ලෙනාඩ් වුල්ෆ්, බැද්දේගම සහ අපි

Lanka Journalist | 2:30 AM | 0 comments

කිසියම් කෘතියක්‌ පහළ වන්නේ, විශ්වයේ අංශු මාත්‍රයක්‌ ලෙසින් මෙන්ම ඒ කෘතියටම විශේෂ වූ පරිපූර්ණ සහ පෞද්ගලික සමස්‌තයක්‌ ලෙසින් ද බව කිව යුතුය. එය විශ්වයටත්, මානව වින්දනයේ සමස්‌තයටත් සම්බන්ධ වන්නේ පොදු වූද, මූල රූප වූද අවස්‌ථාව මූර්තිමත් කිරීමෙනි. (ග්රැහැම් හෆ්)

නවකතාව (- ප්ලෝබෙයාර් විසින් 1856 දී රචිත මර්ම් බෝවාරි කෘතියෙන් නවකතාව ඇරඹුණ බව ඇතැමුන් ගේ අදහස වුවද, 1740 දී සැමුවෙල් රිචඩ්සන් විසින් රචනා කළ 'පැමෙලා' මුල් නවකතාව වශයෙන් ඇතැමෙක්‌ කරුණු දක්‌වන්නේ, ඊටත් ප්‍රථම ලියෑවුණ ඉතාලි ජාතික ගියෝනි බොකෙෂියෝ ගේ ඩී කැමරන් නමැති, කතා සියයක සංගෘහිතය ද, නවකතාවක්‌ ලෙස නොගැනෙන බව ට අරුත් දක්‌වමිනි. කෙසේ නමුදු නවකතාව නමැති සාහිත්‍යයංගයෙහි ඇරඹුම පිළිබඳ විශ්වාසය 18, 19 යන සියවස්‌ කරා දිවෙන බව පැවසිය හැකි ය.

සෘජුවම මේ සාහිත්‍යාංගය කුමක්‌ ද යන්න පැවසීම දුෂ්කර කරුණක්‌ බැවින් ලොව විවිධ සාහිත්‍යකරුවන් දක්‌වා ඇති නිර්වචනයන් මේ සඳහා විමසීම සුදුසුය. 'අර්ථවත් කතා ප්‍රවෘත්තියක්‌ හා ජීවන දෘෂ්ටියක්‌ ඉදිරිපත්වන්නක්‌ නවකතාව වශයෙන් හැඳින්විය හැකි බව මහචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා පවසද්දී මාර්ටින් වික්‍රසිංහ සූරීන් පෙන්වා දෙන්නේ, 'විශ්ව අනුභූතීන් ග්‍රහණය කර ගනු ලබන මාධ්‍යය නවකතාව බවයි,' මේ පිළිබඳව මහාචාර්ය ඒ.වී. සුරවීර මහතා පවසන්නේ, ' නවකතාව වූ කලී ඒ ඒ රටට, ඒ ඒ සාහිත්‍යයට ඒ ඒ ලේඛකයාට ඒ ඒ කෘතියට විශේෂවන නවතම ලක්‌ෂණයන් ගෙන් යුක්‌ත සාහිත්‍යාංගයක්‌ යනුවෙනි. අපරදිග විචාරකයන් වශයෙන්, ඉයන්වොට්‌ නවකතාව යනු කුමක්‌ද යන්න සඳහන් කළේ, ' නවකතාව විෂයයෙහි පෙර නොවූ විරූ අවධානයක්‌ දක්‌වන සාහිත්‍යාංගය නවකතාව වශයෙනි, අර්නස්‌ට්‌ බේකර් සඳහන් කළේ, ඒ තුළින් 'මානව ජීවිතය විවරණය කෙරෙන අතර ගද්‍යමය ආඛ්‍යානයක්‌ වශයෙන් ද සැලකෙන බවයි. ඊ. එම්. ෙµdaස්‌ටර් සඳහන් කළේ කවර කතාවකින් මෙන්ම නවකතාවකින් ද කතාවක්‌ කියවේ. මේ වූ කලී ජීවිතය පිළිබඳ සාරධර්ම ගැබ් වූ හේතුඵලවාදී ඒකාබද්ධතාවකින් යුතු කතාවකි යනුවෙනි, එසන්වීන් පවසන්නේ, එය කාමර විශාල සංඛ්‍යාවකින් සමන්විත මන්දිරයකට සමානවන බවය. චෙකෝෆ් 'ප්‍රශ්නයක්‌ අවබෝධ කර දීම මිස විසඳුමක්‌ අනාවරණය නොකරන්නේ නවකතාවකි' යනුවෙනුත් ඩේවිඩ් සිසිල් සඳහන් කළේ, නවකතාව යනු 'ජීවිතය පිළිබඳ චිත්‍රයකි' යනුවෙනි. තව දුරටත් නිර්වචන ඉදිරිපත් කර ඇති සාහිත්‍යධරයින් අතර්හෙන්රි ඡේම්ස්‌, ප්‍රාන්ස්‌ බෝපස්‌, වොල්ටර් ඇලන්, අර්නස්‌ට්‌ ග්‍රෙගර් යනාදීන් ද සඳහන් කළ හැකිය.

නවකතාව පිළිබඳ විමසන විචාරකයන් ඒ තුළ තිබිය යුතු ලක්‌ෂණ කවරේද යන්න විග්‍රහකර දක්‌වති. ඉතා කෙටියෙන් සඳහන් කළොත්, එම කතා වස්‌තුව හුදෙක්‌ කර්තෘ විසින් නිර්මාණය කරන ලද නවතම කතාවස්‌තුවක්‌ විය යුතුයි. හේතුඵල සබඳතාව මැනවින් පැවතීමත්, සත්‍යයට ළංවන විශ්වාසනීයත්වයෙන් එය පෙළ ගැසිය යුතය. එය ගද්‍යමය ආඛ්‍යානයක්‌ වශයෙනුත් හුදෙක්‌ කතාවක්‌ කීම පමණක්‌ නොව කලාත්මක ලක්‌ෂණ ඉස්‌මතුවන සේ අවස්‌ථාව හා සිද්ධි නිරූපණය විය යුතුය. භාෂාව වනි පූර්ණ අර්ථ පූර්ණ රස පූර්ණ ලෙස පැවතිය යුතුය. දෘෂ්ටිමය වශයෙන් සමාජ විවරණය හා මිනිස්‌ සිත විවරණය කළ යුතුය. මානව දයාව වැනි උත්තම ගණයේ පුරුෂාර්ථ සාධනය විය යුතුය. චරිත නිරූපණයේ දී තාත්විකව නිරූපණය කිරීම වැනි කරුණු අරුත් ගන්වන ලක්‌ෂණ අතර සුවිශේෂී වන බව කිව හැකිය.

සමාජ සංශෝධනයෙන් හා ආගමික, සංස්‌කෘතික පුනර්ජීවනයෙන් මෙන්ම විනෝදාස්‌වාදය දනවමින් ඇරඹි ලාංකීය නවකතා කලාව ක්‍රමයෙන් වර්ධනය වී දුර ගමනක්‌ පැමිණ ඇත. නමුත් තවමත් සැලකියයුතු වර්ධනයක්‌ සිදුවී නොමැති බව බහුතර විචාරකයන් ගේ මතයයි.

"සිංහල නව ප්‍රබන්ධ හෙවත් නවකතා ආරම්භ වී මේ වන විට ශතවර්ෂයකටත් වැඩි කාලයක්‌ ගතවී ඇත. 1864 දී අයිසැක්‌ සිල්වා ලියූ වාසනාවන්ත පවුල හා කාලකන්නි පවුල යන කෘති සිංහල නව ප්‍රබන්ධයන්හි ආරම්භක කෘතිය සේ සැලකුව හොත් මේ වන විට හරියට ම ශතවර්ෂ එකහමාරක්‌ ගත වී ඇත. ඇතැම් වියතුන් සිතන පරිදි සිංහල නවකතාවේ පුරෝගාමියා බෙන්තොට ඇල්බට්‌ සිල්වා සේ සලකතහොත් සිංහල නවකතාවට මේ වන විට (1986) ශත වර්ෂයක්‌ කල් පිරී ඇත. එදා මෙදා තුර සිංහල නවකතාව ඉතා විසිතුරු වූත්, රසවත් වූත්, සිද්ධීන්ගෙන් ගහන ගමන් මගක්‌ ඔස්‌සේ පරිණාමයට පත් වී ඇති බව පිළිගැනීමට සිදුවේ. ඉතිහාසය අතින් එතරම් පැරැණි නොවූව ද, සෙසු බොහෝ රටවල නවකතාවට වඩා විවිධත්වයක්‌, ගැඹුරක්‌ හා සංකීර්ණත්වයක්‌ සිංහල නවකතාවේ දැකිය හැකිය." (සියවසක සිංහල නවකතා, මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම, 2003, චතුර, පිටු අංක 64)


ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ හම්බන්තොට නමැති දිස්‌ත්‍රික්‌කයට අයත් වනගත ගමක්‌ පසුබිම් කර ගනිමින් "ද විලේඡ් ඉන් ද ජන්ගල් " රචනා කරන ලෙනාඩ් වුල්ෆ් යන නම ශ්‍රී ලාංකික ජනතාවට හුරු පුරුදු නමක්‌ ලෙස මතක සටහන් තුළ සදාතනික ව ලියෑවී ඇති බව නොරහසකි. සාහිත්‍ය පෝෂණයෙහි ලා විදේශික සිවිල් සේවකයන්ගෙන් සිදුවූ සේවය අපට අමතක කළ නොහැක.

කතුවරයා බැද්දේගමට කේන්ද්‍රකර ගන්නේ, වනගත දුෂ්කරව ජීවත්වන අතැඟිලි ගණනට පමණ කුටුම්භ ගතව දිවි ගෙවන ජන පිරිසකි. වනයෙනුත් සොබාදහමේ සෑම ව්‍යසනයකිනුත්, වාණිජමය රුදුරු හස්‌තයේ අහිතකර බලපෑම්වලිනුත් පීඩා විඳින ෙ€දාන්ත රැසකින් සමන්විත අව්‍යාජ අත්දැකීම් රාශියක්‌ කතුවරයා අප හමුවට ගෙන එයි. ඔහු වනාන්තරය, මේ ප්‍රජාව සමග සෑම අතින්ම බද්ධ වී ඇති ආකාරය හා ඔවුන් ජීවත් කරවීමට බඩවියත රැකීමට මෙන්ම, සතුට හා බිය ද එක්‌කරන, පමණක්‌ නොව මරණයට ද මග පාදවන ඔවුන් ගේ හැසිරීම්, සත්ව චර්යාවන් හි සිරි උසුලන ආකාරය දනවන්නට ද, ඔහු සෑම අතින්ම ගන්නා වෑයම හා අවසානයේ මහ වනය විසින් ගම ගිල ගන්නා ආකාරයත් තුළින් පාඨකයා තුළ ශූන්‍යතාවය යන සැබෑ දර්ශනයේ ආලෝකයෙහි චිත්‍රයක්‌ මැවීමට දරන උත්සාහය අගය කළ යුතුය. මෙහි ප්‍රධාන චරිතය ලෙස සිලිඳු සිය බිරිඳ ඩිංගිරිහාමි මෙන්ම නිවුන් දරුවන් වන පුංචිමැණිකා හා හින්නිහාමි පිළිබඳ පාඨක අවධානය යොමු කරවන කතුවරයා සිලිඳු, දරුවන් විෂයෙහිලා දක්‌වන දයාබරත්වය ද, කෘතියෙහි මුල් පරිච්ඡේදයෙන් අවධානයට ලක්‌කරවයි.

"සිළිඳු ගේ ලොකුම සන්තෝෂය වූයේ, වනය ගැනත්, තමා දඩයමේ ගිය ගමන් ගැනත්, දිය කඩවල සමීපයේ රාත්‍රියේ රැක සිටි සැටිත්, ගස්‌ සෙවණේ සිටි සතුන් හා යකුන් ගැනත් තම ළමයින්ට විස්‌තර කර දීම ය." (පිටු අංක 19)

1913 තරම් ඈත කාලයක රචනා වන "ද විලේඡ් ඉන් ද ජන්ගල්" සෑම අතකින්ම පීඩාවට පත් දුප්පත් ගැමියා ගේ ජීවිතය තුළින්, යටත් විජිත සමයේ ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ යථා ස්‌වභාවය නිරූපණය කරන්නට දරන එක්‌තරා වෑයමකි. එය 'බැද්දේගම' නමින් සිංහලට පෙරලන ඒ. පී. ගුණරත්නයන් ගේ උත්සාහය ද ඊටම සමාන වන්නට ඇති බවත් සිතන්නට පොළඹවන බව පාඨක මනසේ ඇඳෙන සිතුවමක්‌ වැනිය. එමෙන් ම එය, පෘථුල පාඨක පිරිසක ගේ සදාතනික ආදරයට පාත්‍ර වන්නේ, එම චරිතවල ස්‌වභාවයන් මෙන්ම ඔවුන් ගේ මනෝ භාවයන් හා වනාන්තර ඇසුරු කර ගත් ජන ජීවිතයේ හරස්‌ කඩක්‌ ඒ තුළින් පිළිබිඹු කරන්නට සමත් වන නිසා යෑයි සිතිය හැකිය.

'ලෙනාඩ් වුල්ෆ්' සිය කෘතිය තුළ අතිශය තත්වාකාරයෙන් ද සුවිශද ලෙසින් ද ප්‍රබල වාග් චිත්‍රයක්‌ නගන්නේ, ලංකාවේ ඈත පිටිසර ගමක වැස්‌සන් තම දිවි රැක ගැනුම් වස්‌ ස්‌වභාව ධර්මය සමග ගෙන යන මේ අරගලයේ දුක්‌ඛ වේදනාවයි. මේ වාග් චිත්‍රය සමග සම්පර්කයට පත් වන අපි ගැමියන් ගේ දුර්දශාවට පදනම්ව පවතින හේතුව වන තාක්‌ෂණික පසු ගැමියාව පසක්‌ කරමු. ඒ අතරම අප හදවත් මේ දුර්දශාව අරබයා කම්පා වෙයි. මේ දුර්දශාවට හේතුභූතව පවත්නා තතු ඉක්‌ම යැමේ ආශාව වුල්ෆ් සූරීන් ගේ කෘතිය තුළ නිධන්ව පවතී. (සාහිත්‍ය කලා ආදිය ගැන, මහාචාර්ය සුචරිත ගම්ලත්, 1995, පිටු අංක 55, චතුර)

වුල්ෆ් වියතාණන් පෙරදිග සිවිල් සේවයට එක්‌ වන්නේ, වයස අවුදු 21 දී පමණ හෙවත් වර්ෂ 1904 දී පමණය, මෙම ඉංග්‍රීසි ජාතිකයා 1908.08.28 දින සිට 1911.05.20 දින දක්‌වා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ උප දිසාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

තම පරිපාලන දිස්‌ත්‍රික්‌කයෙන් හරි අඩකටත් වඩා වැඩි භූමි ප්‍රමාණයක්‌ වනාන්තරයෙන් වැසී පැවති අතර දිස්‌ත්‍රික්‌කයට අයත් මුළු භූමි ප්‍රමාණය වන වර්ග සැතපුම් 1200 ක්‌ අතුරින් වර්ග සැතපුම් 600 ක්‌ පමණ වූ මාගම්පත්තුව පාලන කොට්‌ඨාසය වනයෙන් වැසී පැවති බව සමකාලීන වාර්තා සඳහන් කරයි. අද ද වන සත්ව උද්‍යානයක්‌ ලෙස ප්‍රකට යාල සහ බූන්දල මෙන්ම මෑතක්‌ වන තුරු පක්‌ෂීන් ස`දහා ප්‍රසිද්ධියක්‌ දරන වීරවිල තිස්‌ස අභය භූමිය ද අයත් වන්නේ, එවකට පැවති මාගම් පත්තුව කලාපයටය.

ස්‌වභාව සෞන්දර්යටත් වන සත්ව ජීවීන්ටත් මහත් ඇල්මක්‌ දැක්‌වූ වුල්ෆ් වසර 07 ක්‌ තරම් කෙටි කාලයක්‌ ලක්‌දිව ගත කළද, ගැමි සමාජය තුළ පැවති ආචීර්ණ කල්පික ස්‌වභාවයත් තත්කාලීන ප්‍රශ්න පිළිබඳවත් මනා අවබෝධයකින් සිය නිර්මාණය සිදුකර ඇති බව ප්‍රත්‍යක්‌ෂ වෙයි.

ඔහුට තම නිර්මාණය සාර්ථක කරගැනීම සඳහා මෙම කලාපය හොඳින් නිරීක්‌ෂණය කිරීමටත් ජන ජීවිතය පිළිබඳ මනා පරිචයක්‌ ඇති කර ගැනීමටත් ලද සිවිල් තත්ත්වය ද සිය පරිකල්පන ශක්‌තිය ද පිටුබලයක්‌ වී ඇති බව කිව හැකිය.

කතුවරයා තම සංචාරවලදී දුටු, වනසතුන් ගේ හැසිරීම් වගේම විවිධ අවස්‌ථා දැකුම්කළු සිද්ධි පාඨකයාට පවසන ආකාරයේ නිදසුනක්‌ මෙලෙස තාත්වික වින්දනයට හසුකරලයි.

"නිරිතදිග සුළඟ පටන් ගැනීම සමගම අලියා පෙර පුරුදු ගං ඉවුර කරා ආපසු ඇදේ. එහෙත් ඌරාට හෝ මුවාට හෝ දැන් ඒවා මතක නැත. දිය වළවල ලිස්‌සන ඉවුරු අතරෙන් ඔවුහු ළං විය නොහැකි මේ දිය කඩවල් දෙසට හොස්‌ස දික්‌කර ගෙන රෑ දවල් වටේ කැරකෙති. සමහරු පිපාසයෙන් හා වෙහෙසින් මිය යත්. දිය බීමට කරන උත්සාහයේ දී පය ලිස්‌සා යැමෙන් මේ දියකඩ වලට වැටෙන සමහර සතෙක්‌ හැන්දෑවට එන කොටියාට පහසු ගොදුරක්‌ වන්නේය. පිපාසයෙන් පීඩිත මුව රංචු වියළි කැලයේ එහා මෙහා හැසිරෙත්, මුහුද දෙසින් හමා එන තද සුළඟේ වතුර ඉවක්‌ ඔවුන්ට දැනේ. මුවෝ දිය තිබෙන වැව් ගංගා පසු කර සුළඟේ හමන දිය ගඳ අනුව දවසින් දවස ම මුහුද දෙසට ගමන් කරති, තැනින් තැන නැවති නැවතී කර ඔසවා දිය ඉව අල්ලමින් මුහුදට ම ළං වෙති. මේ ගමනේ දී පිපාසයත් විඩාවත් නිසා අතර මග මිය යන මුවෝ බොහෝය. හිවල්ලු මුව රංචු පිටුපස ගමන් කරමින් කුඩා මුව පැටවුන් ඇද මරා කෑමේ යෙදෙති. පැටවුන් ආරක්‌ෂා කර ගැනීමට තරම් දිරියක්‌ මෙවිට මුව දෙනුන්ට ඉතිරිව නැත. අන්තිමේ දී මේ මුව රංචු අවුත් නැවතෙන්නේ, දිය පොදක්‌ නැති මුඩු මුහුදු කරයෙහිය."

(බැද්දේගම, පරිවර්තනය ඒ.පී.ගුණරත්න, ගුණසේන, 1994, පිටු අංක 6, 7)

බැද්දේගම රචනා කරන්නට ඔහුට ශක්‌තියක්‌ ලබා දුන් ඔහුගේම සටහන් තුළින් ද විශද වන්නේ, සිය අත්දැකීම් පරාසයෙහි පුළුල් බවම බව කිවයුතුය.

එනම්, 1909. 01. 27 දින උදේ පාන්දරින් ම ගඟෙන් එතරව (මැණික්‌ ගඟ) අභය භූමියට (යාල) ගියෙමි. වෘක්‌ෂලතාදියෙන් තොර සෑම විවෘත භූමි භාගයකම ඉතා අලංකාර අංතට්‌ටු සහිත මුව රංචු විශාල සංඛ්‍යාවක්‌ හා මී හරකුන් රාශියක්‌ ද දක්‌නට ලැබිණි. කුඩා මී හරකෙකු තරම් වූ ගෝනෙක්‌ දුටුවෙමි. මගේ කරත්තවලට වඩා සැතපුම් 12 ක්‌ පමණ ඉදිරියෙන් පැමිණ එදින රාත්‍රිය ගත කිරීමට බලාපොරොත්තු වූ මහපොතාන නමැති ස්‌ථානයට පැමිණියෙමි. නබඩගස්‌වැව කණ්‌ඩිය අසල තණ නිල්ලේ යාර 60 ක්‌ පමණ ඈතින් ගස්‌ යට තණ කමින් සිටි මුවන් 70 ක්‌ 80 ක්‌ පමණ අලංකාර දර්ශනයක්‌ නැරඹුවෙමි. අප දුටු මුවන් දුව ගොස්‌ වනාන්තරයේ මායිම අසල නැවතී අප දෙස බලන්නට වූහ. වියළි කාලයේ දී මේ අභය භූමියේ මූලික අවශ්‍යතාව සතුන්ට අවශ්‍ය ජලයයි. එම කාලයේදී අභය භූමියේ මධ්‍යයට ආසන්න විවෘත භූමියේ පිහිටි කුඩා වැව් හා ජල උල්පත් සිඳීයයි. නිරිත දිග මෝසම් සුළං සාගරයේ සිට හමා එයි. මේ කාලයේ දී ගංගා ජලය සොයා ගැනීමට හැකි වනුයේ අලින්ට පමණය. මුවන් හා මී හරකුන්ට ගංගා අමතක වේ. උන් සාගරය දෙසින් හමන ජල වාෂ්ප සහිත සුළඟ දෙසට ඉව අල්ලමින් සුළං දෙසට හිස්‌ හරවා දින ගණන් ගත කරති. සමහර මුවෝ හා මී හරකුන් ගංගාවලට ළඟා වීමට පෙර අධික පිපාසයත් දැඩි වෙහෙසත් නිසා මියයති. 'එංගල්බෙක්‌' මට පැවසුවේ මෙම වකවානුවේදී ඇතැම් මුවන් ජලාශ හා උල්පත් සොයා ගන්නා නමුත් ඒවායේ ජල මට්‌ටම ඉතා පහළින් තිබෙන බැවින් ජලය බීමට නොහැකිව නාසයට ජලයේ ඉව අල්ලමින් ජලාශ වටා ගමන් කරමින් ගත කරන බවයි.

1909.01.30 , උදෑසන ආපසු යාලට පැමිණියෙමි. පස්‌වරුවේ වනාන්තරය හරහා උතුරු දෙසට ගමන් කරන අතර අලි දෙදෙනකු ගේ සටනක්‌ දුටිමි.

ලෙනාඩ් වුල්ෆ් කෘතහස්‌ත මාධ්‍යවේදියෙකු ලෙස හම්බන්තොට වන දිවි වාර්තා කරන්නේ, ඉතිහාසයේ මෙතෙක්‌ කවරෙකු හෝ නොකළ අන්දමට බවට මෙවැනි සාක්‌ෂි කොතරම් ප්‍රබල වන්නේද යන්න විභාග කළ යුතුය.

දහඅට සහ දහනව වැනි ශත වර්ෂ, සමාජයීය, ආර්ථික, දේශපාලන මෙන්ම සාහිත්‍ය හා කලා යන සෑම අංශයකින්ම නව සංකල්ප ඔස්‌සේ මානව චින්තනය සකස්‌වීමට පෙළඹුන යුගයක්‌ ලෙස අවධානයට යොමුවන ආරම්භයකි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සමකාලීන මිනිසා සියුම් හා සංකීර්ණ අධ්‍යාත්මය පිළිබිඹු කරන නිර්මාණ කෙරෙහි දයාර්ද වන්නට විය. සිංහල නවකතාවේ බීජ අවස්‌ථාව විමසීමේ දී, බුදුසමයේ ආභාෂයත් ජනකථා හා බටහිර නවකථාවේ සිද්ධාන්තයනුත් බලපෑ බව මෙන්ම ක්‍රමයෙන් මේ සම්මිශ්‍රණය දේශීයමය රටාවක්‌ දෙසට ගමන් කිරීමේ ස්‌වභාවයක්‌ කාලීනව සිදුවූ බව ද සඳහන් කළ හැකිය.

පියදාස සිරිසේන සූරීන් ගේ ආගමික ආභාෂය තුළින් මතුකළ අධ්‍යාත්මික භාවමය ගුණය ට වඩා වෙනස්‌ ආකාරයකින් රසිකයන් ගේ හදවතට සමීපවන ඩබ්.ඒ. සිල්වා සූරීන් බටහිර නවකතාවේ ප්‍රවණතා කෙරෙහි ලොල්ව ඇති බව ඔහු ගේ නිර්මාණ තුළින් විශද කෙරිණි. සමකාලීන ඇතැම් විචාරකයන් ගේ අදහස වූයේ, ඩබ්.ඒ. සිල්වා සූරීන් මානව ජීවිතය සැබෑ වශයෙන් නොදුටු මනඃකල්පිත සමාජ සිතුවම් ප්‍රකට කරන්නට වෙහෙසුන ලේඛකයෙකු වශයෙනි. සමකාලීන විචාරකයෙකු පවසා තිබුණේ 'රයිගර් හැගාඩ් ගේ 'ෂි' වැනි පොත්වල බලපෑම මොහු ගේ කෘතිවල විද්‍යමාන වීම, ඔහු ගේ කෘතීන්වල පිළිබිඹුවන නොගැඹුරු ජීවන දෘෂ්ටියට හේතු වන්නට ඇති බවයි. එහෙත් තමා හාත්පස ජීවිතය ගැඹුරින් අධ්‍යයනය කරන මාර්ටින් වික්‍රමසිංහ සූරීන් බටහිර නවකතාවේ ලක්‌ෂණ විමර්ශනය කරමින් දේශීය ආකෘතියක්‌ ගොඩනගා ගැනීමට දරන ප්‍රයත්නය හමුවේ පියදාස සිරිසේන, ඩබ්. ඒ. සිල්වා, ගුණදාස අමරසේකර යන ලේඛකයන් ගේ කෘතීන් වෙන් වෙන් වශයෙන් ගෙන සාකච්ඡා කළ හැකි බව පෙන්වා දෙන අතර, මේ පසුබිම ඉතාම කෙටියෙන් සඳහන් කිරීමට සිදුවූයේ, මේ අතරට සපැමිණෙන ලෙනාඩ් වුල්ෆ් ගේ 'බැද්දේගම' එතෙක්‌ පැවති ස්‌වභාවයත් සමග අධ්‍යාත්මික වශයෙන් යාකරන පුරුකක්‌ ලෙස සැලකිය හැකි බැවිනි. එනම් පැවති දේශීය කථා සම්ප්‍රදාය වෙනුවට නව සම්ප්‍රදායක්‌ ඇරඹීමේ ආරම්භය 'බැද්දේගම' තුළින් මනාව ප්‍රකට වීමයි.

වසර 25 ක පමණ තරුණයෙකු ලෙස, දිස්‌ත්‍රික්‌කයේ පරිපාලන නිලධාරී වශයෙන් පත්වන වුල්ෆ් වනාන්තරවල සංචාරය කරමින් මුලදී වනසතුන් දඩයම් කරමින් ගෙවූ දිවිය සිය ජීවන ප්‍රවෘත්තිය තුළ දිස්‌වන අයුරු දිනසටහන් මනාව තහවුරු කරයි.

"1909. 02. 01 උදේ ආහාර ගැනීම සඳහා තල්ගස්‌ මංකඩ දක්‌වා පයින්ම ගොස්‌ පස්‌වරු කටගමුවට පැමිණියෙමි. ගමනේ දුර සැතපුම් 30 ක්‌ පමණය. ගමනේ දී සැලකිය යුතු මුවන් සංඛ්‍යාවක්‌ දු ටු නමුත් වනාන්තරයේ දැඩි කමත් මුවන් ගේ නුපුරුදු කම හා බිය ගතියත් නිසා උන්ට සමීපවීම දුෂ්කර විය. එක්‌ ස්‌ථානයක දී අපට නුහුරු හා නුපුරුදු ශබ්දයක්‌ ඇසෙන්නට වූ අතර වන නිලධාරියා (එංගල්බෙක්‌) එම ශබ්දය වළසෙකු ගේ බවට තීරණය කළේය. එම ශබ්දය ඔස්‌සේ ගමන් කළ අපට දැක ගන්නට හැකි වූයේ, දිය වළක සිටි දැවැන්ත කිඹුලෙකි. ඌට වෙඩි තැබුවෙමි. හෙමින් සීරුවේ ඉදිරියට ඇදෙන්නට වූ කිඹුලා ගේ කටේ දත් නොමැති බව පෙනුනි. (වයස්‌ගත නිසා වන්නට ඇත) කිඹුලා ගේ උගුරෙහි විශාල ඉබ්බෙක්‌ හිරවී තිබිණි. කිඹුලා විසින් ඉබ්බා අල්ලා ගන්නට ඇත. නමුත් දත් නොමැතිකම නිසා ඉබිකටුව විනාශ කිරීමට නොහැකි වීමෙන් ඉබ්බා උගුර දක්‌වා ලිස්‌සා ගොස්‌ හිරවෙන්නට ඇත. අපට ඇසුණ ශබ්දය ඉබ්බා පිට කරන්නට කිඹුලා දැරූ උත්සාහයේ ප්‍රතිඵලයකි. "

"වුල්ෆ් ගේ වන සංචාරයන් තුළ ව්‍යාපාරික ලෙස සංවිධානාත්මක වශයෙන් කරන ලද දඩයම් කිරීමේ ආකල්ප ද ප්‍රකට කෙරෙන්නේ යෑයි ඇතැම් විචාරකයන් ගේ මතය විය. 'දඩයම් කිරීමට අවසර දෙනු ලබන කාල සීමාවන් තුළ දී යුරෝපීය ජාතික දඩයම් කරුවන් නොකඩවා මෙහි පැමිණෙති. රජකුමාර වරුන් ඇතුළු වංශවතුන්, සොල්දාදුවන් හා වැවිලිකරුවන් ද මේ අතර වේ " (වුල්ෆ් චරිතාපදානය පිටුව 178)

මක්‌ෂිම් ගෝර්කි, දොස්‌තයොව්ස්‌කි, ඇන්ටන් චෙකෝෆ්, ඩී.එච්. ලෝරන්ස්‌ වැනි ලේඛකයන් තම රටවල සිදුවූ සමාජ වෙනස්‌වීම මැනවින් වටහාගෙන සමාජ වෙනස්‌වීම මත මානව චරිත වෙනස්‌වන අයුරු තම කෘති මගින් විවරණය කරන්නට සමත් විය. එහෙත් අප රට තුළ, ආරම්භයේ බැද්දේගම, ගම්පෙරලිය වැනි කෘති මගින් ප්‍රකට කෙරෙන වෙනස්‌වීම මූලික වශයෙන් වෙනස්‌වීමක්‌ දක්‌වා ගමන් කර නොමැති බව විචාරක මතයයි. එනම්, වත්මන් සමාජය තුළ ද ඊට සමගාමී චරිත පවත්නා හෙයිනි. කෙසේ වුවත් ගැමි සමාජයේ මානව ජීවිතය මැනවින් ප්‍රකට කරන කෘති අතර බැද්දේගම, ඉහළ අගයක්‌ ගන්නා කෘතියක්‌ බව පොදු පිළිගැනීම වශයෙන් සැලකෙයි. මෙම කෘතිය ගැන අදහස්‌ දක්‌වන මහාචාර්ය උයද ප්‍රශාන්ත මැද්දේගම මහතා පවසන්නේ,

" විදේශිකයෙකු වූ ද ලෙනාඩ් වුල්ෆ් බැද්දේගම නවකතාවේ කර ඇති තරම් ගැඹුරින් හා අවබෝධයකින් ද, මානව භක්‌තියකින් ද, යුක්‌තව සිංහල ගැමි ජීවිතය නිරූපණය කිරීමට සමත් වී ඇත්තේ සිංහල කතුවරුන් දෙතුන් දෙනකු පමණි. ලෙනාඩ් වුල්ෆ් ලියූ කාලයට වඩා අද, අප සමාජය කෙතරම් වෙනස්‌ වුවත් ගම්බද සමාජය තුළ තිබෙන ප්‍රශ්නවල ස්‌වරූපය පවා, එකලට වඩා බෙහෙවින් ම වෙනස්‌ වුවත්, නූතන ඇතැම් කතුවරුන් තවමත් තෝරා ගන්නේ, තමන් ප්‍රත්‍යක්‌ෂ වශයෙන් නොදත් තරමක්‌ පැරණි කාලයේ ගැමි සමාජයයි. මේ හේතුව නිසාත් මෙම නූතන කතුවරුන් ගෙන් ඇතැම් අය සැබැවින් ගම ගැන කිසිවත් නොදත්කම නිසාත් ඔවුන් ගේ කෘතීන්හි නොගැඹුරු බවක්‌ මෙන් ම අත්දැකීම් අතින් ඒකාකාරී බවක්‌ ද ඉදිරිපත් කරන අදහස්‌වල ව්‍යාජ බවක්‌ ද පිළිබිඹු වේ" යනුවෙනි.

බැද්දේගම ජීවන ප්‍රවෘත්තිය තුළින් ඉස්‌මතුවන සිලිඳු, බිරිඳ ඩිංගි හාමි, මුලාදෑනියා බබෙහාමි, කර්ලිනා හාමි, ආරච්චිල, ආදී චරිතයන්හි හැසිරීම නවකතාවක්‌ වශයෙන් පාඨකයාට ඉදිරිපත් කරන කතුවරයා එකී දාවිතයා ගේ විවරණය මනාව සිදු කරනු ලබයි. නවකතාවක ලක්‌ෂණයක්‌ වන මිනිසා ගේ ජීවන අභිප්‍රාය සාහිත්‍යයට පිවිසීමේ දී ජීවිතය පිළිබිඹු කිරීම මැනවින් මෙහි තහවුරු කරයි.

"උඹේ මිනිහා කිව්ව හරි, මේ මාසෙ තමයි, ළමයි මැරෙන්නෙ, ගිය අවුරුද්දෙ හරියට මේ මාසේ මගෙ ළමයෙකුයි අපේ අයියගෙ හාමිනේ ගෙ ළමයෙකුයි දෙන්නෙක්‌ම වැළලුවා. හොඳ වැස්‌සක්‌ දැන් කිසිදවසක වහින්නෙ නෑ. හැම තිස්‌සෙම බඩගින්නයි, උණයි. පුංචි උනුයි වයසක උදවියයි මැරි මැරී යනවා." (බැද්දේගම පිටු අංක 24)

"පුංචි මැණිකා හෙමින් හෙමින් අඩිපාරේ පහළට ගමන් කළාය. අවට සෞන්දර්යයෙන් උද්දීප්තිමත් වූ ඇගේ ශරීරයේ ලේ, අමුතු උෙද්‍යාaගයකින් නහර දිගේ දිව්වේය..

අතරමග පිටිපස පඳුරක්‌ අසල සෙලවෙන කිසිවක්‌ දැකීමෙන් ඈ ගල් ගැසුණාක්‌ මෙන් නැවතිණ. වන රොදින් මෑත්ව ඈ දෙසට බබුන් අප්පු එනු දුටු ඈ බියෙන් වෙව්ලා ගියාය. බබුන් අප්පු ගේ දෙනෙත් දීප්තිමත්ව පෙනිණ...

"අයියෝ මං බයවෙච්ච තරමක්‌ ¾ මට හිතුණෙ ගස්‌වල ඉන්න යකෙක්‌ය කියා. පුංචි කාලෙ අප්පොච්චි අපට කීවා ගස්‌වල ඉඳලා යක්‌කු ඇඟට පනිනවා පරිස්‌සම් වෙන්න ය කියා."

එහෙත් ඇගේ ඇඟට ඔහු අත තබන විට බියෙන් හා රාගයෙන් ඇගේ මුළු සිරුර වෙව්ලන්නට විණි. ඈ ඔහුත් සමග පොර බැදුවාය. " (පිටු අංක 38)

කවීන් මෙන්ම නිර්මාණ කරුවන් වර්ණනාත්මකව වනාන්තර අගයන නමුත් මිනිසා තුළ මහවනයක දී පවතින, මතු කරන, බියත් වන සතුන් ගේ චර්යාවන් මෙන්ම අප වුවද ආරක්‌ෂාව පිළිබඳ සහතිකයක්‌ ඇතොත් පමණක්‌ සොඳුරු දසුනකින් බැලුව ද, කතුවරයා තම සිතැඟි මේ ගම් වැසියන් ගේ ජීවන අත්දැකීම් තුළින් පාඨකයාට සැබෑ චිත්‍රයක්‌ මතුකර පෙන්වන්නට දරන උත්සාහය අගේ කළ යුතුය.

"ලෙනාඩ් වුල්ෆ් නිරූපණය කරන බැද්දේගම වැස්‌සෝ ස්‌වභාවධර්මයේම අවියෝජනීය කොටසක්‌ වන අතර තම දිවි පැවැත්ම සඳහා අවශ්‍ය දෑ එම ස්‌වභාව ධර්මයෙන් ම උපුටා ගැනීමට ඒ සමග කටුක අරගලයක නිරතුරු නිරතව සිටිත්. මේ ප්‍රබල අරගලය මධ්‍යයේ දී ඔවුන් ගිල ගැනීමට මාන බලා ගෙන සිටින්නේ, ගොර බිරම් වනය පමණක්‌ නොවේ. මුලාලිලා ඔවුන් ගේ අල්ප නිෂ්පාදන ගසා කති. තාක්‌ෂණික නොදියුණු කම නමැති තෝතැන්න මත වැවී ඇවිත් තිබෙන අන්ධ විශ්වාස නමැති උරචක්‍රමාලය ඔවුන් ගේ ගෙල වටා භ්‍රමණය වෙයි." (සාහිත්‍ය කලා ආදිය, මහාචාර්ය සුචරිත ගම්ලත්, ගොඩගේ, 1995, පිටු අංක 54) මෙහිදී ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ, වාණිජ්‍යය, ඔවුන් ගේ ම අන්ධ විශ්වාස පමණක්‌ නොව පාලක පක්‌ෂයේ සූරා කෑමට ද නතුවන ඔවුන් බරපතළ ලෙස ව්‍යසනයට පත්ව දිවි ගෙවන ලද ප්‍රජාවක්‌ ද වශයෙනි.

වනයට බිය නැතැයි වහසි බස්‌ දොඩමින් පුරසාරම් දොඩන ඇතැමුන් පිළිබඳ අප සැබෑ ජීවිතයේ දී ද දැක ඇති අතර, ඕනෑ තරම් ඔවුන්ට වැරදීම් සිදුව ජීවිතයට පවා හානි වී ඇති බව නොකිව මනාය. කතුවරයා අපට මෙය සාක්‌ෂාත් කරන්නේ මෙලෙසයි,

අපි වනයට බිය නැතැයි වහසි කියන්නෝ සිටිත්, තමන් ගේ ගෙමිදුල හෝ නුවර වීදි හෝ මෙන් වනය ද තමන්ට හුරු බව සමහරු කියත්. එහෙත් එසේ කියන්නෝ පුරසාරම් කාරයෝ නොවේ නම් වනයේ නියම තත්ත්වය පිළිබඳ තේරුමක්‌ හෝ හැඟීමක්‌ හෝ නැති මෝඩයෝය.

"ඔහු දඩයක්‌කාරයෙකි, දඩයක්‌කාරයන්ට මග පෙන්වන්නෙකි. වකුටු ගැසී රිංග රිංගා ගස්‌ හා පඳුරු අතරින් එබි එබී මුළු ජීවිතය ම ගත කළ ඔහු කුදු ගැසී ගිය උරහිස්‌ හා නිතර එබිකන් කරමින් බලන තියුණු කපටි කුඩා දෙනෙතක්‌ ද සිදුරු හා රැළිවලින් ගහන වූ අඳුරුවන් කුඩා මුහුණක්‌ ද ඇති පුංචි මිනිහෙකි. ඔහු දිවියෙකුට වඩා නිසොල්මන්ය. හිවලෙකුට වඩා කපටිය, රැළක නායක මුවකුට - නැඩයකුට වඩා හොඳින් ඔහු වනයේ මග තොට දනී. යටි සුළඟේ සිටින මුවකුට ඉව වැටෙන්නට පෙර තමාට වූ පෙනෙන බවත්, ඝන ලැහැබක සිටින දිවියෙකු විසින් තමා දකිනු ලබන්නට පෙර තමාට ඌ දැකිය හැකි බවත් පුරසාරම් කියයි. " (පිටු අංක 2)

මොනව කියන්ඩද අයිය. මට ඒක කරන්ඩ බෑ එහෙම එකක්‌ අපට වෙන්ඩ තියනවා නම් වෙච්චාවෙ. කවදත් මේ ගෙදරට මේ කැලෙන් අපල කඩා වැටෙනවා කියා අප්පොච්චි හැමදාම කියන්නෙ, ඉස්‌සර වෙලාම කන්ඩ නැතුව ගියා ඊට පස්‌සෙ අප්පොච්චිට යකා වැහුණ, ඊට පස්‌සෙ නංගිට යි එයා ගෙ ළමයට යි, මගෙ ළමයට යි තවත් අපල ළමයි මළා. මිනිස්‌සු පුංචි අප්පුව මැරුව, නංගිවත් මැරුව. දැන් තවත් අපල, තවත් නස්‌ පැත්ති. මොනව කරන්ඩ ද?"

කතුවරයා එම සමාජ පරිසරය හොඳින් අවබෝධ කර ගෙන, අත්දැකීම් විෂය කර ගෙන චරිත පණ පෙවීමෙන් නිර්මාණය බෙහෙවින් රසවත් වීමට හේතු වී ඇති බව කිව යුතුය. ගැමි වහර ඇසුරින් විශ්වාසණීයත්වය ද ආරක්‌ෂාවන පරිදි පියවරින් පියවර බැද්දේගම ට පාඨකයා කැඳවා ගෙන යන්නේ කුතුහලය ද මවමිනි. එමෙන්ම පරිවර්තක ගේ කාර්ය භාරය ද පාඨක හද දිනා ගැනීමට සමත් වන ආකාරයක්‌ විශද කරයි.

"දෙවියන්ට භාරහාර වී සිටි මිනිස්‌සු දූවිලි සහිත මග දිගේ පෙරළෙමින් ගියහ. දරුවන් නැති මව්වරු අඩියෙන් අඩියට නළල් තල බිම එබූහ..." (පිටු අංක, 82)

"බැද්දේගම වැසියන් තුළ පැවති ඇදහිලි විශ්වාස අතර යකුන් යක්‌ෂණියන් ප්‍රධාන වී ඇති අතර ඔවුන් ගේ කථාන්දර වලද ජීවත්වූයේ ඔවුන්මය. වනාන්තරයට ඇළුම් කරමින් වැඩිපුරම එහි ගතකළ 'සිලිඳු' ගේ හැසිරීම විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන්නේ වන සතෙකු ගේ චරියාවන්ට ඇතැම් කරුණු සමාන වන බවයි. (ඔහු ගේ දරුවන් වූ) පුංචි මැණිකාටත් හීන්හාමිටත් තුන් අවුරුදු වයස්‌ වන තුරු උන් ඉන්නවා ද මළා ද කියාවත් සිලිඳු නො බැලූ තරම් ය. මිදුලේ හෝ පිලේ හෝ සිටි දරුවන් සිලිඳු නොදුටුවේ ය. කිසි දිනෙක උන් ගැන කතා ද නො කෙළේය."( පිටු අංක 15)

ඉතාමත් අල්පේච්ඡ ජීවිතයක්‌ ගත කරන බැද්දේගම වැසියන් අවංක බව හා පිවිතුරු බවේ අගය සුරකින්නේ ඇතැම්විට මරණය වුව ද නොතකාය. දූෂණය නොවූ සංස්‌කෘතියක ලක්‌ෂණ විදහාපාන බැද්දේගම තත් යුගයේ වනාන්තරයට මැදිවූ ගූඪ ලක්‌ෂණවලින් පිරුණ මිනිස්‌ කොට්‌ඨාසයක හැසිරීම් රටාව යථාර්ථවාදීව විදහා දක්‌වන්නකි.

එමෙන්ම වැඩවසම් ක්‍රමය තුළ පරිපාලන රටාව සමාජය දැඩි දෝශ දර්ශනයට ලක්‌ කරන සිද්ධිවලින් බහුල එකකි. කෝරාල, ආරච්චිල, මුලාදෑනීන් තම වපසරිය තුළ මහේ ශාඛ්‍යයන්ය. ඔවුන් කිසිදු ආගමකින් හික්‌මවූවෝ නොවෙති. හිතු මනාපයට කටයුතුකළ ඔවුන් හා ඔවුන් ගේ වරිගය පිළිබඳ කොතෙක්‌ ඇතුළු හද කම්පාකළ ද සමකාලීන සමාජය තුළ දිවි ගෙවූවන් ඒවා බර පතළ ලෙස විඳ දරා ගන සිටි බව නොරහසකි. මේ සැබෑ ජීවිතය ගැඹුරින් විවරණය වූ නවකථා පසු කාලීනව ද රචනා විය.

නගරයේ නිරර්ථක ජීවිතය හෙළා දකින ගැමියන් වනයට ආශා කළෝය. කෘෂි ජීවිත ගත කරන ගැමියන් ගේ එකමුතු භාවය පිළිබඳ විශ්වාසයක්‌ බැද්දේගම තුළින් ඉදිරියට නොපැමිණෙන අතර ආත්ම විශ්වාසය බිඳී ගිය දුක තැවරුණ ජීවිත සමග සොබාදහමේ කෲරත්වය කතුවරයා අප හමුවට ගෙනෙන්නේ, අනුකම්පාව උපදවන විලාශයකිනි.

"1909. 11. 09, ගඟ ඔස්‌සේ යාල ප්‍රදේශයේ සංචාරයක්‌ කළෙමි. අපට යාර කීපයක්‌ ඔබ්බෙන් කොටියෙකු ගසකින් බිමට පැන දිව ගියේය. මෙහි දී බිම සිට අඩි 12 ක්‌ පමණ උඩින් ගසක අත්තක තබා තිබූ සම්පූර්ණයෙන්ම වැඩුණු මුවකු ගේ අඩක්‌ පමණ කා අවසන් කළ මළකුණක්‌ දැක ගත හැකි විය.(චරිතාපදානය)

වන සතුන් හා පරිසරය විඳිමින් තම අත්දැකීම් තුළින් නිර්මාණ කරණයට පිවිසීමෙන් කාල්පණික මායා ලෝකයෙන් බැහැරව සොබා දහමේ සිතුවම් නිර්මාණය කරන්නට වුල්ෆ් ට හැකිවිය.

"සිලිඳු ගේ සිතුම් පැතුම් ද අදහස්‌ උදහස්‌ ද බොහෝ සෙයින් පුදුමය. වනයට වුවත් සාහසික වැඩිය, ඔහු ගේ කෝපය ඇවිස්‌සීම ලෙහෙසි නොවේ. යනුවෙන් හඳුන්වන කතුවරයා, තව දුරටත් පවසන්නේ, ඔහු ගේ කෝපය ඇවිස්‌සුණහොත් පැය ගණන් දවස්‌ ගණන් ඔහු පැල්පත යටට වී කෝපයෙන් දැවෙමින් දහ අතේ හිතයි. ඊට පසු හදිසියේ එතනින් නැගිට සතුරා සොයා ගොස්‌ වන මෘගයෙකු මෙන් ඔහු කරා කඩා පනී." (බැද්දේගම පිටු අංක 12)

"වුල්ෆ් ගේ චරිතාපදානය ඔහු ගේ සැබෑ දිවියේ තතු මනාව චිත්‍රණය කරයි. තමා ගේ අවසාන අවුරුද්දේ දී තමාට මිඩංගු කළ හැකි උපරිම කාලය වනාන්තරවල රාත්‍රි කාලවලදී දිය වළවල් හා ජලාශ අසල ගත කරමින් ද, වන සතුන් සෝදිසි කමින් ද ගත කළ බව වාර්තා කරයි. දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වුවද, වන සතුන් දඩයම් නැවැත්වීමට තමා ගත් නොයෙක්‌ උත්සාහයන්ට තමාම ආදර්ශයක්‌ වෙමින් තමා ගේ ආහාරයට පමණක්‌ හැර වෙඩි තැබීම අත්හළ බව පවසයි. වනාන්තර සම්බන්ධවත්, දඩයම් කරන්නන් හා වෙඩි තබන්නන් ගැනත් ඔහු ගේ අත් දැකීම් හා දැනුම ක්‍රමයෙන් වැඩිවීමත් සමගම එම කටයුතුවල දැඩි ලෙස යෙදී සිටී. තමාගේම සුදු ජාතිකයන් කෙරෙහි අප්‍රසන්නතාවකින් සිටි බව ද හෙතෙම පවසයි." (වුල්ෆ් ගේ චරිතාපදානය හෙවත් ග්‍රෝවින් හි පිටු අංක 100) ඇසුරින් සම්පාදිත, ඒ ඩී පෙතන්ගොඩ ගේ වන දිවි තොරතුරු ලිපියෙනි )

පරිවර්තකයා සිය බස කාව්‍යමය ආකාරයකින් හසුරවනු ලබයි. චරිත නියෝජනය කරන සමාජ ස්‌වභාවය, ගැමි වහර, එහි අරුත් මෙන්ම චරිතයන් ගේ ක්‍රියාකාර කම් හි භාෂාවෙහි බැඳීම උපයුක්‌ත භාෂාවෙහි නිර්මාණාත්මක ලක්‌ෂණ මතු කරවන්නකි.

මේ අනුව බ්‍රිතාන්‍ය පාලන සමයේ එක්‌ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ලෙනාඩ් වුල්ෆ් උත්ප්‍රාසාත්මක ගුණය මුසුකරමින් රචිත "ද විලේ- ඉන් ද ජන්ගල්" තුළින් මෙතෙක්‌ දැක්‌වූ සියලු කරුණුවලට අමතරව අනාදිමත් කාලයක සිට ස්‌ත්‍රිය රැක ගෙන එන ධර්මතාවයන්හි ලක්‌ෂණයන් ද මතුකරලන්නේ තාත්වික ආකාරයෙනි.

"ඔව්, අප්පොච්චි, ඔව් ඔක්‌කොම මුදලාලිට මං ඕන කරපු නිසා තමයි. ඊට පස්‌සෙ උන් අපේ හේන ගත්ත. ඊට පස්‌සෙ නඩුවක්‌ පටලල මගෙ මිනිහ උදුරා ගත්තා. මං මොකද කරන්නෙ?"

ගැමි ජීවිතය වෙලන ඉතාමත් කෲරතර කටුක මෙන්ම අනුකම්පාව සේදී ගිය සමාජ යථාර්ථය සෞන්දර්යාත්මකව අවලෝකනය කරන පියවතී සහ ඇගේ පුත්තු, ජීවිතයේ කොටස්‌ කාරයෝ, මල්දෙණියෙ සිමියොන්, මම ඔබ සිඹිමි, පද්මාවතී, ජීවිතය සුන්දරය, මිහිසරණ, මෙන්ම ගැමි දිවිය හා අගහිඟකම නමැති රුදුරු රකුසා ගේ ග්‍රහණයෙන් මිරිකෙන චරිත රැගත් උඩුසුළඟ, දඩබිමෙන් දඩබිමට, මහකන්ද පාමුල ආදී නවකතාවන් ගෙන් වෙනස්‌ව බැද්දේගම රචනා වී තිබුණි ද පීඩාකාරී මෙන්ම අති දුෂ්කර ජීවිත ගත කරන්නන් ගේ ෙ€ද වාචකය අප හමුවට ගෙන එන්නේ, සමස්‌ත ස්‌ත්‍රී ප්‍රජාව කෙරෙහි මානව දයාවෙන් බැලිය යුතු බව පසක්‌ කරමිනි. කතුවරයා දුර සිට දුටු ගමක චිත්‍රයක්‌ පාඨකයා වෙත ඉදිරිපත් කරන බව ඇතැම් මත අතර වුව ද, ඔහු ගේ ජීවන ප්‍රවෘත්තිය විමසීමේ දී මෙන්ම චරිත හැසිරවීමේ දී එය සාවද්‍ය වන ලක්‌ෂණ ප්‍රකට වන බව කිව නොහැකිද යන්න විමසිය යුතුය.

එකල ගැමි සමාජයේ බලවතුන් ලෙස කැපී පෙනෙන ආරච්චිල, වෙදරාල, මුදලාලි, යන චරිත ගැමියන් හා කරන ගනුදෙනුව ව්‍යාජ අනුකම්පාවේ සාකල්‍යයන් ගෙන් පිරුණකි. ඔවුන් සතු සමස්‌තය ග්‍රහණයට ගන්නා අතර ලිංගික සූරාකෑමට ද නොපසුබට වන ආකාරය තත්කාලීන සමාජ සිදුවීම් තුළ බහුලව එන්නකි.

හම්බන්තොට දිසාපතිවරයා වශයෙන් කටයුතු කරමින් 1913 දී ලෙනාඩ් වුල්ෆ් රචනා කරන 'බද්දේගම'නවකතාවෙහි බබුන්, සිලිඳු සහ පුංචිමැණිකා වැනි චරිත තුළින් ලාංකීය පීඩිත අසරණ සමාජ තලයත් ප්‍රනාන්දු සහ ආරච්චිල යන චරිත හැසිරවීමත් නිලධාරී යාන්ත්‍රණය මෙන්ම සුළු ධනේශ්වර චින්තනයේ බලපෑමත් ප්‍රතීයමාන කරන්නේ, අකාලික දහමක සේයාවෙනි. සරණක්‌ නොමැතිව අපේක්‌ෂා භංගව අසරණ භාවයේ පතුළට වැටී පරපීඩිත කාමිකයන්ගේ අසාධාරණයන්ට වහල්වන සමාජීය චරිත එදා මෙදා තුර අපි අත්විඳින්නෝ වෙමු. ධනය සහ බලය ජීවිත වහල් භාවයට පත්කර ගන්නා ආකාරය සිලිඳුලා, බබුන්ලා ගේ කඳුළුවලින් සටහන් කර තබා ඇත. මානව වටිනාකම් තුට්‌ටුවකට මායිම් නොකරන ධනයෙන් සහ ආත්ම වර්ණනාවෙන් පිම්බුනු හිස්‌ මිනිසුන් ගේ නූතන හැසිරීම්, අපට මැනවින් වටහා දෙන්නට පුංචි මැණිකා ගේ අසරණ ජීවිතය හොඳටම ප්‍රමාණවත්ය. සමාජ අසාධාරණය වෙනුවෙන් නැගී සිටීමට චිත්ත ධෛර්යය සපයන එළඹුම සිය කුටුම්භය විනාශ කිරීම වෙනුවෙන් සිලිඳු අවි අතට ගැනීම සාධාරණය ඉටු කිරීමට නීතිය වසන්වීම තුළ කැලෑ නීතිය ඉස්‌මතු වීමක්‌ විදහා පෑමක්‌ පමණක්‌ නොවන අතර හෘද සාක්‌ෂිය සමග පොරබැදීම මිනිසෙකුගේ චිත්ත ස්‌වභාවය වෙනස්‌ වීමට බලපාන ආකාරය විසද කරයි.

තත්කාලීන ලෝක දේශපාලන වෙනස්‌වීම් සාහිත්‍යට නැගූ ලේඛකයන් අතර ඩී.එච්.ලෝරන්ස්‌, ඇන්ටන් චෙකෝෆ්, දොස්‌තයොව්ස්‌කි, මක්‌ෂිම් ගෝර්කි, ටොල්ස්‌ටෝයි ආදීන් තම රට තුළ සිදුවූ ආර්ථික හා සමාජ දේශපාලන වෙනස්‌වීම් ග්‍රහණයට නතු කර ගත් අතර තත්කාලීන මානව ක්‍රියාකාරකම්හි වෙනස්‌වීම් සිය සාහිත්‍යය වර්ණවත් කිරීමට ද යොදාගත්හ. 'බැද්දේගම' 'ගම්පෙරළිය' වැනි නවකතා අපේ හදවත් තුළින් මකා දැමිය නොහැක්‌කේ වර්තමානයේත් මේ චරිත දෘශ්‍යමාන වන නිසාම ද යන්න විමසුමට ලක්‌කළ යුතු වෙයි. මෙයින් ගම්‍යවන කරුණු අතර සමාජ විපර්යාස පිළිබඳ දුර දක්‌නා නුවණ දේශපාලනඥයන්ට ප්‍රථම සාහිත්‍ය කරුවා විනිවිද දකින බවය. ලාංකීය සමාජය තුළ 1917, 1945, 1947, මෙන්ම 1971 දී ද, වටිනා තරුණ ජීවිත දහස්‌ ගණනක්‌ අපට අහිමිවීම, 1980 මහා වැඩ වර්ජනය, 1983 කළු ජූලිය, 1987 ජීවිත අහිමිවීම හා ජන ජීවිතය කඩා වැටීම මෙන්ම 30 වසරක්‌ තිස්‌සේ පැවති ඊළාම් යුද්ධය ආදිය තුළින් අභියෝගයට ලක්‌වූයේ මානව ජීවිතයේ පැවැත්මයි. මේ ඝාතනයන් සහ විනාශයන් හි පශ්චාත් සමය තුළ වුල්ෆ්ලා බිහි නොවුණත් ඔහු මේ සමාජ අසාධාරණයන් පිළිබඳ සේයාවක්‌ දුටු නිර්මාණ කරුවන් අතර පෙළට සිටුවිය හැකි මෙන්ම අනාගත පරම්පරාවන් කරා ද මෙහි සේයාවන් ගමන් කරන්නේ සන්තාන ගත ෙ€දවාචකයන් වශයෙන් නොවේ ද.

පොදු මනුෂ්‍ය ජීවිතයේ සැබෑ තොරතුරු අතර වන්නා වූ සුචරිතවත් කම් දුෂ්ටකම් මෙන්ම කුහකකම් හා මෝඩකම් ද පිළිබිඹු කරන 'බද්දේගම' වනාන්තරය මැද බිහිවන ගම, අවසානයේ වනය විසින්ම, ගිල ගන්නා ආකාරය මවා පාන්නේ, සොබාදහමේ සැබෑ ස්‌වරූපයත්, මානව ජීවිතයත් එහි ගූඪ භාවයනුත් ශූන්‍යත්වය හෙවත් අනියත දහමෙහි ස්‌වභාවයත් දාර්ශනික වියමනක ආකාරයෙනි.

සුනිල් කුමාරසිංහ අතුකෝරල

Category: ,

sinhala.lakdiva news:
sinhala.lakdiva news

0 comments