රජ ගෙදර විකටයෝ

Lanka Journalist | 2:26 PM | 0 comments

සිංහල රජවරුන්ට රාජ සභාවට හාස්‍ය ලබා දුන් විකටයන් අතීතයේ සිටම සිට ඇත. එහෙත් ඔවුන් පිළිබඳ තොරතුරු වංශකථාවල සටහන් වී ඇත්තේ ඉතා අඩුවෙනි. සංස්කෘත නාට්‍යවල ”විදූෂක” නම් විකට චරිතයක් එයි. ”මැටි කරත්තය” සංස්කෘත නාට්‍යයේ විදූෂකගේ නම මාධ්‍යවයි. ලංකාවේ එවැනි නාට්‍ය ග‍්‍රන්ථ ලියවුණේ නැත. එහෙත් අතීතයේ සිටම රජවරුන්ට විකටයන් සිටි බවට ඔවුන්ගේ රාජකාර්යය රජු හා රාජසභාවට විකට රසය-හාස්‍ය-ලබා දීම බව පෙනෙයි.



යසළාලකතිස්ස රජුකල දොරටුපාල ශුභ

මහාවංශයේ 35 පරිච්ෙඡ්දයේ 52-56 ගාථාවල යසළාලකතිස්ස රජුකල (ක‍්‍රි.පු.5260) රජුගේම හැඩරුව ඇති ”ශුභ” නම් දොරටුපාලයෙක් සිටි බව කියවෙයි. ඇමතීන් රාජසභාවට ආ විට දොරටුපාලයා රජ වෙස් ගන්වා සිංහාසනයේ තබා යසළාලකතිස්ස රජු දොරටුපාල වෙස්ගෙන ඇමතීන් රැුවටීම කාලයක් සිදු විය.
සිංහාසනයේ සිටිනුයේ ශුභ දොරටුපාලයා බව ඇමතිවරුghkl නොදැන සිටියහ. රජු දොරටුපාල වෙස්ගෙන දොරටුපාල ශුභ සිංහාසනයේ තබා රාජසභාව රැුවටීමෙන් රජු විනෝදයක් ලබා ඇත. කලක් මේ වෙස්වළා ගැනීම සිදුවිය.

දිනක් රජුට දොරටුපාල වෙස්ගෙන සිටියදී සිනහා පහළ විය. සිංහාසනයේ සිටි දොරටුපාල ශුභ රාජසභාවේ දොරටුපාලයා සිනහා වීමෙන් අවමානයක් සිදු වූ බව කියා දොරටුපාලයාගේ හිස ගසා දැමීමට නියම කරයි. දොරටුපාලයා තමා රජු බව කොතෙක් කීවත් වධකයෝ ඒ නොපිළිගත්හ. දොරටුපාල ශුභගේ අණින් නියම රජු වූ යසළාලකතිස්ස මැරුම් කෑවේය. මේ අනුව යසළාලතිස්ස රජු මරා රජ වූ ශුභ අනුරාධපුර අලූත් රාජ පරම්පරාවක් ආරම්භ කළේය.
උත්සව අවස්ථාවල රජු තම රාජාභරණ වෙනත් අයකුට තාවකාලිකව පළඳවා වින්දනයක් ලැබීම අතීතයේ තිබූ විරල චාරිත‍්‍රයක් බව මේ ගැන විවරණය කරන මහාචාර්ය පරණවිතාණ පෙන්වා දෙයි. සිංහාසනයේ කීපවිටක් ඉඳගත් දොරටුපාල ශුභට ඇමතීන් වැඳ ආචාර කරනවිට රජු මරා රජ වීමට ආශාවක් සැබෑවට තිබූ බව පෙනෙයි.


රජු හා ශුභගේ රූපයද එක සමානය විය. යසළාලකතිස්ස රජු මැරූ දොරටුපාල ශුභගේ ශිලාලිපි දෙකක් ලැබී ඇත. ඒ කයිනාට්ටම් හා විහාරයේ ගල යන ශිලාලිපි දෙකයි. මෙම ශිලා ලිපි දෙක අනුව දොරටුපාල තනතුරේ සිටි යසළාලකතිස්ස රජු මරා රජු වූ ශුභගේ නියම නම සබ බව පෙනී යයි.


මාතලේ කවටයාමුණ විසු  සොළී රටින් ආ සිරිමෙවන් විකට යෝධයා.

මාතලේ සිට ගලේවෙලට විහිදෙන පාරේ මහවෙල ගම හමුවෙයි. මහවෙලට නුදුරුව කවටයාමුණ රජමහා විහාරය ඇත. ඉතා ශක්ති සම්පන්න යෝධ සිරුරක් තිබූ සිරිමෙවන් නම් යෝධයා මේ විහාරය හා ඒ අසල කුඹුරු වගා කිරීමට ඇළක් කළ බව කියවෙයි. අනුරාධපුර මුල් යුගයේ සිටි සිරිමෙවන් යෝධයා සොළී රට පරදවා 24000 හමුදාව ආපසු ගෙනා පළමු ගජබාහු රජුකල සොලී හමුදාවේ සිටි මේ අවට ඔහු පදිංචි කරවූ පසු ගැමියන් සමග විකට කථා කියමින් ජනප‍්‍රිය වූවෙකි. සොලී රට සිට මෙහි අවුත් පදිංචි වූ සිිරිමෙවන් යෝධයා කරවූ විහාරය අදත් කවටයාමුණ නමින් ප‍්‍රසිද්ධය.




අනුරාධපුර යුගයට පසු කාලය - සීතාවක අරිට්ට කී වෙණ්ඩු.

අනුරාධපුර මුල් අවධියේ සිට සෙංකඩගල අවධිය දක්වාම රාජකීය විකටයන් සිටි බවට තොරතුරක් නොලැබෙයි. එහෙත් සීතාවක රාජසිංහ රජුකල (1581-1592) සිට ”අරිට්ඨ කී වෙණ්ඩු” නම් ආඬි ජාතිකයා පිළිබඳ තොරතුරක් ”රාජාවලිය” හා ”අලකේෂ්වර යුද්ධය” වංශකතාවල එයි. ”චූලවංශය” අනුව සීතාවක රාජසිංහ රජු පියා මරා රජවිය. (එහෙත් චූලවංශයේ මේ ප‍්‍රවෘත්තිය සනාථ කිරීමට සාධක නැත.* පියා මැර වූ ශාපය දුරුකළ නොහැකි බව බෞද්ධ භික්ෂුහු පෙන්වා දුන්හ. ඒ පංචානන්තරිය පාපකර්මයක් බැවිනි.

එහෙත් සීතාවක කල දඹදිව සිට පැමිණි ආඬි ජාතික ශිව භක්තිකයෙක් වූ කපටි අරිට්ඨ කී වෙණ්ඩු සීතාවක රාජසිංහ රජු රවටා විශාල ශාන්ති කර්මයකින් පීතෲ ඝාතක පාපය දුරු කළ හැකි බව කියා රජු ශිව ආගමට හරවා ගත් බව කියවෙයි. ඒ නිසා අරිට්ට කී වෙණ්ඩු මාන්නප්පෙරුම මොහොට්ටාල හෙවත් ජයවීර බණ්ඩාර නමින් සිංහල ප‍්‍රභූනාමයක් ගෙන සීතාවක රජ පවුලෙන් විවාහයක් කර ගැනීමටද සැරසී ඇත.

එහෙත් එය අසාර්ථක විය. පොදු ජනයා මාන්නම්පෙරුම මොහොට්ටාල බෙහෙවින් පිළිකුල් කර ඇත. ඒ නිසා ඔහු උපහාසයට ලක් කරමින් ”පාද කොක්කනම” වීධිවල කියවූ බව ”රාජාවලිය” කියයි. ”පද කොක්කනම” යනු ඔහු උපහාසයට ලක් කරමින් කිවූ කවි හෝ විරිඳු ගායනාවක් විය යුතුය. මින් ලැජ්ජාවට පත් අරිට්ඨ කී වෙණ්ඩු මෝරුවත්ත නමැති ගමට පලා ගිය බව ”රාජාවලිය” කියයි.

රජකම ගැනීමට ගිය ආඬි ජාතිකයකු උපහාසයට ලක් කරමින් ”අඬිමාලය” උපහාස කාව්‍ය නුවර යුගය මුල්කල ලියවී ඇත. ආඬිමාලය උපහාසයට ලක් කරනුයේ අරිට්ඨ කී වෙණ්ඩුට පසු රජවීමට උත්සාහ දැරූ ආඬි ජාතිකයකු බව සිතිය හැකිය.


හාස්‍ය - උපහාසය මතුකරන කවිපොත් හා ජනතකා.

සෙංකඩගල යුගය මුල හා හාස්‍ය, උපහාසය, පොදුජන විනෝදය මුල් කරගත් ජනකතා, කවිපොත් ලියැවී ඇත. කර්තෘ අප‍්‍රකට ”ගජබින්නාලංකාරය” එවැනි කවි පොතකි. එහි කර්තෘ අප‍්‍රකටය. මෝඩ රජකු වටා රජුගේ මෝඩකම් කියවෙන්නේ කැකිල්ලේ රජු පිළිබඳ කතාව දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආ ජනකතාවක් බව පෙනී යයි. මහදැනමුත්තාගේ කතාව ද මෝඩ ගැමියෙකුගේ මෝඩකම් කියන කතාවකි. එයද දකුණු ඉන්දීය ආභාෂයෙන් ලංකාවට ආ කතාවක් බව පෙනෙයි.


රාජාධිරාජසිංහ රජුකල සිටි අන්දරේ හා ඔහු පිළිබඳ තොරතුරු:

රජු පිනවීමට පත්වූ වෙනම විකටයන් සිටි බවට හොඳම උදාහරණය අන්දරේය. ඔහු ජීවත්වූයේ සෙංකඩකල රාජාධිරාජසිංහ රජුකල (1782-1798) ඔහු ලංකාවේ රුහුණේ ඉපදී පසුකල සෙංකඩගල රාජසේවයට ආවෙකි. අන්දරේ උගත්කමක් නැති එහෙත් මුඛරි, හිටිවන කවියෙකු බව පුංචි බණ්ඩාර සන්නස්ගල ”සිංහල සාහිත්‍යවංශයේ”දී පෙන්වා දෙයි. අන්දරේගේ පියා කිරලවැල්ලේ ගුරුන්නාන්සේ නම් විය. ඔහුගේ උපන් ගම දෙවුන්දර හෝ ඒ අසල කීරවැල්ලයි. මොරටුවේ ශාසනරතනහිමි ”මාතර සාහිත්‍ය යුගය” ග‍්‍රන්ථයේ කියනුයේ අන්දරේ උපන් ස්ථානය තවම ”කිරලවැල්ලේ ගුරුන්නැහෙලාගේවත්ත” නමින් හඳුන්වන බවයි. ඔහු ඉගැනුමට පියා විසින් ගැටමාන්නට යවා ඇත. එහෙත් ඔහු ඉගෙනුම අතහැර දමා ඇත.

අන්දරේ යනු පෞද්ගලික නාමයක් නොව මෙකල සිටි විකටයන්ට යෙදුණු පොදු නාමයක් බව ”මාතර යුගයේ සාහිත්‍යධරයන් හා සාහිත්‍ය නිබන්ධන” ග‍්‍රන්ථයේදී පා.බ.ජ. හේවාවසම් කියයි. අන්දරේ නමින් කවි කීපයක් ග‍්‍රන්ථ වශයෙන් එයි. ”අන්දරේගේ කවි/ අන්දරේ හා ගජමන් නෝනා” එබඳු කාව්‍ය රචනා එකතු දෙකකි.


අන්දරේගේ කවි.

”අන්දරය” හෙවත් ”අන්ද්‍රය” නමින් වෙනම රචනා විශේෂයක් තිබී ඇත. අන්ද්‍රය යනු කතාන්දරය යන අර්ථය දෙයි. උදාහරණයක් ලෙස නරේන්ද්‍රසිංහ රජුකල (1707-1739) සිටි දස්කොන් අදිකාරම ”කවි අන්ද්‍රය” හෙවත් ”කඹේ නැටීම” නම් කවිපොත ලියා ඇත. අන්දරේගේ අන්දරේගේ විකට කතාවලට සමාන කතා”තන්ඔලි රාමන්” නමින් ද්‍රවිඩ සාහිත්‍යයේ එයි. රාජසිංහ රජුගේ නින්දට තදින් බාධා කළ දැවැන්ත මැඩියකු අන්දරේ විසින් අඳුරේ ඊයකින් විදමැරූ පසු රජුගෙන් ඔහුට ”සද්ද විද්ද පළඟ පතිර” යන විරුද නාමය ලැබී ඇත.

අන්දරේගේ ජීවිත කතාව නම් ග‍්‍රන්ථයේ ඔහුගේ විකට කතා හා කවි එකතුවක් එයි. යූ. ප‍්‍රඥාලෝක හිමි සංස්කරණය කළ ”පුරාණ සිව්පද සංග‍්‍රහය” ග‍්‍රන්ථයේදී අන්දරේගේ කවි ගණනාවක් 162-165 පිටුවල එයි. අන්දරේ හා සමකාලීනව සිටි කැකිරිගොඩ ගමරාළ සමග ඔහු තරගයට කිවු කවි හෙවත් පරොහු කවි රාශියක් ඇත. අන්දරේ රජුගෙන් තුන් මාසයක් හීනැටි හාලේ බත් කා ගලක් එසවීමට ගිය කතාව වඩාත් ප‍්‍රකයට. ඔහු පසුකල සෙංකඩගලම දිගුකලක් පදිංචිව සිටි බව පෙනෙයි.

අන්දරේ කැකිරි ගමයා සමග උක් ගස, වී, බුලත් වැල, කෙසෙල්ගස, ගිරවා ගැන කී තරග කවි හෙවත් පරහු කීම් ”පුරාණ සිව්පද සංග‍්‍රහයෙහි” එයි. දරුණු උණ රෝගයක් වැළඳුණු අන්දරේ සෙංකඩගල සිට තම උපන්ගම බලා යන අතර මළලගම දී උණ උග‍්‍රව අත් පා හතර පැත්තට විහිදුවා ගෙන වැටී මැරී සිටි බව කියවේ. ඒ අනුව අන්දරේ මියගිය පසුද රට සිනස්සා ඇත. ඔහු මිය ගිය තැන කරගම්ආර ගමේ සිහිවටනයක් බැඳ ඇත. අන්දරේ මරණයට පෙර කීවායයි සළකන කවියක් මෙසේය.

රිදී කළේ රන් කොතලේ බීපු මට
නිකම් කළේ පැන් නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති මෙමට
කෙසේ පසුවෙම්ද පළුවීර ගස් යට


සෙංකඩගල පැතිර ගිය සොකරි නැටුම.

දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආ සොකරී නම් රූමත් කත ලංකාවට එන්නේ දරු උපතක් සඳහාය. ඒ කතරගම දෙවිට බාරවීමටයි. ඉන්දියාවේ ”චොක‍්‍රී” යන හින්දි වචනයේ අර්ථය රූමත් කාන්තාව යනුයි. ඇය ලංකාවේ දී උදව්වට ආ වෙදරාළ සමග ඇසුරක් පවත්වයි. සිංහල අවුරුදු කල ගොයම් කැපීමට විනෝදය, සශ්‍රීකත්වය, පතා කුඹුරු හා කමත්වල සොකරි නැටූ බව ”සිංහල ගැමි නාට්‍යය” ග‍්‍රන්ථයේදී එදිරීවීර සර්ත්චන්ද්‍ර කියයි. මෙහි පරයාගේ චරිතය මුළුමනින්ම හාස්‍ය ජනකය. නරඹන ජනයාට හාස්‍ය මතු කිරීම පරයා කරයි. උඩරට හා වන්නියැයි සොකරි නැටුමේ කොටස් දෙකක් ඇති බව මහාචාර්ය ජේ.බී. දිසානායක කියයි.


සෙංකඩගල එකල සිටි විකටයෝ. - විසිරා

පාතහේවාහැට සෙංකඩගල මැදකල විසූ විසිරා නම් විකටයා ගැන ඞී.පී. වික‍්‍රමසිංහ ලිවූ ”මග දිගට ජනකතා” ග‍්‍රන්ථයේ තොරතුරු එයි. ඔහු එක වංගෙඩිය ගෙවල් හතකට විකුණා ඇත. රාත‍්‍රීකල ගෙදරක නැවතී කුකුළා ඇඬලීමට පෙර කුකුළා කිහිලි ගන්නා ගෙන ගෙදරින් පිටවිය. හී හෑමේදී ඇවුළුම දෙන නගුලක් ගින්නට දමා ඇත.


කීර්ති ශ්‍රී රාජසිංහ රජුකල සිටි මුංකොටුවේ රාළ හා ලෝකුරු නයිදේ අතර පරහු කවි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුකල (1747-1782) රාජසභාවේ සිටි මුංකොටුවේ රාළ ප‍්‍රකට කවියෙකි. ”සඟරාජවත” කවිපොත ලිවුවේ ඔහුය. රජුගේ රාජසභාවේම සිටි ලෝකුරු නයිදේ හෙවත් කොත්මලේ නයිදේ මුංකොටුවේ රාළ සමග රජු පිනවීමට එකිනෙකාගේ අඩුපාඩු - දොස් - කුලමල කියා ගනිමින් කවි කියා ඇත.
කීර්ති ශ්‍රී රජුකල මුංකොටුවේ රාල හා වඩු ගොඩපිටියාගේ පරහු කවි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුකල (1747-1782) රජුගේ රාජසභාවේ සිටි මුංකොටුවේ රාළ හා වඩුගොඩපිටියා රජු සතුටු කිරීමට බොහෝ විහිළු තහළු, පරහු කවි කියා ඇත. වරක් මුංකොටුවේ රාළ කුඹුරක් අද්දර සිට කවියක් කීමට සූදානම් වන විට වඩුගොඩපිටියා ඔහුව ුකුඹුරේ මඩට තල්ලූකර ඇත. එවිට මුංකොටුවේ රාළ මෙසේ කියා ඇත.


කදිම කවියක් කියන්ට සිටියා
නොදී රැකපීමේ වඩුගොඩපිටියා


කීර්ති ශ්‍රී රාජසිංහ රජු හා වැලිවිට සරණංකර සඟරාජහිමි

කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747-1782) බුදුදහමේ හා බෞද්ධ සංස්කෘතියේ උන්නතියට අපමණ වැඩ කළත් හින්දු චාරිත‍්‍ර අනුව නළලේ අළු ගෑම දිගටම කර ඇත. එය අත් හැර දමන ලෙස සඟරජු  කීපවරක්ම රජුට උපදෙස් දුන්නත් ඒ නැවතුණේ නැත. දිනක් සඟරජු, රජු ඉදිරිපිටම ”අළුගොඬේ ලගින්නේ බල්ලෝ” යයි උපසාහසයට කියා ඇත. රජු එදා සිට නළලේ අළුගෑම නවතා ඇත.

මල්වතු විහාරයේ සඟරාජ ආරාමයේ වාසය කළ සරණංකර සඟරජු දිනක් විශාල දානයක් සූදානම් කර බල්ලන් සඳහා දී ඇත. එහෙත් බලූ දානයේදී උන්, උන් හපාකෑම ඈතට ඇසුණි. මේ ගාල ගෝට්ටිය ඇසූ රජු සිනාසී ”සඟරාජු වුණත් ගම තුම්පනේ” යයි කියා ඇත.


උඩරට කල සිට තවත් විකටයන්.

පී.එම්.පී. අබේසිංහ ලිවූ ”උඩරට විත්ති” ග‍්‍රන්ථය අනුව උඩරට කල එදා සිටි විකටයන් කීපදෙනකුගේ නම් සඳහන් කරයි. අන්දරේ, ඌවේ ගමරාළ, පින්නපලේ රාළ, බම්වන්නේ රාළ, මැදඅරාවේ ගමරාළ ඔවුන්ය.


කීර්ති ශ්‍රී රාජසිංහ රජුකල විසූ පැණිවරකා කෑ විකටයෝ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුකල කුණ්ඩසාලේ හා හඟුරන්කෙත තවමත් දැකිය හැකි රජුටම සීමාවූ පැණි වරකා ගස් දෙකක් විය. ඒවා ගෙඩි ඉදෙනවිට රජුට වෙන් කොට සුදු රෙදිකඩකින් පැණිවරකා ගෙඩි වැසීම සිරිත විය. දිනක් ඒ අසලින් ගිය විකටයකුට පැණි වරකා සුවඳ දැනී ඉහිලූම් නුදුන්නේය. ඔහු සුදු රෙදිකඩ ඉවත් කර ගෙඩියෙන් අඩක් කා ඉතිරිය වසා තැබුවේය. මේ රාජ නිග‍්‍රහය හා අපරාධය කළ අය ගැන තොරතුරු සොයා රාජපුරුෂයෝ විකටයා අල්ලා රජු වෙත ගෙනාවෝය. ඔහු රජු ඉදිරියේ වරද පිළිගෙන සිනාසී අඬන්නට විය. රජු ඔහු සිනාසී අඬන්නට හේතුව විමසුවේය. එවිට විකටයා කීවේ ”දේවයන් වහන්ස”, හෙරලි ගෙඩියකට මිනිහෙක් මැරුවා කියලා රටේ ඔබතුමාට පැවරෙන අවමානය සිහිවී සිනාසුණා. මරණය ගැනසිහිවී ඇඬුවා යනුවෙනි. ඔහුගේ කපටි පිළිතුරට රජු සිනාසී කුණ්ඩසාලේ පැණි වරකා ගසේ අඩක් හොරෙන් කෑ විකටයා නිදහස් කොට ඇත. මේ පැණි වරකා ගස කුණ්ඩසාලේ රජමහාවිහරයේ මිදුලේ අදත් ඇත.

රජුට සීමාවූ අදත් තවම ඇති පැණිවරකා ගසක් හඟුරන්කෙත මහා දේවාලය අසල මිදුලේ තිබේ. එම ගස වටා ද මෙවැනිම ජන කතාවක් ඇත. එහි උස අඩි පණහක් පමණ වන අතර අතු පහක් විහිදී ඇත. කුණ්ඩසාලේ පැණිවරකා ගස අඩි දහහතරක් පමණ උසට ගසේ මුල් කොටස ඉතිරි වී ඉන් මතුවූ අතු තුනක් දැනට ඇත. ගස් දෙක වටාම හොරෙන් පැණි වරකා කා දිවි බේරාගත් විකටයන් දෙදෙනකු ගැන කියවෙයි.


විජයරාජසිංහ රජුකල සිටි උක්කුරාළ

”මග දිගට ජන කතා” ග‍්‍රන්ථය අනුව ශ්‍රී විජය රාජසිංහ රජුකල (1739-1747) රජුගේ කවටයා වූයේ උක්කුරාළයි. ගම්මුන් හා ගොන් වස්සෙකුට ඔට්ටුවක් අල්ලා හඟුරන්කෙත රාජකීය පැණිවරකා ගසෙන් පැණි වරකා කා දිවි බේරාගත් උක්කුරාළ තමන්ගේ ඔට්ටුව දිනා වසු පැටවා ද ලබාගෙන ඇත.
ශ්‍රී විජය රාජසිංහ රජුකල සිටි හඟුරන්කෙත දී රාජකීය පැණිවරකා කා දිවි බේරා ගත්තේ උක්කුරාළයි.


මැදඅරාවේ ගමරාළ.

පී.එම්.පී. අබේසිංහගේ ”උඩරට විත්ති” ග‍්‍රන්ථය අනුව ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජුකල හඟුරන්කෙත පැණිවරකා ගසේ පැණිවරකා කා වරදට හසුවී කපටි පිළිතුරකින් දිවි බේරා ගත්තේ මැදඅරාවේ ගමරාළයි. ඒ ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු කලදීය. (1798-1815) අප හඟුරන්කෙත ගොස් ලබා ගත් සියලූ විස්තර අනුව මේ සිද්ධියට සම්බන්ධ විකටයා මැදඅරාවේ ගමරාළයි.


බරදනාවේ විකටයා.

තවත් තොරතුරක් අනුව සෙංකඩකල අගකල රාජවාසලේ සේවය කළ බරූනාවේ නම ඇති විරූපී විකටයෙක් විය. ඔහු ගමක් මැදින් යද්දී ගම්මු ඔහු වෙලට පෙරළා පහරදී ඇත. ඇතැම් ජනකතාවක හඟුරන්කෙත පැණිවරකා කෑවේ බරදනාවේ බව කියවෙයි.


බම්මන්්නා හෙවත් බම්මන්නේ විකටයා.

කුණ්ඩසාලේ රජමහා විහාරවාසී රඹුක්වැල්ලේ සීලරතන හිමි අප සමග පැවසුවේ කුණ්ඩසාලේ පැණි වරකා ගසෙන් හොරෙන් පැණි වරකා කා රජුගෙන් ගැරහුම් ලැබුවේ බම්මන්නා හෙවත් බම්මන්නේ රාළ බවයි.


ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජුකල කුංකුණාවේ හිමි

ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජුකල (1778-1815) මහනුවර සිටි ”සිරිරාම සන්දේශය”, ”ධම්මචේතිය සූත‍්‍ර සන්නස”, ”වෙහෙර විත්තිය” යන ග‍්‍රන්ථ ලිවූ කුංකුණාවේ හිමි වස්කවිවලට ප‍්‍රකට විය. එහිමි කළු, මිටි, මහත, නහය මුක්කන් අයෙකු විය. ඒ නිසා කතාව අමුතු විය. රජුගේ දානයක දී කිරි හැන්දෙන් ටිකක් බෙදනවිට ඇඟටපතට නොදැනි කුංකුණාවේ හිමි හුණු දමන කිල්ලෝටය අල්ලා ඇත. තවත් වරකදී දානයට ලැබුණු සියලූ හිමිවරුන්ගේ බිත්තර එහිමි ඉල්ලා ගෙන වළඳා තමාට ලැබුණු බිත්තරය පාත‍්‍රයේ ඉතිරි කොට ඇත. කුංකුණාවේ හිමි ශ්‍රී පාදය නැග හෙම්බත් වී ”බුදුවෙලත් මෝඩකම ඇරිලා නෑ. නැත්නම් මේ වගේ කන්දක ශ්‍රී පාදය තියෙනවද? කියා ඇත.

තවත් විටෙක උපසම්පදාවට ආ ශිෂ්‍ය හිමිනමක් මහා නායකවරුන් වෙත වෙස් නැට්ටුවකු මෙන් අන්දවා සරසා නටමින් උපසම්දාවට යැවූ බව ”මග දිගට ජනකතා” ග‍්‍රන්ථයේ එයි.


ශ්‍රී   වික‍්‍රම රාජසිංහ රජුකල සිටි නම අප‍්‍රකට මහලූ විකට ස්ත‍්‍රිය

 ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු ඉංග‍්‍රීසීන් අල්ලා කෝර්න්වොලිස් නැවෙන් මදුරාසියට පිටුවහල් කරනවිටත් රජු සමග නැවේ යමින් රජු හා බිසෝවරුන් විකට බස් කියමින් හිනැස්සූ මහලූ විකට ස්ත‍්‍රියක් ගැන ඉංග‍්‍රීසි ජාතික විලියම් ග‍්‍රැන්වීල්ගේ විස්තරවල එයි. ලාංකික රජෙකුට විකට ස්ත‍්‍රියක් සේවය කළ බවට ලැබෙන එකම සාක්ෂිය මෙයයි. මේ පිළිබඳව කෙටි සටහනක් මේලියස් සිල්වා ලිවූ ”අපේ අන්තිම රජතුමා” ග‍්‍රන්ථයේ එයි.


මඩුවන්වෙල වලව්වේ සිටි පුංචි කිරා

මඩුවන්වෙල වලව්ව හා කොලොන්න සංචාරක ආකර්ෂණය ග‍්‍රන්ථය ලියූ විලියම් වීරසේකර මඩුවන්වෙල රජෙක් ලෙස වැජඹුණු කාමර තිස් දෙකක් තවමත් ඇති වලව්වත් මඩුවන්වෙල දිසාවේ විහිළුවෙන් පිනවූ පුංචිකිරා නම් විකටයෙක් ඔහුට සිටි බව කියයි.


Category: ,

sinhala.lakdiva news:
sinhala.lakdiva news

0 comments