1974 දවස පුවත්පතට සීල් තැබු කතාව...

Lanka Journalist | 2:27 PM | 0 comments

 1970 සමගි පෙරමුණු ආණ්‌ඩුව ලංකා සමසමාජ පක්‌ෂය, කොමියුනිස්‌ට්‌ පක්‌ෂය සහ ශ්‍රී ලනිපය යන පක්‌ෂ තුන බලයට ඒමට "දවස" දැවැන්ත ප්‍රචාරයක්‌ ගෙන ගියද එම පුවත්පත ගැන එම පක්‍ෂ ක්‍රියා කළේ දැඩි අවිශ්වාසයෙනි. "දවස" මැතිනියට උදව් කළේ ඔවුනට ඇති ආදරය නිසා නොව, තම පෞද්ගලික ව්‍යාපාරික අරමුණු සමගි රජය යටතේ මුදුන් පමුණුවා ගැනීමට බව අදාළ පක්‌ෂ නිසි ලෙස තේරුම් ගෙන තිබුණි. එම සැකයට සාධාරණ හේතුවක්‌ ද විය. 1965 මැතිවරණයේ දී මැතිනියට එරෙහිව ඩඩ්ලි සේනානායකට පූර්ණ සහයෝගය දුන්නේ දවස ආයතනයයි. "දවස" එහි දී බාහිර ලෝකයට පෙන්වූයේ "පුවත්පත් නිදහස රැක ගැනීම" තම ප්‍රධාන අරමුණ වූ බව ය.

නමුත් ඇත්ත තත්ත්වය කුමක්‌ වීද? 1964 දී මැතිනිය ආණ්‌ඩුවේ මුදල් ඇමැති වූයේ ඇන්. ඇම්. පෙරේරායි. එවකට දවස ආයතනයට අයත් වාණිජ මුද්‍රණ අංශයේ (ගුණසේන මුද්‍රණාලය) ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ රජයේ පාසල් පොත් මුද්‍රණයයි. ඇන්. ඇම්. මුදල් ඇමැති ලෙස පත් වූ වහාම ගුණසේන සමාගමට හිමිව තිබූ එම කොන්තරාත්තුව අවලංගු කොට රජයේ මුද්‍රණාලයට එය පවරන්නට තම බලතල යටතේ කටයුතු කළේය. එය ගුණසේන මුද්‍රණාලය පවත්වාගෙන යැමට නොහැකි තරමේ බරපතළ පහරක්‌ විය. ගුණසේන සමාගම "දවස" පටන් ගත්තේ ආණ්‌ඩුවේ පොත් අච්චු ගසා ලැබූ එම මුදල්වලිනි. "දවස" ආයතනයට අවශ්‍ය වූයේ 1964 දී "ඩඩ්ලි" කෙසේ හෝ බලයට ගෙන තම මුද්‍රණ කොන්තරාත්තුව නැවත ලබා ගැනීමය. එහෙත් ඩඩ්ලි පිහිටු වූ ආණ්‌ඩුවේ අධ්‍යාපන ඇමැතිවරයා වුයේ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා ද එන්. එම්. ගත් පියවර අනුමත කරමින් "දවස" ආයතනය නොසලකා හැරියේ ය. තමන් මුළු ව්‍යාපාරයම "සූදුවකට" තබා කළ සෙල්ලමෙන් "දවස" ආයතනය තවත් හෙම්බත් විය. "ඩඩ්ලි- දවස" විරසකය ඇති වූයේ එසේය.

ඉන්පසු ඩඩ්ලිගේ රජය කුඩුපට්‌ටම් කර තුන්හවුල් ආණ්‌ඩුව 1970 දී පිහිටුවීමට දැවැන්ත ප්‍රචාරාත්මක ව්‍යාපාරයක්‌ ගෙන ගියේ "දවස" ආයතනයයි.

එහෙත් සිරිමාගේ හවුල් ආණ්‌ඩුවෙන් ද "දවස" ක්‍රමයෙන් ඈත් වන්නට විය. ඊට ප්‍රධාන හේතුවක්‌ වුයේ "දවස" ආයතනය ඇතුළත සමගි ආණ්‌ඩුවේ සමසමාජ දේශපාලනඥයකු විසින් වෘත්තීය සමිතියක්‌ අටවා ගැනීමය. "දවස" අධිපති සේපාල ගුණසේනට කවදත් වෘත්තීය සමිති වහකදුරු මෙන් විය. වෘත්තීය සමිතිකාරයන්ට සේපාල සැලකුවේ සාහසික ලෙසිනැයි කිවහොත් වඩාත් නිවැරදිය. දවස ආයතනය තුළ සටන්පාඨ, හූ කියමින් වැඩකටයුතු කඩාකප්පල් වීම් ආදී වෘත්තීය සමිති කටයුතු වඩාත් සමාන වූයේ 1957 ටයිම්ස්‌ ආයතනය තුළ ඇති වූ තත්ත්වයම ය. තත්ත්වය දරුණු වෙත්දී 1970 සැප්තැම්බර් 08 වැනිදා රාත්‍රියේ සියලු සේවකයන් එළියට දමා දවස ආයතනය වසා දමන ලදී. එය හැඳින්වූයේ "ලොකවුට්‌" ලෙසය.

තමන් පිහිටුවාගත් "සමගි ආණ්‌ඩුව" වෘත්තීය සමිති ප්‍රශ්නය උඩ තමන්ට කිසිදු පිහිටක්‌ නොවීම "දවස" පාලකයන්ගේ කෝපය උත්සන්න කිරීමට හේතු විය. අවසානයේ සේපාල ගුණසේන ලක්‌ෂ ගණන් වියදම් කර වෘත්තීය සමිති නායකයන්ට අල්ලස්‌ දෙමින් ඔවුන් තම වසඟයට ගත්තේය. වෘත්තීය සමිතිකාරයන් "අල්ලස්‌" ගෙන සියලු සේවකයන් පාවා දෙන ලදී.

1970.11.08 දින දවස ආයතනය නැවත විවෘත කළේ වෘත්තීය සමිතිකාරයන් පමණක්‌ නොව ඔවුන් සමග ඇයි හොඳයිකම් පෑ සේවක පුළුටක්‌වත් වැද්ද නොගන්නා අතරම සියලුම සේවකයන් වහල් "නීති" මාලාවකට අත්සන් කොට ගත් පසුවය. එහිදී සිය ගණනකට රැකියා අහිමි විය.

පාසල් පොත් ප්‍රශ්නය නිසා දෙවැනි වරටද සිරිමා ආණ්‌ඩුව සමග උරණ වී සිටි "දවස" වෘත්තීය සමිති ප්‍රශ්නය නිසා උග්‍ර "සමගි පෙරමුණ" ආණ්‌ඩු විරෝධී තත්ත්වයකට ඇද වැටිණි.

වැඩිකල් නොගොස්‌ "දවස" ආයතනය සිරිමාගේ තුන් හවුල් කැඳ ආණ්‌ඩුවට යුද ප්‍රකාශ කරන ලදී. ජනතාව කන්න අඳින්නට නැතිව දුක්‌ විඳින හැටි, මයියොක්‌කා කා මිනිසුන් මියගිය හැටි ආදී ආණ්‌ඩුවට වදින ප්‍රවෘත්ති "දවස" ආයතනයේ පුවත්පත්වල උලුප්පා දක්‌වන්නට වූ අතර එවැනි ප්‍රවෘත්ති "දවසේ" පළකර ගැනීමට ද පහසු විය.

1974 අප්‍රේල් 21 දින එජාපය මගින් රටපුරා ආණ්‌ඩු විරෝධී මහා ව්‍යාපාරයක්‌ සංවිධානය කොට තිබුණි. එම ව්‍යාපාරයේ අරමුණ වූයේ සියලුම සිවිල් නීති රීති කඩාදමා ආණ්‌ඩුව පෙරළීමට ජනතාව උසිගැන්වීමටය. එවකට දවස කර්තෘ ධූරය දැරුවේ ඇවිදින විශ්වකෝෂයක්‌ බඳු ඩේවිඩ් කරුණාරත්නයි. ජේ. ආර්. ගේ වාසි ලබා තම විරෝධතාව ගැන ප්‍රවෘත්තිය "දවසේ" පළ කර වීමට ක්‍රියා කළ ඩේවිඩ් කරුණාරත්න, පියසේන ඉහලවිතාන ලවා ප්‍රවෘත්තිය ලුණු ඇඹුල් දමා සකසන ලදී. එකල පත්තර මුද්‍රණය කළේ ද අකුරු ඇමිණීමෙනි. අකුරු ඇමිණීමේ අංශයේ සිටි "තුන්හවුල් ආණ්‌ඩුවේ ඔත්තුකරුවෝ" සිද්ධිය මැතිනියගේ කනේ තැබුවෝය. ටෙලිෆොaන් පණිවුඩය ඇසූ මැතිනිය බෙහෙවින් කලබල විය. 1974 අප්‍රේල් 19 වැනි සිකුරාදා දිනයක්‌ විය. එම ප්‍රකෝපකාරී ප්‍රවෘත්තිය පළ කෙරෙන "දවස" ප්‍රකාශන ජනතාව අතරට පත්වීම වැළැක්‌වීමට එදින මධ්‍යම රාත්‍රියේම "දවස" සීල් තැබීමට මැතිනිය නියෝග කළාය. ඇය වගකීම පැවරුවේ රිජ්වේ තිලකරත්නට ය. එය වගකීමකට වඩා "අණක්‌" යෑයි කිවහොත් වඩාත් නිවැරදිය. රි-වේ එවකට ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම්, ගුවන්විදුලියේ සභාපති මෙන්ම රජයේ පුවත් බලධාරයාද විය.

දවස පළ කළ ආයතනයේ නම "ස්‌වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගම" නම් විය. එම ආයතනයේ පුවත් පළ කිරීම තහනම් කර එම ගොඩනැඟිල්ලට සීල් තැබීමට පළමුව කළ යුතුව තිබුණේ ජනාධිපති නියෝගයක්‌ අත්සන් කිරීමය. එවකට විලියම් ගොපල්ලව ජනාධිපතිවරයා විය. නමුත් ගැසට්‌ නිවේදනය කරන්නට ජනාධිපතිවරයා කොළඹ සිටියේ නැත. ඔහු අවුරුදු නිවාඩුවට ඒ මොහොතේ නුවරඑළියේ ගොස්‌ සිටියේ ය. අවශ්‍ය ලිපිගොනු වහාම නුවර එළියට යවා ජනපති ලවා අත්සන් කරගෙන එන මෙන් මැතිනිය වහා නියෝග කළාය. ජනාධිපති කාර්යාලය ලිපිලේඛන නුවරඑළියට ගෙන ගොස්‌ ජනාධිපතිවරයා ලවා අත්සන් කර රි-වේ තිලකරත්නට භාරදෙන විට රාත්‍රි 11 ට පමණ විය.

දවසට සීල් තැබීමට පෙර එහි අයිතිකරු වන සේපාල ගුණසේන මහතාට බාරදිය යුතු නියෝගය අත්‍යවශ්‍ය ලියවිල්ලක්‌ විය. හදිසි නීතිය යටතේ සීමාසහිත ස්‌වාධීන පත්‍ර සමාගම තහනම් කිරීමේ නියෝගයට ටයිප් ගසා රි-වේ තිලකරත්න මහතා අත්සන් තැබූ වහාම "දවස" ආයතනය අවට පොලිස්‌ රැකවරණ යොදන ලදී.

දවසට සීල් තැබීමට රි-වේ තිලකරත්න සමග තවත් කණ්‌ඩායමක්‌ ගමන් කළේය. ඒ රජයේ මුද්‍රණාලයාධිපතිගේ කණ්‌ඩායමය.

එදින මධ්‍යම රාත්‍රියේ සේපාල ගුණසේන මහතා අවදිකොට නියෝගය භාර දී රිජ්වේ ඇතුළු පිරිස "දවස" ආයතනයට ඇතුළු වූයේ සේපාල ද සමගය.

රිජ්වේ තිලකරත්න ඇතුළු පිරිස පත්තර පිටු සාදන අංශයේ සියලු තැන් පිරික්‌සුවද, ජනතාව ප්‍රකෝප කරවන එම ප්‍රවෘත්තිය සොයා ගැනීමට නොහැකි විය.

නමුත් ඇත්තටම සිදු වී තිබුණේ කුමක්‌ද? දවසේ ඩේවිඩ් කරුණාරත්න විසින් සකසා තිබූ එම ප්‍රවෘත්තිය වගකීමෙන් තොර ප්‍රකෝපකාරී" එකක්‌ ලෙස සලකා රිවිරැස කර්තෘ ගුණදාස ලියනගේ හා වීක්‌එන්ඩ් කර්තෘ රෙක්‌ස්‌ ද සිල්වා විසින් එය ඉවත් කොට තිබීමය.

ඉන්පසු දවස සීල් තැබීම ඇරඹූණේ යට මහලේ රොටරි යන්ත්‍රයෙනි. රොටරිය මුද්‍රණ කටයුතු කළ නොහැකිවන අන්දමට කොටස්‌ කීපයක්‌ රජයේ මුද්‍රණාලයේ සුදර්මන් ද සිල්වා ගලවන ලදී. යන්ත්‍රය පණ ඇද නැවතිනි. ඉන්පසු රිජ්වේ තිලකරත්න තම බලතල යොදවා නීත්‍යානුකූලව රොටරිය සීල් තබන ලදී. රි-වේගේ නියෝගය මත දවස ආයතනය මගින් දෙන වතුර වීදුරුවක්‌ පවා බීම තමා සමග ගිය කණ්‌ඩායමට තහනම් විය. නමුත් "සේපාල ගුණසේන" විසින් පිළිගැන්වුණු "කිරිකෝපි" රි-වේ පානය කළ පසු අනෙකුත් ගෝලයන් ද දනිපනි ගා තොල ගා ගත්තේ කිසිදා නොවූ මෙම කාර්යයෙන් ඔවුන් ද හෙම්බත් වී සිටි බැවිනි. සීල් තැබීමේ කාරිය නිම වුවද ආරක්‌ෂක හේතූන් මත රි-වේ ඇතුළු පිරිස ස්‌වාධීන පත්‍ර සමාගමෙන්" එළිය වැටීමට පෙර එළියට නාවේ ආරක්‌ෂක හේතූන් මතය.

දවස ආයතනයට අඳුරුම දිනයක්‌ වූ එදින උදැසන එළිය වැටීගෙන එත්දී අන්තිම සේවකයාත් එම ආයතනයෙන් පිට කළ රි-වේ තිලකරත්න රජයේ ප්‍රවෘත්ති බලධරයා 1974 අප්‍රේල් 20 වැනි සෙනසුරාදා "දවස" නිවස ගොඩනැඟිල්ලට සීල් තබා එළියට ආවේ දැඩි සන්නද්ධ මුරකාවල් මැදය.

මෑතකදී ආරම්භ කළ සති අන්ත පවුත්පතක මෙම "දවස" සීල් තැබීම ගැන ලිපියක්‌ පළකොට තිබුණි. එය මුළුමනින්ම කරුණු විකෘති කිරීමකි. එම ලිපියේ එක්‌ කොටසක මෙසේ සඳහන් ය.

"දවස" පත්‍රයට තුන්හවුල් රාජකාරියෙන් සිදු වූ මේ ක්‍රියාවට රුපියල් කෝටි ගණනක වන්දියක්‌ ගෙවන්නට සිදුවන බව දේශපාලන නිරීක්‌ෂකයෝ ඇයට පෙන්වා දුන්හ.

දවසට සීල් තැබූ රජයේ දවස අයිතිකාර සමාගමේ සභාපති සේපාල ගුණසේන මහතාට කළ අපහාසය හා පාඩුව වෙනුවෙන් රුපියල් කෝටි ගණනක වන්දියක්‌ ලබා දුන්නේය.

"පුවත්පත් නිදහසේ ස්‌වර්ණමය පෑන" සේපාල ගුණසේන මහතා ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීය.

එම කොටසේ සඳහන් පරිදි කෝටි ගණනක වන්දියක්‌ "සමගි ආණ්‌ඩුව" විසින් සේපාල ගුණසේන මහතාට පිරිනමා නැත. මෙම කරුණු ගෙනහැර දැක්‌වීම අමු බේගලයකි.

පුවත්පත් නිදහසේ "ස්‌වර්ණ පෑන" සේපාල ගුණසේනට හිමි වූ බව එම ලිපියේ සඳහන්ය.

ලියුම්කරු මේ විකෘති පත්තර අත්දැකීම" ලැබුවේ කාගෙන්දැයි සැකසහිතය. ඔහුට ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය ගැන නිරවුල් මතකයක්‌ නැත.

මාධ්‍ය ප්‍රතිපත්ති මාලාවේ 3.1 හි මෙසේ සඳහන් වේ.

3.1 වාර්තාවක්‌ කරුණු අතින් සාවද්‍ය යෑයි කර්තෘට පෙනී යන අවස්‌ථාවක දී එය නිසි ප්‍රමුඛතාවක්‌ හෝ යෝග්‍ය වන්නේ නම් සමා ආයාචනයක්‌ ද ඇතිව ඒ නිවැරදි කිරීම් හා සමාආයාචනය පීඩාවට පත් පාර්ශ්වයේ කැමත්තට පටහැනි වන අවස්‌ථාවක දී හැර අනෙක්‌ සෑම විටකදීම වහාම නිවැරදි කළ යුත්තේය.

නමුත් මෙම බේගලය නිවැරදි කිරීමට එම පුවත්පතේ කතුවරයා පියවර ගත්තේ නැත.

පුවත්පත් නිදහසේ ස්‌වර්ණමය පෑන හිමි වූයේ සේපාල ගුණසේනට නොව රාජ්‍ය පත්තර මංකොල්ලයට එරෙහිව අභීතව සටන් කළ එස්‌මන්ඩ් වික්‍රමසිංහට ය. ඔහු ආසියාවේ පළමු වතාවට රන් පෑනෙන් පිදුම් ලබන්නා විය.

දවසට සීල් තබා දින තුනකට පසු රජයේ පාලනය යටතේම පැවැති ඩේලිනිවුස්‌ පුවත්පතේ පළ කළ දැන්වීමක්‌ පිටුපස රහස්‌ පොලිසිය පන්නන්ට වූ නමුත් කිසවකු සොයා ගැනීමට නොහැකි විය.

එම ඉංග්‍රීසි දැන්වීමේ මෙසේ සඳහන් විය.


අමුතු විදියකට පද බෙදු එහි සිංහල තේරුම් මෙසේය.

"ඕ" ක්‍රේසි - සත්‍යයේ ආදරණීය ස්‌වාමිපුරුෂයා වූද, නිදහසේ ආදරණීය පියාණන් වූද, විශ්වාසයේ බලාපොරොත්තුවේ සහ යුක්‌තියේ සහෝදරයා වූද, ප්‍රජාතන්ත්‍රවාදය හදිසි අනතුරකින් කාලක්‍රියා කළේය. මේ මස 20 වැනි සෙනසුරාදා භූමිදානය කරන ලදී. අරලිය මැඳුර, පණගියවත්ත, අඳුරුවෙල."

අද "දවස"ට සීල් තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් බොහෝමයක්‌ මිය පරලොව ගොස්‌ ඇත.

එමෙන්ම අද "දවස" ආයතනයද පරලොව ගොස්‌ හමාරය. දවස ගැසු රොටරි යන්ත්‍රයද කුලු ගෙඩි වලින් ගසා කඩා යාපනයේ නාඩාර්ලාට විකුණා හමාරය. දවස බිල්ඩිමද දැන් අන්සතු වී ඇත. දැන් දවස නමින් ඉතිරිව ඇත්තේ මිහිඳු මාවතේ පරණ දවස ගොඩනැඟිල්ලේ අහසට පෙනෙන ලෙස එදා දිදුලුනු දැන් ක්‍රියාවිරහිත නියෝන් ලයිට්‌ බෝඩ් ලෑල්ල සහ සමාගම් මැඳුරේ ෆයිල් අංක 43 යටතේ ලියාපදිංචි වෙළඳ සලකුණක්‌ ලෙස ලියාපදිංචි කොට ඇති "දවස" නාමය පමණි. ජාතිය පුබුදුවාලු "දවස" නම්වූ වෙළඳ සලකුණ, වෙළෙඳ මළකුණක්‌ ලෙස මිය යැමට නොදිය යුතු ජාතික සම්පතකි.

වජිර ලියනගේ

Category: ,

sinhala.lakdiva news:
sinhala.lakdiva news

0 comments