කඩ නිමාකර ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගිරි ශිඛරය නැගීමට පෙත්මග ඉදිකරමින්ය.
සුවිසල් ගල් කුළු නැග ඉහළට යද්දී යෝධ පුස්වැලද ඔබට දැකිය හැකිය. එසේම හොර, මිල්ල, වල් දෙල්, රුක් අත්තන, හුළං හික්, ගැඩුම, කොළොං, යකඩ මරං, හොර, කළුවර ආදී වටිනා දැව වර්ගද, මී, මාදං. නවාහන්දි, අහු, ඉරිවේරිය, ඇත් දෙමට, තොටිල්ල, මඟුල්කරද, බිං කොහොඹ ආදි වටිනා ඖෂධ වර්ග ද පැළද දැකිය හැකිය. වනගත භූමියක් නිසාම කුරුලූ වර්ග 80 ක් පමණ පිළිකුත්තුව අවට ප‍්‍රදේශයේ ජීවත් වන බව කියැවේ. විශේෂයෙන් පිළිකුත්තුව ප‍්‍රදේශයට ආවේණික ‘ඩුකුලා’ නම් පක්ෂියෙක් පිළිබඳව තොරතුරුද මෙහි ගිය විට ඔබට අසා දැක ගත හැකිය. ඌ හැඞීමෙන් නුදුරු කළදීම ප‍්‍රදේශයේ මරණයක් සිදුවේය යන්න අදත් ගම්වාසීහු විශ්වාස කරති.
පිළිකුත්තුව රාජ මහා විහාරය ඔබ දැක බලා ගත යුතුව, පාරිසරික, ඓතිහාසික අතින් වැදගත් පුද බිමෙකි. විශේෂයෙන් පාසල් දුවා දරුවන්ට, තරුණ ගවේෂකයන්ට පිළිකුත්තුව රජ මහා විහාරය හා ඒ අවට ගම්මානය කදිම තෝතැන්නකි. වඳින්නට, සොයන්නට, නරඹන්නට ඔබටත් පිළිකුත්තුව රජ මහා විහාරයට පැමිණීමට අවස්ථාව උදා වේවා!
සටහන හා ඡායාරූප  - අසංක ආටිගල
උපාලි විජයවර්ධන යනු වෘත්තීය දැනුමට (Professional Knowledge) ප්‍රිය කළ එහෙත් ඒවා නොපිළිගත් ව්‍යාපාරයකි. 1980 දී "දිවයින" සහ "දි අයිලන්ඩ්" පුවත්පත් පටන්ගැනීමට පෙර ඔහු වෙළෙඳපොළ සමීක්‍ෂණයක්‌ කරවීය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන් සඳහා සිංහල ව්‍යාපාරිකයකු විසින් කරන ලද පළමුවන වෙළෙඳපොළ සමීක්‍ෂණය එය ය. කිසිදු සිංහල හෝ ඉංගී්‍රසි පුවත්පතකට ශ්‍රී ලංකාව තුළ ඉඩ නැති බව ඒ සමීක්‍ෂණ වාර්තාවේ සඳහන් විය. සමීක්‍ෂණය කළෝ බ්‍රිතාන්‍යයේ සංගණන සමාගමකි. වාර්තාව කියවූ උපාලි එය පැත්තකට විසිකර දමා මුද්‍රණ යන්ත්‍ර එංගලන්තයෙන් ඇණවුම් කර සිය පත්තර කන්තෝරුව පටන් ගත්තේය. ඉරිදාට පළවූ Sunday Island පුවත්පත මුල් කාලයේදී A'Pura Diaries යනුවෙන් විශේෂාංගයක්‌ පළ කළේය. මෙය ලියන ලද්දේ උපාලි විජයවර්ධන විසිනි. ඒ මගින් නිතරම රොනී ද මෙල්ට සහ ආර්. ප්‍රේමදාසට ව්‍යංගයෙන් පහර දෙන ලදී. රෝනී තමන් පිළිබඳ විවේචනයක්‌ දුටු විට රැස්‌වීමකදී හෝ ප්‍රසිද්ධ තැනකදී උපාලි විවේචනය කර නිහඬ වූ නමුත් අගමැති ආර්. ප්‍රේමදාස එය හිතේ තබාගෙන සිටියේය. ඔහු සිය කෝපය ස්‌ථාවර තැන්පතුවක්‌ ලෙස සිය සිත තුළ තැන්පත් කරගත් අතර එම වෛරයට පොලී සහ වැල් පොලී එකතුවෙන්නට ඉඩ හැර බලා සිටියේය.


උපාලි, පුවත්පත් කර්මාන්තයට පිවිසෙන විට මහ කොළඹ ආර්ථික කොමිසමේ (නූතන ආයෝජන සංවර්ධන මණ්‌ඩලය) අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු එය ඉතා කැමැත්තෙන් කළ කටයුත්තකි. ඒ සඳහා යන විදේශ ගමන්වලදී තම ගුවන් ප්‍රවේශපත්‍රයට මුදල් ගෙවූ උපාලි තම හෝටල් ගාස්‌තු පුද්ගලික මුදලින් ගෙවීය. මහ කොළඹ ආර්ථික කොමිසම යනු ෙ-. ආර්. ගේ සිහිනයකි. මෙහි පළමු වන අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීම පැවැත්වෙන්නේ උපාලි සමූහ ව්‍යාපාරයේ කොළඹ බ්ලුමැන්ඩල් පාරේ පිහිටි අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීම් ශාලාවේය. මහකොළඹ ආර්ථික කොමිසම එවකට පවත්වාගෙන යන ලද්දේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයට පෙනෙන මානයේ තිබූ (අදටත් තිබෙන) විශාල ගොඩනැගිල්ලකට අයත් කුඩා පරිශ්‍රයකය. තම ඥති සහෝදරයා වන ෙ-. ආර්. ගේ සිහිනය සැබෑ කිරීමට නම් තම සියලු සිහින සැබෑ කරගත් බ්ලුමැන්ඩල් පාරේ ජයභූමියෙහි පිහිටි කාර්යාල සංකීර්ණයට අයත් අධ්‍යක්‍ෂ මණ්‌ඩල ශාලාව තුළ මහ කොළඹ ආර්ථික කොමිසමමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ මංගල රැස්‌වීම පැවැත්විය යුතු බව උපාලි තරයේ කියා සිටියේය. රාජ්‍ය ආයතනයක වැදගත් රැස්‌වීමක්‌ පුද්ගලික ආයතනයක පැවැත්වීම ගැන සමහර ඇමැතිවරු විරුද්ධ වූහ. ඒ විරෝධය දුටු ෙ-. ආර්. උපාලි අර්බුදයක්‌ ලෙස දිගටම තබාගැනීමෙන් විය හැකි ක්‍රමෝපායමය වාසි (Sඑර්ඒටසජ Adඩ්බඒටැ) සළකා උපාලිගේ කැමැත්තට ඉඩ දුන්නේය.

දිනක්‌ නිදහස්‌ වෙළෙඳ කලාපයට ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරුවට ගිය උපාලි පුවත්පත් සාකච්ඡාවකට සහභාගි විය. "ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සුළු ජාතියක්‌ ලෙස සළකා සිංහලයන් විසින් පාගාගෙන සිටින්නේ ද" යන ප්‍රශ්නය එක්‌ වාර්තාකරුවෙක්‌ විසින් නගන ලදී. එවිට උපාලි ඉතා ලිහිල් ලෙස මෙසේ උත්තර දුන්නේය. "මහත්වරුනි, මම සිංහලයෙක්‌. මගේ දකුණු පැත්තෙන් ඉන්නේ නිදහස්‌ වෙළෙඳ කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් රාජා කුමාරස්‌වාමි සහ අධ්‍යක්‍ෂ ඒ. වයි. එස්‌. ඥනම්. මගේ වම් පැත්තෙන් ඉන්නේ ශ්‍රී ලංකාවේ මහා භාණ්‌ඩාගාරයේ ලේකම් චන්දි චන්මුගම්. මගේ ඉදිරියෙන් ඉන්නේ සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ සී. ගුණසිංහම්, මෙතැන ඉන්න සුළු ජාතිකයා මමයි.

මේ කතාවට ෙ-. ආර්. මහත් ප්‍රසිද්ධියක්‌ දුන්නේය. එවිට රොනී සහ ප්‍රේමදාස කෝපයට පත් වූහ. ෙ-. ආර්. කළේ උපාලි සමග ඔවුන් ඇතිකරගෙන තිබූ අර්බුදය නඩත්තු කිරීමය. මේ අර්බුදය තිබෙන තාක්‌කල් තම ජනාධිපති තනතුරට හානියක්‌ නැති බව ෙ-. ආර්. දැනසිටියේය. ආර්ථික විද්‍යාව පිළිබඳ හසල දැනුමක්‌ තිබූ බ්‍රිතාන්‍යවාසී කතෝලික පූජකයෙක්‌ වූ තෝමස්‌ මැල්තස්‌ (1766-1834) එක්‌දහස්‌ අටසිය ගණන්වල මුලදී ජනගහනය පිළිබඳ න්‍යායක්‌ ඉදිරිපත් කළේය. එයින් කියෑවුණේ පාලනය නොකෙරෙන ජනගහනය සෑම වසර 25 කට වරක්‌ම දෙගුණ වන බවය. එය රටට බරකි. පාලකයාටද බරකි. ඉතා හොඳින් නඩත්තු කරන ලද දේශපාලන අර්බුදයක්‌ ඇතැම් අවස්‌ථාවකදී රටට බරක්‌ වන නමුත් පාලකයාට වාසියක්‌ වන බව ෙ-. ආර්. විශ්වාස කළ බව උපාලි ප්‍රේමදාස රොනී ගැටුමේදී පෙනෙන්නට තිබිණි.


මේ අතර උපාලි විජයවර්ධනගේ සුඛෝපභෝගී ජීවන රටාව ඔහුගේ විරුද්ධවාදීන්ගේ නොමනාපයට හේතුවිය. S-126 මාදිලියේ බෙන්ස්‌ රථයක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වා පාවිච්චි කරන පළමුවන ශ්‍රී ලාංකිකයා වන්නේ උපාලිය. 1980 දී මුල්වරට මිට්‌සුබිෂි ලාන්සර් රථයක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වා නුවරඑළියේ රථ ධාවන තරගයකදී එය ධාවනය කරන පළමුවන ශ්‍රී ලාංකිකයා උපාලිය. මේ සමගම මිට්‌සුබිෂි ලාන්සර් රථ සඳහා වෙළෙඳ පොළක්‌ සෑදෙන්නට විය. තම පුද්ගලික ලියර් ජෙට්‌ යානයෙන් ලන්ඩනයේ සිට දිවා කාලයේදී ලංකාවට එන උපාලි තම හෙලිකොප්ටරයෙන් නුවරඑළියට ගොස්‌ දිවා ආහාර ගෙන සවසට ගොල්µa ගසා රාත්‍රි ආහාරය සඳහා හෙලිකොප්ටරයෙන් කොළඹ ඒමට පුරුදු වෙයි. මෙය රොනී ද මෙල්ට කළ නොහැක්‌කකි. ආර්. ප්‍රේමදාසට හිතීමට පවා දුෂ්කර වූවකි. අගමැති ප්‍රේමදාස සිංහලයාගේ නාඩි ඇල්ලිය හැක්‌කේ ඉන්දියන් විරෝධී සහ දෙමළ විරෝධී මත වාදයකින් යෑයි සිතන බව ආරංචි වන උපාලි "සෑම සාර්ථක මිනිසකු පිටුපසම ගැහැනියක සිටින්නේ යම්සේද එහි සෑම සාර්ථක සිංහල ව්‍යාපාරිකයකු පිටුපසම දෙමළ මිනිසකු සිටින බව කියයි. ඒ සඳහා උදාහරණය ලෙස ඔහු දක්‌වන්නේ තම ආයතනයේ නියෝජ්‍ය සභාපති වන ආර්. මුරුගයියාය. ආර්. මුරුගයියා උපන්නේ මධ්‍යම කඳුකරයේ "ඩෙල්ටා" නමැති වතු සමාගමකට අයත් වත්තකදීය. උපාලි තමන් නිෂ්පාදනය කරන ටොµs වර්ගයට ඩෙල්ටා යන නම යොදන්නේ මුරුගයියාට ගරු කරනු පිණිසය.

ෆ ෆ ෆ ෆ ෆ

සිය පුවත්පත් සමාගමේ ප්‍රධාන ප්‍රකාශනවල සාර්ථකත්වය දුටු උපාලි "තීවාගම්" නමැති දෙමළ පුවත්පතක්‌ ආරම්භ කිරීමට තීරණය කළේය. ඒ වන විට තිනකරන්, තිනකරන් වාරමංජරි, වීරකේසරී, වීරකේසරී වාරමලර්, මිත්‍රන් යනාදී වශයෙන් දෙමළ පුවත්පත් රැසක්‌ මෙරට මුද්‍රණය විය. ඒ අතර ඉන්දියාවේ සිට හොර බඩු පටවාගෙන එන වල්ලම් යාත්‍රා මගින් තමිල්නාඩුවේ පළවූ වෙනත් දෙමළ ප්‍රකාශන ලංකාවට ගෙන එනු ලැබීය. වෙළෙඳ පොළ සමීක්‍ෂණවලට අනුව තවත් දෙමළ පත්තරයකට ඉඩ තිබුණේ නැත. එය ඇසූ ගමන්ම 1983 මැයි මාසය වන විට "තීවාගම්" ආරම්භ කරන බව උපාලි සිය මිතුරන්ට කීය. මේ රටේ වෙසෙන ජනයා කතා කරන සිංහල, දෙමළ, ඉංගී්‍රසි, මැලේ යන භාෂාවලින් ආණ්‌ඩුවේ කන්තොරු හරහා වැඩකර ගැනීමට මිනිසුන්ට හැකිවන පරිදි භාෂා ප්‍රතිපත්තියක්‌ ඇති කළ යුතු බව ඔහුගේ මතය විය. තීවාගම් තුළින් ඒ මතය වෙනුවෙන් හඬක්‌ ගොනු කිරීම ඔහුගේ අදහස විය.

උපාලි රජයේ උසස්‌ තනතුරක්‌ වූ මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වීමත්, ඔහුගේ පුවත්පත් ආයතනය රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීමත් යන කාරණා නිසා ජේ. ආර්. ගේ අර්බුදය තවත් හොඳින් නඩත්තු විය. මෙය ඉංගී්‍රසියෙන් Conflict of Intrests ලෙස හඳුන්වන තත්ත්වයකි. මේ අනුව උපාලි එම තනතුරින් ඉවත් කළ යුතු බව ජේ. ආර්. ජයවර්ධනගේ කැබිනට්‌ මණ්‌ඩලයේ ප්‍රධාන අමාත්‍යංශ කිහිපයක්‌ පාලනය කළ දේශපාලනඥයන් දෙදෙනකුගේ මතය විය. ජේ. ආර්. මේ තත්ත්වය කළමනාකරණය කිරීමට උත්සාහ කළ මුත් අගමැති ප්‍රේමදාස එයට විරුද්ධ විය. ඔහු කල්පනා කළේ තමන්ට (ප්‍රේමදාසට) හිමි ඊළඟ ජනාධිපති වීමේ අවස්‌ථාව ජේ. ආර්. විසින් උපාලිට බිලි දෙන්නට සූදානම් වන බවය. 1981 දී මේ පිළිබඳ සෙවීමට අගමැති ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරිම් කමිටුවක්‌ පත් කරන ලදී. එය පිහිටුවන ලද්දේම උපාලි එම තනතුරට නුසුදුස්‌සකු කරන පිණිසය. 1981 දෙසැම්බර් මාසයේදී එහි ප්‍රතිඵලය පිට වූ අතර උපාලි තම තනතුරට නුසුදුස්‌සකු කරනු ලැබීය. ඔහු ඉල්ලා අස්‌විය යුතුව තිබිණි.

එහෙත් උපාලි ඉල්ලා අස්‌වූයේ නැත. ඔහු එසේ කළේ තම සතුරන් කෝප කරනු සඳහාය. තමා පත් කරන ලද්දේ ජනාධිපති ජයවර්ධන විසින් බැවින් ඔහු නියෝග කරන තුරු තමාට ඉල්ලා අස්‌වීමට නොහැකි බව ඔහුගේ තර්කය විය. මේ පිළිබඳ 1982 ජනවාරි හතරවැනිදා ඉංගී්‍රසි පුවත්පතක්‌ සමග පැවැති සාකච්ඡාවකදී ඔහු මෙසේ කීයá "මට ඉතා දීප්තිමත් දේශපාලන අනාගතයක්‌ තිබෙනවා. ටික කලක්‌ නිදහසේ ඉඳලා ආසනයක්‌ තෝරාගෙන දේශපාලන කටයුතු කිරීමයි මගේ බලාපොරොත්තුව..."

ප්‍රධාන පක්‍ෂ දෙකම මාතර දිස්‌ත්‍රික්‌කයේ ආසනයකට තරග කරන ලෙස තමාගෙන් ඉල්ලා ඇතැයි උපාලි මෙහිදී කීවේය. ඒ අතර තමාට ආදරය කරන අයගෙන් ලියුම් ටොන් ගණනින් ලැබෙන බවත් එම ලියුම් තොගය දකින කෙනකු තමාම පක්‍ෂයක්‌ ආරම්භ නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරනු ඇති බවත් ඔහු කීවේය. අතීතයේදී තමාගේ දේශපාලන වීරයා එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක නමුදු මෙකල එම තැන ලබාගෙන ඇත්තේ ජනාධිපති ජයවර්ධන බවද ඔහු සඳහන් කළේය. ඔහු තෝරාගෙන තිබූ ආසනය සිය මවගේ ජන්මය හා සම්බන්ධ මාතර කඹුරුපිටියයි. ඔහුගේ දේශපාලන ව්‍යාපාරයේ නම රුහුණු උදානයයි. ඒ වූකලී උපාලිගේ ජීවිතයේ හොඳම කාලයයි. ඒ වන විට ලොව පුරා ඔහුගේ ආයතනවල 33000 ක්‌ සේවය කරමින් සිටියහ. බැංකු, ඉල්ලන පරක්‌කුවෙන් ඔහුට ණය දුන්නේය. එහෙත් ඔහු නොදත් එක්‌ දෙයක්‌ විය. පළමුවැන්න, සිය ඥාති සහෝදර ජේ. ආර්. ක්‍රමයෙන් ඔහු වෙතින් ගිලිහෙමින් සිටි බවයි. දෙවැන්න රොනී ද මෙල් ඔහුව අමතක කර දැමීමට සූදානම් වුවත් ප්‍රේමදාස ඔහු අමතක කිරීමට සූදානම් නැති බවය.

++++++++++++
එක්‌දහස්‌ නවසිය අසූ එක වසරේ දවසක හිටපු අගමැති සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය රත්මලානේ පැවැති ජන රැලියකදී මෙසේ කීවාය. "අගමැති ආර්. ප්‍රේමදාස තම තනතුරට හිමි වැටුප ලෙස සීමිත මුදලක්‌ ලබයි. එහෙත් ඔහුගේ දරුවෝ පිටරට ඉගෙන ගනිති. ඒ සඳහා තමන් ලබන වැටුපට වඩා විශාල මුදලක්‌ ඔහු ඉපයිය යුතුය..."

මේ කතාව "දිවයින" පුවත්පතේ විශාල ශීර්ෂ පාඨයක්‌ යටතේ පළ විය. මෙයින් කියෑවෙන්නේ තමන් වැටුපට අමතරව යන වියදම් ඉපයීම සඳහා අල්ලස්‌ ලබාගන්නා බව යෑයි තර්ක කරමින් අගමැති ආර්. ප්‍රේමදාස "දිවයින"ට එරෙහිව රුපියල් ලක්‍ෂ 10 ක්‌ වන්දි ඉල්ලමින් නඩුවක්‌ පැවැරීය. නඩුව සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත හැකිව තිබුණ ද එසේ නොකර උසාවි යැමට උපාලි විජයවර්ධන තීරණය කළේය. රුපියල් ලක්‍ෂ 10 ක්‌ වන්දි ගෙවීමට පෙර රුපියල් කෝටි 10 ක මඩ තොගයක්‌ ප්‍රේමදාසට ගැසීම එසේ උසාවි යැමේ අරමුණ විය. මේ නඩුව අඩුම වශයෙන් වසර 05 ක්‌ වත් ඇසෙන අතර විත්තිය (උපාලි පුවත්පත් සමාගම) විසින් සාක්‍ෂි කැඳවනු ලැබේ. මේ සාක්‍ෂි විභාග "දිවයින", "දි අයිලන්ඩ්" සහ වහා ඇරැඹීමට අපේක්‍ෂිත "තීවාගම්" දෙමළ පුවත්පත හරහා විශාල වශයෙන් ප්‍රසිද්ධ වේ. ප්‍රේමදාසගේ දේශපාලන අනාගතය එමගින් විනාශ වන අතර යළි ගොඩ ඒමට නොහැකි දේශපාලන ප්‍රපාතයකට ඔහු ඇද දමනු ලැබේ.

අපගේ ලිපි පෙළ මෙතැනින් නිමාවට පත් කරන අතර උපාලි විජයවර්ධන අතුරුදන් වීමට පෙර එවකට එ.ජා.ප. යේ පුරපතිවරයකු වූ (පසු කාලයේදී ඔහු ඇමැති කෙනෙක්‌ විය.) එක්‌තරා පුද්ගලයකු මැලේසියාවට හා සිංගප්පූරුවට ගිය බවත්, ඉන්පසු එම රටවල් ඉතා හොඳින් පුරුදු කැසිනෝ ව්‍යාපාරිකයකු එහි ගොස්‌ ස්‌වල්ප කලක්‌ සිටි බවත්, අවසන් ගමන පිටත්වීමට පෙර උපාලිගේ ලියර් ජෙට්‌ යානය මැලේසියාවේ සුබංග් ගුවන් තොටුපළේ එළිමහනක දෙදිනක්‌ පමණ නවත්වා තිබූ බවත් (සාමාන්‍යයෙන් ගුවන් යානා ගාල් කර තබන්නේ හැංගර් නමැති විශාල ගොඩනැගිලි තුළය.) අගමැති ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී උපාලිට ශාප කළ බවත් පාඨකයා විසින් මතක තබාගනු ලැබිය යුතුය.

සමාප්තයි

* අනුර සොලමන්ස්‌
* මනෝඡ් අබයදීර
1980 දී උපාලි විජයවර්ධනගේ දේශීය හා විදේශීය ව්‍යාපාරික ආයතනවල සම්පූර්ණ වටිනාකම ඇමරිකන් ඩොලර් කෝටි 5 කි. මෙකල ඇමරිකන් ඩොලරයක රුපියල් වටිනාකම රුපියල් 10 කි. ඒ අනුව ඔහුගේ වත්කම්වල අගය රුපියල් කෝටි 50 කි.

ඒ වන විට රට පුරා පැතිර තිබූ කටකතාව වූයේ උපාලි ආර්ථික ශිල්පයෙහි රණ සූරයකු බවය. ඒ අතර ඩොලර් මිලියනයක්‌ ගෙවා මුද්‍රණ යන්ත්‍රයක්‌ ගෙන්වන ඔහු තම පළමුවන ප්‍රකාශනය වූ "චිත්‍ර මිත්‍ර" චිත්‍ර කතා පත්තරය ඇරඹීය. වෘත්තීය වශයෙන් කරවල වෙළ¹ම ද, විනෝදාංශය වශයෙන් චිත්‍ර කතා ඇඳීමද කළ මීගමුවේ ඇබ්ඩන් මිහිඳුකුල නමැති තරුණයෙක්‌ චිත්‍ර මිත්‍ර පත්තරයට චිත්‍ර කතාවක්‌ අඳී. එහි සුනඛයකුගේ චරිතයක්‌ එයි. සුනඛයාගේ නම "රොනී" ය.

මෙය ආරංචි වූ එවකට මුදල් ඇමැති රොනී ද මෙල් මාරාවේෂ විය. පළපුරුදු සිවිල් සේවකයකු වූ හෙතෙම 1977 දී බලයට පත් ඡේ. ආර්. ජයවර්ධනගේ ආණ්‌ඩුවේ මුදල් ඇමැතිවරයා වූ අතර උපාලි සමඟ ආරවුලක්‌ ද පටන්ගෙන තිබිණ. ඒ ආරවුල සමගි පෙරමුණ රජයේ ඉඩම් ජනසතුව සමග මතු වූවකි. 1973 දී එවකට කෘෂිකර්මාන්ත ඇමැතිවරයා වූ හෙක්‌ටර් කොබ්බෑකඩුව ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසම පිහිටුවා පනතක්‌ ඉදිරිපත් කළේය. ඒ පනතට අනුව තනි පුද්ගලයකු සතු ව තිබිය හැකි ඉඩම් ප්‍රමාණයේ උපරිමය අක්‌කර 50 කි. එම ප්‍රමාණය ඉක්‌මවන ඉඩම් සියල්ල ආණ්‌ඩුවට පවරාගෙන ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය නමැති රජයේ ආයතනය යටතට දමා ඒවායින් උපදවන සියලු ආදායම් මහා භාණ්‌ඩාගාරයට හරවනු ලැබීය. මේ පනත යටතේ බණ්‌ඩාරනායක පවුල සතුව තිබූ ඉඩම් අක්‌කර දහස්‌ ගණනින් එම පවුලට ඉතිරි වූයේ අක්‌කර 200 ක්‌ පමණි. බණ්‌ඩාරනායක මැතිsනියට අක්‌කර 50 ක්‌ හා දරුවන් තිදෙනාට (සුනේත්‍රා, චන්ද්‍රිකා, අනුර) අක්‌කර 50 බැගින් ද ඉතිරි කර සෙස්‌ස රාජසන්තක විය. පනත පාර්ලිමේන්තුවට ගෙනා හෙක්‌ටර් කොබ්බෑකඩුවටද පරම්පරාවෙන් උරුමව තිබූ ඉඩම් අක්‌කර හත් අට සියයක්‌ අහිමි විය.

මේ කියන කාලයේදී රොනී ද මෙල් සිවිල් නිලධාරියෙකි. පසුගිය ශතවර්ෂයේ ජීවත් වූ ඉතාම ධනවත් සිංහලයකු වූ කලුතර ශ්‍රීමත් ලියෝ ප්‍රනන්දුගේ දියණිය වූ මල්ලිකා සමග විවාහ වී සිටි රොනීට දෑවැද්ද වශයෙන් තේ සහ රබර් අක්‌කර දහස්‌ ගණනක්‌ ලැබී තිබිණ. ශ්‍රීමත් ලියෝ ප්‍රනාන්දු ඉඩකඩම්වලට අමතරව ප්‍රවාහන සමාගමකද රක්‍ෂණ ව්‍යාපාරයක කොටස්‌ බහුතරයක අයිතිකරු ය. රොනීට මේ සියල්ල අයිති විය. බණ්‌ඩාරනායක මැතිනියගේ ඉඩම් ප්‍රතිසංස්‌කරණ පනතේදී මෙල් පවුලේ දේපළ බවට පත්ව තිබූ ඉඩම් අක්‌කර දහස්‌ ගණනක්‌ ආණ්‌ඩුවට ගියේ එම පවුලට, පවුලේ සාමාජිකයන් ගණන අනුව අක්‌කර 250 ක්‌ ඉතිරි කරමිනි. මේ ඉඩම් බුලත්සිංහල ආසනයේ තිබූ ඉතා සාරවත් ඉඩම් ය. එම නීතිය නිසා මැල්වරු කම්පා වුණේ නැත. එහෙත් එකල හිස ඔසවමින් සිටි ධනවතකු වූ උපලි විජයවර්ධන නමැති තරුණයෙක්‌ පනතට යටින් රිංගා ගොස්‌ ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් වතු සමාගම නමින් තමන් සතු ඉඩම් අක්‌කර දහස්‌ ගණනක්‌ ඉතිරි කරගෙන ඇති බව දැනගත් රොනී ද මෙල් ඒ ගැන සොයන්නට විය. උපාලි ඉඩම් ටික බේරා ගත්තේ මෙසේයá ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභා පනත කෙටුම්පත් කරන බව ආරංචි වූ උපාලි තමන්ට අයත් ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් වතු සමාගම එංගලන්තයට අයිති සමාගමක්‌ බවට පරිවර්තනය කළේය. එවිට එම සමාගම හඳුන්වන ලද්දේ "ස්‌ටර්ලිං පවුම්" සමාගමක්‌ ලෙසිනි. සමාගම යටතේ ඇති ඉඩම්වල භෞතික අයිතිය බැලූ බැල්මට උපාලි සතු වූයේ නැත. එහෙත් ඔහු සමාගමේ වේතන ලබන සභාපති විය. ඉඩම් ප්‍රතිසංස්‌කරණ පනතට පිටරට සමාගම්වලට අයත් ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීමට බලතල තිබුණේ නැත. අවශ්‍ය කෙනකුට රිංගා ගිය හැකි හිලක්‌ මේ පනතේ ඇති බව එය කෙටුම්පත් කරන විට කාටවත් කල්පනා වූයේද නැත. ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ඉඩම් අත්පත් කර ගැනීමට නම් පනතට වෙනම සංශෝධනයක්‌ එකතු කළ යුතු අතර එබන්දක්‌ සිදු වූයේ ද නැත. එය පාර්ලිමේන්තු පනතක්‌ බැවින් එයට එරෙහිව නඩු යැමේ ඉඩකඩ මඳ නිසා රොනී ද මෙල් අසරණ විය.

1977 ඡන්දයට එන විට ඡේ. ආර්. ජයවර්ධන තම ඇමැති මණ්‌ඩලයේ ප්‍රධාන තනතුරු සඳහා කල්තබාම තෝරා ගැනීම් කර තිබිණ. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය, අනාගතයේදී අගමැතිවීමට යන ආර්. ප්‍රේමදාසටත් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය අනාගතයේදි උපාලිගේ ප්‍රමුඛ දේශපාලන සතුරකු වීමට දෛවය විසින් නියම කෙරුණ රොනී ද මෙල්ටත් දීමට තීරණය කර තිබිණ.

සමගි පෙරමුණ ආණ්‌ඩුව ඉතිහාසගත ලෙස මහපොළවට පාත් කළ 1977 මහ මැතිවරණයේදී ආසනයක්‌ තරග කරන ලෙස ඡේ. ආර්. ජයවර්ධන සිය ඥාති සහෝදරයා වන උපාලි විජයවර්ධනට කියා තිබිණ. එහෙත් එජාපයේ ඡන්ද පදනම ගැන ඉතාම වැරැදි තක්‌සේරුවක සිටි උපාලි ශ්‍රී ලනිපය දිනනු ඇතැයි සිතා එම ඉල්ලීම ඉවත දැම්මේය. තරුණ කාලයේ සිටම උපාලි දේශපාලන බලය වෙත යොමු කරන ලද්දේ ඡේ. ආර්. ය. උපාලිගේ මාමා වූ සරත් විඡේසිංහ සෙනෙට්‌ සභිකයකු වුවද උපාලිට දේශපාලනය ගැන අවධානයක්‌ තිබුණේ නැත. එහෙත් ඡේ. ආර්. විධායක ජනාධිපති ධුරය පිළිබඳ සිය අනාගත සිහිනය හිතේ සඟවාගෙන අනාගත දවසකදී ලංකාවේ ජනාධිපති බවට පත්වීමේ වාසනාව උපාලිට ඇතැයි නිතර කීවේය. ඔහු බොහෝ විට උපාලිට කතා කළේ "මිස්‌ටර් ප්‍රසිඩන්ට්‌" යනුවෙනි. ඇතැම් විට උපාලි තම සමාජ පන්තියට අයත් නිසා තමාගෙන් පසු රාජ්‍ය බලය උපාලි වෙත යා යුතු යෑයි ඡේ. ආර්. කල්පනා කළා විය හැකිය. එහෙත් "මිස්‌ටර් ප්‍රසිඩන්ට්‌" ඇමතුම ඉතා නරක දේශපාලන ලණුවකි. එය උපාලිගේ ඔලුව විකාර කළ බව කියනු ලැබේ.

1981 දී උපාලි පුවත්පත් සමාගම පටන් ගැනීමෙන් පසු ඉරිදා අයිලන්ඩ් පුවත්පතේ කලාපයක (29/11/81) Upali bares the Facts (උපාලි තතු හෙළකරයි) යනුවෙන් ශීර්ෂ පාඨයක්‌ පළවිය. උපාලිගේ ඉංගී්‍රසි පුවත්පත්වල කතුකම භාර ගැනීමට සිට පසුව රොයිටර් පුවත් සේවයේ කොළඹ කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත්ව ගිය ඩෝල්ටන් ද සිල්වා එය ලියා තිබුණි. උපාලි ශ්‍රී ලංකාවේ මුදල් ඇමැති වීමට කැමැත්තෙන් සිටින බව එහි පළ විය. රටේ ජනාධිපති වීමට කැමැතිද යන ප්‍රශ්නය නැඟූ කල්හි උපාලි කියා තිබුණේ එය ජනතාවගේ අතේ ඇති තීරණයක්‌ බවය. මේ වන විට රොනී ද මෙල්, ජයවර්ධන ආණ්‌ඩුවේ මුදල් ඇමැති ලෙස හතරවන අවුරුද්ද ද ගත කරමින් සිsටියේය. උපාලි ඒ ආණ්‌ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රමුඛ පහසුකම් සපයන්නා (Facilitator) වූ මහ කොළඹ ආර්ථික කොමිසමේ (අද ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය) අධ්‍යක්‍ෂ ජනරාල් විය. එම කොමිසම භාර දීමෙන් රටේ ආර්ථිකය සමග නිල බලයෙන්ම ගනුqදෙනු කිරීමට බැඳී සිටින රොනී ද මෙල් සමඟ නිදහසේ ගැටීමට දැන හෝ නොදැන ඡේ. ආර්. විසින් ඉඩ සලසා තිබිණ.

අයිලන්ඩ් පුවත පළවීමට පෙර සති දෙක තුනකට පෙර (1981 නොවැම්බර් 1 වැනි ඉරිදා) උපාලිට ඇබැද්දියක්‌ විය. උපාලි ඔස්‌ටේ්‍රලියාවට යැම සඳහා කටුනායක ගුවන් තොටුපළට ගියේය. එහි ආගමන විගමන තීරුවේදී උපාලි නවත්වන ලදි. එයට හේතුව ඔහුට අයත් උපාලි ඉලෙක්‌ට්‍රොනික්‌ සමාගම ව්‍යාපාරික පිරිවැටුම් බදු වශයෙන් (BIT) ගෙවිය යුතු රුපියල් පහළොස්‌ ලක්‍ෂයක්‌ ගෙවීම පැහැර හැරීමය. උපාලි රට යැමෙන් වළක්‌වන නියෝගය එවා තිබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවය. එසේ කළ යුතු බවට එම දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබුණේ මුදල් අමාත්‍යංශයය. උපාලි මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් රොනී ද මෙල් සැක කළේය. කෙසේ වුවද බලවතුන් කිහිප දෙනකු සමඟ කළ සංවාදවලින් පසු උපාලි ඔස්‌ටේ්‍රලියාව බලා ගියේය. ඊට පසු සඳු දින ඔස්‌ටේ්‍රලියාවේ සිට තම කොළඹ කාර්යාලයට කතා කළ උපාලි මේ මුදල ගෙවන ලෙස දැන්වීය. ඒ අනුව ඊට පසු දින රුපියල් දශ ලක්‍ෂයක්‌ ගෙවනු ලැබීය.


තමා මුදල් ඇමැති වීමට කැමැති බව, ලංකාවට පැමිණි උපාලි අයිලන්ඩ් පත්‍රයට පවසන්නේ ඉන් පසුවය. වැඩිදෙනාගේ මතය වූයේ ඡේ. ආර්. ජයවර්ධන උපාලි සම්බන්ධයෙන් ද්විත්ව චරිතයක්‌ රඟපාන බවය. ඡේ. ආර්., "මිස්‌ටර් ප්‍රසිඩන්ට්‌" යෑයි උපාලිට විහිළු කළ කාලයේදී උපාලි වැඩෙමින් සිටි තරුණ ව්‍යාපාරිකයෙක්‌ විය. ඉන් වසර බොහෝ ගණනකට පසු උපාලිට තහවුරු වූ ආර්ථික යෝධයකු ලෙස ඉදිරියට එන විට තම ජනාධිපති තනතුරේ දෙවැනි ධුර කාලයට තට්‌ටුවනු ඇතැයි ඡේ. ආර්. කල්පනා නොකළා විය යුතුද? උපාලි නමැති කොස්‌ ඇටය බෑම සඳහා ගිනි අඟුරු ගොඩට අත දැමීමට සූදානම් බළලුන් දෙදෙනෙක්‌ ඡේ. ආර්. විසින් සූදානම් කරනු ලැබ තිබිණ.

මේ සිද්ධියෙන් පසු දී අයිලන්ඩ් පත්‍රය දිගින් දිගටම රොනීට පහර දීමට පටන් ගත්තේය. තමා මුදල් ඇමැති වීමට කැමැති බව ද උපාලි දිගටම කීය. ජයවර්ධන ජනාධිපතිතුමා ඔහුගේ කැබිනට්‌ මණ්‌ඩලයට තමා පත් කිරීමට කැමැත්තෙන් සිටින බව කී උපාලි තම මූල්‍ය ශක්‌තිය සහ ආර්ථික විෂයයෙහි ඇති පසුබිම් දැනුම නිසා මුදල් අමාත්‍යංශය තමාට හොඳින් ගැළපෙන බව සඳහන් කළේය.

උපාලි, රොනී සමග ගැටෙන අතර ආර්. ප්‍රේමදාස සමග ද ගැටුණේය. මේ නිසා උපාලි සහ එජාප ආණ්‌ඩුව අතර ගැටුමක්‌ ඇති විය. උපාලි මහකොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්කමින් නෙරපිය යුතු යෑයි මේ අතර පාර්ලිමේන්තු තේරීම් කමිටුවක්‌ තීරණය කළේය. එහෙත් ජනාධිපති ජයවර්ධන තමාට තනතුරෙන් ඉවත් වන ලෙසට අණ නොකළ බැවින් තමා දිගටම තනතුරේ රැඳී සිටින බව උපාලි කියුවේය. 1981 නොවැම්බර් පාර්ලිමේන්තුවේ කතා වැරැදි ලෙස වාර්තා කළ බව කියමින් දිවයින සහ දි අයිලන්ඩ් පුවත්පත්වලට සතියක කාලයක්‌ පාර්ලිමේන්තුව තහනම් කරන ලදි. ඒ අතර 1981 දෙසැම්බර් 10 වැනිදා එජාප ආණ්‌ඩුව ඉතා නපුරු කැබිනට්‌ තීරණයක්‌ ගත්තේය. ඒ වූ කලී රජයේ දැන්වීම් රජයේ පුවත්පත්වලට පමණක්‌ සීමා කිරීමය. මෙහි අරමුණ දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත්වලට දැන්වීම් නොදීමය. මේ තීරණය උපාලිගේ ඥති සහෝදරයා වුව ඔහුට "මිස්‌ටර් ප්‍රසිඩන්ට්‌" කියමින් විහිළු කළා වූද ඡේ. ආර්. ජයවර්ධනගේ සම්පූර්ණ අනුදැනුම මත ගන්නා ලද්දක්‌ බව මෙහිදී කිව යුතුය.

* අනුර සොලමන්ස්‌
* මනෝජ් අබයදීර
උපාලි විජයවර්ධන ඇතුළු පිරිස රැගත් යානය මලක්‌කා සමුද්‍ර සන්ධියේ ඉන්දුනීසියානු කොටසට වැටෙන්නට ඇති බවත් යානයේ සිටි සියලු දෙනාම මිය යන්නට ඇති බවත් අනතුරින් දින 13 කට පසු එනම් 1983 පෙබරවාරි 26 වැනිදා වෙළෙඳ හා නාවික ඇමැති ලලිත් ඇතුලත්මුදලි පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වමින් පැවැසීය. උපාලි අතුරුදන්වීම සම්බන්ධයෙන් රජය පැත්තේ නියෝජිතයා ලෙස ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ තිබුණේ ලලිත් ඇතුලත්මුදලි ය. අවසන් මොහොතේදී උපාලිගේ ලියර් ජෙට්‌ යානය අඩි 25000 ක්‌ උඩින් පැයකට සැතපුම් 400 ක වේගයෙන් ගමන් කළ බවටත් එහෙත් ක්‍ෂණිකව පැයට සැතපුම් 800 ක වේගයෙන් ගමන් කිරීමට පටන් ගත් බවටත් සාක්‍ෂි ඇති බවද ඔහු කීය. මෙය ශබ්දයේ වේගයද ඉක්‌මවූවකි. (ශබ්දය පැයකට සැතපුම් 768 ක වේගයෙන් ගමන් කරයි.) යානයේ වේගය මාරු වීමෙන් පෙන්නුම් කෙරුණේ හදිසි අනතුරකි.

ලියර් ජෙට්‌ යානය කඩාවැටීමට තුඩුදිය හැකි හේතු හතරක්‌ ද ලලිත් ඇතුලත්මුදලි මේ පුවත්පත් සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය. පළමු වැන්න, යානාවේ කාර්මික දොaෂයකි. දෙවැන්න, නියමුවාගේ අත්වැරැද්දකි. තෙවැන්න පිටතින් එල්ලවූ ප්‍රහාරයකි. සිවුවැන්න කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ හෙවත් යානය තුළ අටවන ලද බෝම්බයකි. මේ අවසානයට කී කරුණු දෙක ගැන ඇතුලත්මුදලි ඇමැතිවරයා තම හිතවතුන් වූ පුවත්පත් කලාවේදීන් සමග නිතරම කතා කළේය. මලක්‌කා සමුද්‍ර සන්ධියේ සිට ගොඩ බිමට පිවිසීමට උත්සාහ කරන අතරතුර යානයට කිසියම් පාර්ශ්වයක්‌ විසින් වෙඩි තබන ලද්දේ යයි සිතීමට ඔහු තුළ තාර්කික පදනමක්‌ තිබිණි. එහෙත් බෝම්බ සිද්ධිය ගැන වැඩියෙන් සිහිපත් කළ ඔහු එය ප්‍රායෝගිකව සිදුවිය හැකි දෙයක්‌ බව කියමින් ඒ කාරණය පිටුපස හඹා නොයැම ගැන තම හිතවතුන් වූ පුවත්පත් කලාවේදීන්ට දොස්‌ නැගීය. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, උපාලි විජයවර්ධන යන තිදෙනා මේ රටේ ඉහළම සමාජ ස්‌ථරය නියෝජනය කළ සිංහල බෞද්ධයෝ වූහ. ලංකාවේ මීළඟ ජනාධිපතිකම තමන්ට නොලැබෙනවානම් ඉතිරි දෙදෙනාගෙන් කාට ලැබුණත් විරුද්ධ නොවීමේ පදනමක්‌ ඒ සමාජ පන්තිය විසින් ඒ තිදෙනා තුළ නිර්මාණය කරනු ලැබ තිබිණි. උපාලි අතුරුදන්වූ අවස්‌ථාවේදී ඔහුගේ නිවසට හැම දිනකම පැමිණි අය අතර ලලිත් ඇතුලත්මුදලි ද ගාමිණී දිසානායක හා ඔහුගේ බිරිය වූ ශ්‍රීමා දිසානායක ද වූහ.

මීළඟට පොදුවේ අසන ලද ප්‍රශ්නය වූයේ යානයට බෝම්බයක්‌ තබන ලද්දේ නම් එය කළේ කවර සතුරකුද යන්නය. තුන්කු අබ්දුල් රහමන් ජනාධිපතිවරයාගේ කාලයේදී මැලේසියාවට ගිය උපාලි විජයවර්ධනට මැලේසියාවේ සමාගම් කිහිපයක්‌ම තිබිණි. ඒ සියල්ල වැවිලි සමාගම් වූ අතර ඒවා සතුව ඉඩම් අක්‌කර දහස්‌ ගණනක්‌ විය. (පසු කාලයේදී මැලේසියානු ජනාධිපති මහතීර් මොහොමඩ් විසින් ඉදිරිපත් කෙරුණ "භූමි පුත්‍ර සංකල්පය" හෙවත් රටේ ව්‍යාපාර විදේශිකයන්ගේ තනි අයිතියට නොවිය යුතු යෑයි නීතියක්‌ සම්මත කර එම ව්‍යාපාරවලට මැලේසියානුවන්ගේ කොටස්‌කාරීත්වයද අනිවාර්ය කරන ලදි. මෙවිට උපාලි විජයවර්ධන ජීවතුන් අතර නැත.) එහෙත් මැලේසියාව තුළ ඔහුට කිසිම සතුරකු නොවූ බව ලලිත් ඇතුලත්මුදලි සොයාගෙන තිබිණි. මැලේසියාව ඇරුණුකොට උපාලි නිතර ගිය රටවල් වූයේ ඔස්‌ටේ්‍රලියාව, සිංගප්පූරුව හා ඇමරිකාවය. ඇමරිකාව යනු ඔහුගේ පරමාදර්ශී ව්‍යාපාරික රාජ්‍යයයි. එංගලන්තය, සිංගප්පූරුව සහ ඔස්‌ටේ්‍රලියාව තුළ රේස්‌ අසුන් යෙදවීමට ඔහු උනන්දු විය. මේ කියන කාලයේදී ලෝකයේ හැම වැදගත් ප්‍රකෝටිපතියකු සතුවම ලියර් ජෙට්‌වලට අමතරව රේස්‌ අස්‌සයෝද වූහ. ලංකාවෙන් ලෝකයට යන ජාත්‍යන්තර මට්‌ටමේ පළමුවන ප්‍රකෝටිපතියා වෙමින් සිටි උපාලි තමන් යන එන සහ ගනුදෙනු කරන කිසිදු රටක හතුරන් හදා නොගැනීමට පරෙස්‌සම් විය. එහෙත් දේශපාලනික හේතු මත ඔහුට මවු බිමේ ආරවුල් තිබිණි.

ඒ ආරවුල්කරුවන් වූයේ අගමැති ආර්. ප්‍රේමදාස සහ මුදල් ඇමැති රොනීද මෙල්ය. මේ දෙදෙනාම විජයවර්ධනවරුන්ගේත් දිසානායකවරුන්ගේත් ඇතුලත්මුදලිවරුන්ගේත් පවුල් පදනමින් සහ සමාජකවයෙන් පිටත සිටි දෙදෙනෙකි. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ජාතික දේශපාලනයට එන උපාලි විජයවර්ධන මීළඟ ජනාධිපති වීම සඳහා ඔහුගේ ඥති සහෝදරයා වූ ඡේ. ආර්. ජයවර්ධන සමග කුමන්ත්‍රණය කරන බව ප්‍රේමදාස විශ්වාස කළේය. (මෙසේ විශ්වාස කිරීමට තරම් ප්‍රමාණවත් හේතුද ඔහු සතුව තිබූ අතර එම හේතුද ජේ. ආර්. සහ උපාලි අතර තිබූ ඥතිත්වයද ඉදිරි ලිපියකින් සාකච්ඡා කෙරේ.) රොනීද මෙල්ට තිබූ ප්‍රශ්නය වූයේ ඔහුගේ මුදල් ඇමැතිකම උපාලි විසින් පැහැර ගනු ලබනවා ඇත යන සැකයයි. දක්‍ෂ ව්‍යාපාරිකයකු වූ උපාලි රටටම අඩු මිලට කෑම දෙන වැඩපිළිවෙළක්‌ සකස්‌ කර ඇති බවට ඒ දිනවල කට කතාවක්‌ පැතිර තිබිණි. ආහාර යනු සෑම ඡන්දයකදීම වැදගත් තැනක්‌ ගන්නා සාධකයකි. මේ නිසා රොනී මෙන්ම ප්‍රේමදාස ද ඉදිරි දේශපාලනයේදී තමන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවන බව දැන සිටියහ. උපාලිගේ ජීවිතයට බලපෑ ප්‍රේමදාස සාධකය සහ රොනී ද මෙල් සාධකය යන දෙකෙන් ප්‍රේමදාස සාධකය වඩා බලවත් විය. රොනීට "ඡන්ද පදනමක්‌" තිබූ අතර ප්‍රේමදාසට ස්‌ථිරසාර "ජනතා පදනමක්‌" තිබිණි. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණිය සහ පසු කාලයේදී පහළවූ මහින්ද රාජපක්‍ෂ යන දෙදෙනාත් ආර්. ප්‍රේමදාසත් හැර ස්‌ථිරසාර "ජනතා පදනමක්‌" තිබූ එකම එක සිංහල බෞද්ධ දේශපාලනඥයා වූයේ ඩී. එස්‌. සේනානායකය. ජේ. ආර්. ජයවර්ධනටවත් ඒ ජනතා පදනම නොතිබුණ අතර 1977 දී ඔහු ලැබූ ජයග්‍රහණයේ පදනම වූයේ ශ්‍රී ලංකා නිදස්‌ පක්‍ෂය කෙරෙහි ජනතාව තුළ තිබූ කලකිරීමත් යූ. එන්. පී. සන්නාමය (ඊර්බා) කෙරෙහි තිබූ පැහැදීමත් ය. එකී ජන පදනමේ යෂ්ඨිය ගෙන ජනාධිපතිකම නමැති මැරතන් තරගයට සහභාගි වීමේ හැකියාව උපාලි විජයවර්ධන තුළ ක්‍රමයෙන් වර්ධනය වනු ප්‍රේමදාස දුටුවේය. මෙය ප්‍රේමදාස පමණක්‌ නොව ඡේ. ආර්. ද නො ඉවසූ ලකුණකි. එය ඉවසුවෝ ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි පමණි.


කෙසේ වුවද උපාලි අතුරුදන් වීමත් සමගම යානය විනාශ වූයේ බෝම්බයක්‌ පිපිරීම නිසා බවට කට කතා පැතිර ගියේය. ශ්‍රී ලාංකිකයා කට කතා කියන්නේ අඳුන බලාගෙන පේන කියනවා මෙනි. එහෙත් මේ කටකතාව පරදවා ගෙන තවත් කට කතාවක්‌ පැතිර ගියේය. බෝම්බයක්‌ පුපුරනවාට වඩා එය රසවත් වූ නිසා ඒ කට කතාව ගැන මිනිසුන් වැඩිපුර උනන්දු වන ආකාරය දන්නා ලදී. ඊට පෙර උපාලි අස්‌වයන් සම්බන්ධයෙන් තිබූ ලෝලීත්වය විස්‌තර කළ යුතුය.

උපාලි අස්‌වයන් කෙරෙහි උනන්දුවක්‌ දැක්‌වූයේ තරුණ කාලයේදීමය. එංගලන්තයේ උගනිද්දී නව යෞවනයකු වූ ඔහු අස්‌වයන් පිළිබඳ සිහින රාජ්‍යයක ජීවත් වූවෙකි. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දිනක්‌ කොළඹ ගාලු මුවදොර පිට්‌ටනියේ අසුන් පිට යන්නට ගොස්‌ බිම වැටීමෙන් සිහි නැතිවූ උපාලි ගෙදර ගියේ තම ඥති සහෝදරයකුගේ කර පිටිනි. පසු කාලයේදී (එක්‌දහස්‌ නවසිය පනස්‌ ගණන් මුලදී) අධ්‍යාපනය නිමකර මවුබිම වෙත පැමිණීමෙන් පසු ඒ වනවිට ශ්‍රී ලංකාවේ සිටි වඩාත්ම සාර්ථක අශ්ව හිමියා වූ හෙන්රි හලහකෝන් සහ ඔහුගේ පුත්‍රයා වූ බර්නාඩ් සමග මිත්‍ර වීමට උපාලිට හැකිවිය. බර්නාඩ් හලහකෝන්ට අශ්වයන් කිහිප දෙනෙක්‌ සිටි අතර ඔහු තුරග තරග සංගමයේ හිටපු සභාපතිවරයෙක්‌ විය. උපාලිගේ මාමා වූද අසුන් විශාල සංඛ්‍යාවක හිමිකරු වූද හිටපු සෙනට්‌ මන්ත්‍රී සරත් විඡේසිංහ ද හලහකෝන්ගේ මිතුරෙකි. උපාලිගේ ඥති සහෝදරයකු වූ රංජිත් විජයවර්ධන ද අශ්ව ප්‍රේමියෙකි.

ඒ වන විට කොළඹ රේස්‌ කෝස්‌ පිට්‌ටනියේ අශ්ව රේස්‌ පවත්වන ලදී. බර්නාඩ් හලහකෝන් සහ උපාලි විජයවර්ධන , රංජිත් විජයවර්ධන සමග සරත් විඡේසිංහගේ අසුන් පිට යමින් ඇතැම් විට තුරග තරගවලට සහභාගි වූහ. අශ්වයකු පිට යමින් එම සතා මෙහෙයවන කෙනකුට ස්‌ථිර වශයෙන්ම ඉතා කුඩා සිරුරක්‌ තිබිය යුතුය. එයට හේතුව "ජොකියා" බර වැඩි වූ විට අශ්වයාගේ ගමන බාලවන නිසාය. මේ න්‍යාය නිසා උපාලිට අසුන් මත යැමෙන් වැළකී සිටීමට ක්‍රම ක්‍රමයෙන් සිදු වූයේ ඔහුට උස මහත විශාල සිරුරක්‌ තිබූ හෙයිනි. පසු කාලයේදී නුමුහුන් උසස්‌ පැළැන්තිවලට අයත් අසුන් පිටරටින් ගෙන්වූ උපාලි සැහැල්ලු සිරුරු ඇති වෘත්තියමය ජොකියන් යොදාගෙන තරග සඳහා අසුන් සූදානම් කළේය.

උපාලි එක්‌දහස්‌ නවසිය හැට ගණන්වලදී කොළඹ රේස්‌කෝස්‌ පිට්‌ටනියේත් එක්‌දහස්‌ නවසිය අසූ දෙකේ සිට නුවරඑළියේ තුරග තරග පිට්‌ටනියේත් පැවැති තරගවලට එම අසුන් ඉදිරිපත් කළේය. එක්‌දස්‌ නවසිය අසූ එකේදී තමන්ටම අයත් තුරග තරග ධාවන පිටියක්‌ ඉදිකිරීමට තීරණය කළ උපාලි, බර්නාඩ් හලහකෝන් සමග මීගමුවේ කදිරානේ පිහිටි අක්‌කර 100 ක ඉඩමක්‌ බැලීමට ද ගියේය. මෙය සිදු වූයේ 1981 අගදීය. 1982 පළමු කාර්තුවේදී ඉඩම මිලට ගෙන වසරක කාලයක්‌ වැය කර තුරඟ තරග පිටිය ඉදිකිරීමට සැළසුම් කළේය.

ලෙස්‌ටර් පිගොට්‌ යනු ලොව එතෙක්‌ මෙතෙක්‌ පහළවූ විශිෂ්ටතම අසුන් හසුරුවන්නා හෙවත් ජොකියා බව පිළිගෙන තිබේ. 1935 දී උපන් ඔහු 1985 දී විශ්‍රාම යන විට තුරග තරග 10000 කදී අසුන් මෙහෙයවා එයින් 4493 ක්‌ ජය ගත් කෙනෙකි. හොන්ඩරයක්‌ හෙවත් කිලෝග්‍රෑම් 51 ක්‌ බර ඔහු අසකු මෙහෙයවමින් ධාවන තරගයේ උපරිම මට්‌ටමට එන විට සෑදලය දෙපස ඇති පා ආධාරක මත ඊගසක්‌ මෙන් සිට ගනිමින් අස්‌වයාගේ දේහය (පිට) සහ තම ශරීරය අතර අංශක 90 ක කෝණයක්‌ ඇති කළේය. එංගලන්තය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, සිංගප්පූරුව, ස්‌ලොවැකියාව, ඇමරිකාව, යන රටවල අසුන් මෙහෙයවූ ඔහු මහා රැජනගේ අසුන් හැසිරවීමට නිතරම තෝරා ගනු ලැබීය. ඔහු බ්‍රිතාන්‍යයේ කෝටිපතියෙකි. ලෙස්‌ටර් පිගොට්‌ගේ සේවය ලබා ගත් එකම ශ්‍රී ලාංකික අශ්ව හිමියා උපාලි විජයවර්ධනය. 1982 දී එංගලන්තයේ දී පැවැති පරලොම් හතක ධාවන අංශය (සැතපුමකට පරලොම් 8 කි.) සඳහා "රසා පෙනැං" (Rasa Penang) නමැති අශ්වයා උපාලි ඉදිරිපත් කළේ ලෙස්‌ටර් පිගොට්‌ අසරුවා (ජොකියා) ලෙස යොදමිනි. සාමාන්‍යයෙන් අසකු ධාවන තරගයකට යෙදවූ විට එම අසු පළමුවන දෙවන හෝ තුන්වන තැනට පත් වුවහොත් ජයග්‍රාහක මුදලින් 10% ක්‌ ජොකියාට දිය යුතුය. තරගයට පෙර දින රැයෙහි ලෙස්‌ටර් පිගොට්‌ට දුරකථනයෙන් කතා කළ උපාලි "රසා පෙනැං" ජයග්‍රහණය කළොත් සම්පූර්ණ ත්‍යාග මුදලම පිගොට්‌ට දෙන බව කීවේය. එවිට අසු දිනවා දිය යුත්තේ කවර දුර පරතරයක්‌ (lead) තබමින් දැයි ලෙස්‌ටර් පිගොට්‌ ඇසීය. පරලොම් දෙකක්‌ (අඩි 1320 ක්‌) තිබුණොත් ප්‍රමාණවත් බව උපාලි කිවේය. අන්තිමේදී අශ්වයා පරලොම් 5 ක්‌ හෙවත් අඩි 3300 ක පරතරයක්‌ ඇතිව ජයග්‍රහණය කළේය. මීට අමතරව ඇමරිකාවේ ලොස්‌ඇන්ජලිස්‌, මැලේසියන් ඩර්බි, ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් එංගලන්තයේ ඩර්බි තරගවලදී ද ඔහුගේ අස්‌වයෝ ඉහළම ඉහළ ජයග්‍රහණ ලැබූහ. වරක්‌ ඔහුගේ අසකු මෙල්බර්න් නුවරදී ධාවන තීරුවක තරග කරමින් සිටින විට නහරයක්‌ පුපුරා විසඥ විය. නහරය පිපිරීමෙන් පසු බිම ඇදවැටුණ අශ්වයා මැරීම සඳහා විෂ සහිත එන්නතක්‌ රැගෙන පශු වෛද්‍යවරයා ධාවන පිටියට එන විට ඔහුට බාධා කළ උපාලි අශ්වයා ගෙන යැමට තමාට ඉඩදෙන ලෙසත් ඌ සුවපත් කර රැකබලා ගැනීමට තමාට හැකි බවත් කීවේය. එහෙත් ධාවන තරගයකදී ඇදවැටී කොඳු බිඳෙන පාද කැඩෙන අසුන් වහාම මරා දමා අසුගේ වේදනාව අවම කිරීමේ නීතියක්‌ පිටරට තුරග තරග පිට්‌ටනිවල තිබේ. උපාලි වඩාත් දුක්‌ වූයේ තම ඇස ඉදිරිපිටම අසු මරණ ලද නිසාය. 1982 නොවැම්බර් 6 වැනිදා ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර ලැමිංග්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති තුරග තරගයකදී උපාලිගේ My Sir Avon (මයි සර් ඇවෝන්) නමැති අසු රැජින කුසලානය දිනා ගත්තේය. සමහරවිට එංගලන්තයේ සිට බ්‍රිටිෂ් එයාර්වේස්‌ ගුවන් යානයකින් ශ්‍රී ලංකාව බලා එන උපාලි කටුනායක ගුවන් ධාවන පථයට ගෙන්වා ගන්නා තම හෙලිකොප්ටරයෙන් කෙළින්ම නුවරඑළියේ තුරග තරග නැරඹීමට ගියේය. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අනුමත කිරීම සඳහා ආගමන විගමන නිලධාරීහු හෙලිකොප්ටරය වෙත ආහ. ඇතැම් විට ලන්ඩනයේ සිට නුවරඑළියේ තුරග තරග සංවිධායකයන්ට කතා කරන උපාලි තමා කටුනායක සිට හෙලිකොප්ටරයෙන් නුවරඑළියට එන තුරු විනාඩි 10 ක්‌ තරගය පමා කරන ලෙස ඉල්ලයි. ලෙස්‌ටර් පිගොට්‌ සමග ගනුදෙනු කිරීමෙන් පසු උපාලි ලෝකයේ හොඳම අසුන් ඔවුන්ගේ අයිතිකරුවන් ගෙන් මිලට ගැනීමට තැත් කළේය. ඉතා වටිනා රේස්‌ අසකුගේ මිල රුපියල් කෝටි 150 ක්‌ හෝ 200 ක්‌ හෝ ඊටත් වැඩි වෙයි. මේ නිසා එක්‌ රේස්‌ අශ්වයකු මිලට ගන්නේ ආයෝජකයන් හතරපස්‌ දෙනකු හෝ දහයක්‌ හෝ විස්‌සක්‌ එකතු වීමෙනි.

1981 න් පසු ලොව පහළවූ වටිනාම රේස්‌ අශ්වයාගේ නම ෂර්ගාය.  ෂියා ඉස්‌ලාම් ආගමික කොට්‌ඨාසයේ නිසාරි ඉස්‌මිලිසම්  නමැති ආගමික උප කොට්‌ඨාසයේ නායකයා වූද එම ආගම අදහන බැතිමතුන් එක්‌කෝටි පනස්‌ ලක්‍ෂයකගේ අධ්‍යාත්මික නායකයා වූද හතරවැනි අගා ඛාන් කුමාරයා ඇතුළු කොටස්‌කරුවන් 35 දෙනකුට ෂර්ගා අයත්ය. ෂර්ගා යනු සමාගමකි. ෂර්ගා සමාගමේ එකම දේපළ ෂර්ගාය. ෂර්ගාගේ කොටස්‌ 40 ක්‌ තිබූ අතර එයින් 6 ක්‌ අගාඛාන් කුමාරයාටද ඉතිරි කොටස්‌ 34 සෙස්‌සන් අතරද බෙදී ගොස්‌ තිබිණ. එක කොටසක වටිනාකම පවුම් දෙලක්‍ෂ පනස්‌දහසක්‌ හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 52 කි. අශ්වයාගේ මුළු වටිනාකම රුපියල් කෝටි 2080 කි. ෂර්ගා ගැන උපාලි විජයවර්ධන තුළ විශාල උනන්දුවක්‌ විය. කිහිපවතාවක්‌ම ෂර්ගාගේ ඉස්‌තාලය පිහිටි අයර්ලන්තයට ගිය උපාලි ෂර්ගාගේ කොටස්‌ විකුණන කොටස්‌ හිමිකරුවන් වෙත් දැයි සොයා බැලීය. ෂර්ගාගෙන් අශ්ව පැටවුන් බෝකර ගැනීමද මේ ව්‍යාපාරයේ කොටසකි. එමගින් ෂර්ගා තම කොටස්‌කරුවන් තමා වෙනුවෙන් අගාඛාන් කුමාරයාට ගෙවූ මුදල මෙන් දෙගුණයක්‌ උපයා දී තිබිණි. උපාලි විජයවර්ධන යනු ඉවසීමක්‌ තිබූ අයකු නොවේ. ඔහුගේ විලාසිතාව ඔහුට අවශ්‍ය දේ ඒ මොහොතේම ලබාගැනීමය. ඒ අනුව ෂර්ගාගෙන් අශ්ව පැටවුන් බෝ කරන තුරු ඔහුට බලා සිටීමට බැරි විය. ඔහු ෂර්ගා ගැන උනන්දු බවත් ෂර්ගා ලබාගැනීමට බැරි වීම ගැන ඔහු නොසන්සුන් බවත් ලෝකයේ අශ්ව ව්‍යාපාරික ප්‍රජාව අතර ක්‍රමයෙන් පැතිර ගියේය.

මේ අතර 1983 පෙබරවාරි මාසයේ 8 වැනිදා රාත්‍රි 8.30 ට ෂර්ගා රඳවා සිටි ඉස්‌තාලයට පැමිණි තුවක්‌කුකරුවන් පිරිසක්‌ අශ්වයාගේ භාරකරුට මරණ තර්ජන කර ඌ පැහැරගත්හ. ෂර්ගා යනු බළල් පැටවකු නොව ඉතා හොඳින් වැඩුණු නාඹර අශ්වයෙකි. ඌ රැගෙන යන විට හැමටම ඒ බව පෙනෙයි. පෙබරවාරි මාසය වූ කලී අශ්ව රේස්‌ සඳහා අයර්ලන්තය සූදානම් වන කාලයයි. මේ අනුව කන්ටේනර් පෙට්‌ටි වැනි විශාල ටේ්‍රලර්වල පටවාගත් අශ්වයන් දහස්‌ ගණනක්‌ අයර්ලන්තයේ වීථි දිගේ එහා මෙහා ගෙන යැම දවසේ පැය 24 පුරාම සිදුවිය. එබැවින් ෂර්ගා වෙන් කර හඳුනා ගැනීමක්‌ සිදු නොවූ අතර ෂර්ගාගේ දුඹුරු පැහැති පිට පෙනුම හා සමාන පෙනුමක්‌ ඇති අශ්වයෝ දහස්‌ ගණනක්‌ අයර්ලන්තයේ සිටියහ.

මුළු මහත් අයර්ලන්ත පොලිසිය හා හමුදාව ෂර්ගා සොයන්නට පටන් ගත්හ. එය තිරිසන් සතකු සෙවීම සඳහා කරන ලද ලොව ලොකුම මෙහෙයුමය. ෂර්ගා අයර්ලන්ත ගරිල්ලන් විසින් පැහැරගන්නා ලද බවට ඔප්පු නොකෙරුණු මතයක්‌ තිබේ. එසේම ෂර්ගා හෝ එම සතාගේ මළකඳද හමු වූයේ නැත. ෂර්ගා පැහැරගෙන යන්නේ 1983 පෙබරවාරි 8 වැනිදාය. උපාලි විජයවර්ධන අතුරුදන් වන්නේ 1983 පෙබරවාරි 13 වැනිදාය. ෂර්ගා අතුරුදන් වීමට උපාලි සම්බන්ධ බවට සැක කළ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ගුවන් කොල්ලකරුවන් බවට පත්වී ලියර් ජෙට්‌ යානය සහ එහි මගීන් සියලු දෙනාම පැහැරගත් බවට කට කතාවක්‌ පැතිර යන්නට විය. ලියර් ජෙට්‌ යානයක 8 දෙනකුට ගමන් කළ හැකි වුවද උපාලිගේ යානයේ සිටියේ 6 දෙනෙකි. උපාලි ඇතුළු පිරිස ජෙට්‌ යානයට නැගීමට පෙර යානය තුළ සැඟවුණ ගුවන් කොල්ලකරුවන් යානය පැහැරගත් බවට කටකතාකරුවෝ ප්‍රචාරයක්‌ ගෙන ගියහ. එසේ වුවද යානය අනතුරට පත්වූ නොවූ බව කීමට කිසිවකුටත් නොහැක. ලලිත් ඇතුලත්මුදලි සිය පුවත්පත් සාකච්ඡාවේදී යානය මුහුදට වැටුණු බව තහවුරු කළේය. එහි කොටස්‌ හමු නොවීම වෙනම කතාවකි. ෂර්ගා පිළිබඳ සිද්ධිය ෂර්ගා සාධකය ලෙස හඳුන්වනු ලැබේ. අයර්ලන්ත ගරිල්ලන්ගේ සිද්ධියට කියන්නේ IRA (Irish Republican Army) න්‍යාය යනුවෙනි. එහෙත් මෙයට උපාලි විජයවර්ධනගේ නම ගෑවීම බොළඳ වැඩකි. එහෙත් 1983 දී සිටි ජනයා මේ බොළඳ කතාව පිළිගත්තේ උපාලි අතුරුදන්වීමේ සිද්ධියේ කෙළවරක්‌ දැකිය යුතු බවට ඔවුන්ගේ යටි හිත් බල කළ නිසාය.

* අනුර සොලමන්ස්‌
* මනෝජ් අබයදීර