රෝහණ විජේවීර අවසානයේ ජීවත් වු රහසිගත ජීවිතය ගැන කතාව....01 - 03.....විජේවීරගේ උලපනේ අත්තනායක බංගලාවට ආගිය ගුරුවරියගේ අනවරණය....

Lanka Journalist | 2:04 PM | 0 comments

අත්තනායක මහත්තයා  නිතරම රතු පාට පොතක්‌ බැලුවා

ජනතා විමුක්‌ති පෙරමුණ නමැති විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයට නායකත්වය ලබාදුන්නේ රෝහණ විජේවීරය. ඒ විවිධ වෙස්‌ ගනිමින් රටේ විවිධ ප්‍රදේශවල සැඟවී ජීවත් වෙමිනි. රෝහණ විජේවීරගේ අවසන් කාලයේ එනම් 1989 වර්ෂයේදී අත්තනායක නමින් ඔහු ජීවත් වූයේ උලපනේ සෙන්ට්‌මේරිස්‌ වතුයායේය. ඔහු පමණක්‌ නොව, ඔහුගේ බිරිඳ සහ දරුවන් ද ඒ හුදකලා වූ සුවිසල් බංගලාවේ ඔහු සමග ජීවත් වූහ.

රට තුළ භීෂණයේ ගිනි දැල් බුර බුරා නැඟුණ ද රෝහණ විජේවීරගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක්‌ ලබාදීමට ඔවුහු පසුබට නොවූහ. ඔවුන් ජීවත් වූ බංගලාවටම ගුරුවරුන් ගෙන්වාගෙන දරුවන්ට අමතර අධ්‍යාපනය ලබාදීමට ද රෝහණ විජේවීර අමතක නොකළේය.

මේ එසේ අත්තනායක පවුලේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට උලපනේ සෙන්ට්‌මේරිස්‌ වත්තේ බංගලාවට ගිය ගුරුවරියකි. මාස හයක්‌ පුරාවට දිනපතා ඒ පවුලේ දරුවන්ට අමතර අධ්‍යාපනය ලබාදුන් ඇය විජේවීර පවුලේ සාමාජිකයන් සමග සමීපව ඇසුරු කළ අයෙකි. රෝහණ විජේවීර ඇතුළු පවුලේ සාමාජිකයන් උලපනේ වත්තේ ගත කළ ජීවිතයේ ඇය දත් තතු "දිවයින"ට මෙසේ හෙළිදරව් කළාය...

ඔබගේ නම? අජන්තා කුමාරි.

ඔබගේ මුල් පදිංචිය කෙහේද?    උලපනේ.

ඔබගේ වෘත්තිය.

මම දැන් රැකියාවක්‌ කරන්නේ නැහැ. විවාහ වෙලා දරුවන් බලාගෙන ගෘහණියක්‌ විදිහට ජීවත් වෙනවා.

එතකොට ඔබ කොහොමද අත්තනායක පවුලේ දරුවන්ට අමතර පන්ති කරන්න යොමුවන්නේ...?

ඒක ටිකක්‌ දිග කතාවක්‌. අපි මුල ඉඳලම කතා කරමු... උසස්‌ පෙළ විභාගය ලියලා ගෙදර ඉන්න කාලේ මාත් එක්‌ක එකට පන්තියේ ඉගෙනගත්ත මගේ යාළුවෙක්‌ අත්තනායක පවුලේ දරුවන්ට ටියුෂන් දෙන්න සෙන්ට්‌මේරිස්‌ වත්තේ බංගලාවට ගිහින් තිබුණා. මගේ යාළුවගේ ගෙවල් තිබුණේ ටිකක්‌ දුර. ඒ කාලේ හිටපු ගමන් බස්‌ දුවන එක නතර කරනවා. ඇඳිරි නීතිය දානවා. මගතොටේ තරුණයෝ ටයර් දාලා පිච්චුවා. ඒ දවස්‌වල ගෙදරින් දොට්‌ට බැහැලා ගිය මිනිහෙක්‌ ආයෙත් ගෙදරට එනකම් ෂුවර් එකක්‌ තිබුණේ නැහැ. මගේ යාළුවට බංගලාවට යන්න එන්න කරදර වුණා. පස්‌සෙ අත්තනායක මහත්තයා කියලා තිබුණා නංගි ඔයාට එන්න යන්න කරදර නිසා දරුවන්ට උගන්වන්න ළඟ පාතකින් ඔයාගේ හිතවතෙක්‌ව හොයා දෙන්න කියලා. එදාම මගේ යාළුවා අපේ ගෙදරට ඇවිත් මට මේ විස්‌තරේ කිව්වා. අපේ ගෙවල් තියෙන්නෙ සෙන්ට්‌මේරිස්‌ වත්තට පයින් ඇවිදගෙන යන දුරින්.

යාළුවගේ යෝජනාවට ඔබ එක පාරටම කැමති වුණාද?

ඔව්... ඒ කාලේ අපේ ගෙදර ගොඩක්‌ ආර්ථික ප්‍රශ්න තිබුණා. ඒක නිසා කීයක්‌ හරි හොයාගන්න ජොබ් එකක්‌ කරන්න ඕනා කියන අදහසින් තමයි මම හිටියේ. ඉතිං ගුරුවරියක්‌ හැටියට ළමයින්ට උගන්වන්න තියෙනව නම් කොච්චර දෙයක්‌ද? මම දෙපාරක්‌ හිතුවේ නැහැ, යාළුවා කියපු දේට කැමති වුණා. අපේ ගමේම නිසා අම්මයි තාත්තයි අකමැති වුණෙත් නැහැ.

ඒ කාලේ ඔබේ තරුණ වයස.. අත්තනායක පවුල ඔබගේ ප්‍රදේශයට පිටින් ඇවිත් විශාල වත්තක බංගලාවක හුදකලාවේ ජීවත් වෙන පවුලක්‌.. ඔබට ඒ නිවසට යන්න බියක්‌, සැකයක්‌ ඇති වුණේ නැද්ද?

මගේ යාළුවා කිව්වා ඒ අය ගොඩක්‌ හොඳ වැදගත් මිනිස්‌සු කියලා. බය නැතිව ගිහිල්ලා ළමයින්ට උගන්වන්න කිව්වා. ඒක නිසා අපි අත්තනායක පවුල ගැන හොයා බැලුවේ නැහැ. සැකයක්‌ හිතුනෙත් නැහැ. අනික මට ඉන්නේ අයියල දෙන්නෙකුයි. මල්ලියෙකුයි. මම ඒ දවස්‌වල කිසිම දේකට බය නැහැ. මගේ අයියලා දෙන්න මා ගැන හොඳට හොයල බැලුවා.

ඒක ලොකු වත්තක්‌ද?

ඔව්.. විශාල වත්තක්‌..

කොහොමද ඒ වත්තේ බංගලාව පිහිටලා තිබුණේ...

කඳු ගැටයක්‌ උඩ හරිම ලස්‌සන තැනක. නිස්‌කලංක පරිසරය. බංගලාවට වාහන යන්න වෙනම පාරක්‌ තිබුණා. පයින් ඇවිදගෙන යන්න පඩිපෙළක්‌ තිබුණා. අපි යන්නෙම ඒ පඩි පෙළ උඩින් තමයි.

සෙන්ට්‌මේරිස්‌ වත්තේ මොනවද වගා කරලා තිබුණේ..

පේන තෙක්‌ මානයම තේ වගාවක්‌ තිබුණේ. ඊට අමතරව විශාල කොස්‌ ගස්‌, වටිනා කියන ගස්‌ වර්ග ගොඩක්‌ තිබුණා.

ඒ බංගලාවට අමතරව ඒ වත්තේ තවත් ගොඩනැඟිලි තිබුණද?

ඒක නම් මම හරියටම දන්නෙ නැහැ... කුකුල් ෆාම් එකක්‌ නම් තිබුණා. කළුකුන් තුන් හතර දෙනෙකුත් හිටියා. කූඩුවක ලොකු බල්ලෙක්‌ හිටියා.

බංගලාව ඇතුළෙ මොනවද තිබුණේ...

ගොඩක්‌ බඩු මුට්‌ටු පුරවගෙන හිටියේ නැහැ. සීමිත බඩු ප්‍රමාණයක්‌ ලස්‌සනට ස්‌ථානගත කරලා තිබුණා. ඒ බඩු තියලා තිබුණු විදිහ දකින ඕනෑම කෙනෙකුට හිතාගන්න පුළුවන් ඒ නිවසේ ජීවත් වන්නේ බුද්ධිමත් මිනිස්‌සු කියලා. පොත් කබඩ්, පුටු මේස, පිඟන් බඩු අවශ්‍ය තැන්වල පිළිවෙළට තියලා තිබුණා. විසිත්ත කාමරයේ ලොකු කවිච්චියක්‌, මේසයක්‌, පුටු කිහිපයක්‌ තිබුණා. කවිච්චියේ තමයි අත්තනායක මහත්තයා ගොඩක්‌ වෙලාවට වාඩි වෙලා හිටියේ. ටී වී එකක්‌ ගේ ඇතුළෙ තියෙනවා කියලා මම දැනගෙන හිටියා. නමුත් විසිත්ත කාමරේ ටී වී එක තිබුණෙ නැහැ. කෑම කාමරේ ෆ්රිඡ් එකක්‌ තිබුණා. ඊට එහාට දෙයක්‌ මම දැක්‌කෙ නැහැ.

ඔබ දැක්‌ක අත්තනායකගේ ස්‌වරූපය කෙබඳුද?

හොඳට රැවුල කපලා, කොණ්‌ඩෙ කොටට කපලා බොහෝම ලස්‌සනට පිළිවෙළට ඇඳ පැළඳගෙන ප්‍රියමනාප විදිහට හිනාවෙලා ඉන්න පුද්ගලයෙක්‌ තමයි මම දැක්‌කේ.

ඔබට හැඟෙන අයුරින් අත්තනායක කොහොම පුද්ගලයෙක්‌ද?

නිහතමානී මනුෂ්‍ය ගතිගුණ තිබුණු පුද්ගලයෙක්‌. ඒ වගේම නිවසේ වැඩ කටයුතු හොඳින් සොයා බලා නිවැරැදිව කළා. ගෙදර වැඩ කරන කෙනෙකුගේ අතක්‌ පයක්‌ තුවාල වෙලා ලේ ටිකක්‌ එනව දැක්‌කත් අත්තනායක මහත්තයා බෙහෙත් දාලා ඒ පුද්ගලයාව එදා දවසම වැඩවලින් නිදහස්‌ කරලා පැත්තකට කරලා තියන තරම් මනුෂ්‍ය හදවත් තිබුණා. ඒ වගේම මට ඔළුව කැක්‌කුමක්‌ හැදුනත් "නංගි ඇයි ඔළුව ගහගෙන ඉන්නේ. අසනීපයක්‌ද" කියලා අහලා පැනඩෝල් එකක්‌ දෙනවා. ටික වෙලාවකින් ඇවිත් අහනවා "දැන් ඔළුවේ කැක්‌කුම අඩු ද" නංගි කියලා. නැහැ කිව්වොත් එවේලේම බංගලාවේ ඩ්‍රයිවර්ට කියනවා මේ නංගිව ගෙදරට ගිහින් ඇරලවලා එන්න කියලා. මට එහෙම සිද්ධි වෙලා තියෙනවා. අත්තනායක මහත්තයාට මිනිසුන්ගේ දුක හොඳට තේරුණා.

අත්තනායක මහත්තයා වේලාවට වැඩ කරන කෙනෙක්‌. හැම වේලාවෙම අතේ ඔරලෝසුවක්‌ බැඳලා හිටියා. මම උදේ බංගලාවට යනකොටත් හැමදාම හොරෙන් ඔරලෝසුව බලනවා. ගොඩක්‌ දවස්‌වලට මට බංගලාව ඇතුළට එන්න ගේට්‌ටුව අරින්නෙත් අත්තනායක මහහ්තයා. අද කාලේ ඉන්න ලොකු ලොක්‌කෝ වගේ මහන්තත්තකමක්‌ ඔළුවට ගහලා තිබුණේ නැහැ.

ඒ වගේම දරුවන්ට පුදුම ආදරයක්‌ තිබුණේ. දරුවන්ගේ අම්මටත් වඩා අත්තනායක මහත්තයා තමයි දරුවන්ගේ සෑම දේම හොයලා බලලා කළේ. ගොඩක්‌ වේලාවට පුංචි දරුව නිදි කරවන්නෙත් එයාම තමයි. ඒ වගේම දරුවන්ට උගන්වන්නත් පුදුම විදිහට මහන්සි වුණා. දරුවන්ට ඉගෙනගන්න ඉංග්‍රීසි, සිංහල පොත්පත් ගොඩක්‌ ගෙනත් දීලා තිබුණා. සමහර පොත් මම දැක්‌කෙත් ඒ බංගලාවේදී. මමත් අත්තනායක මහත්තයාගෙන් ගොඩක්‌ දේවල් ඉගෙන ගත්තා.

මොනවද ඔබ අත්තනායකගෙන් ඉගෙනගත්ත දේවල්?

පියෙකුගෙන් දරුවන්ට විය යුතු යුතුකම්.. ස්‌වාමිපුරුෂයකුගෙන් බිරිඳකට විය යුතුකම් කිසිම අඩුවක්‌ නැතිව අත්තනායක මහත්තයා ඉතාම නිවැරැදිව ඉටු කළා. ඉතිං ඒවා ඉගෙනගන්න දේවල් නෙමෙයිද?

අත්තනායක බංගලාවෙන් පිට ගියේම නැද්ද?

ඉඳල හිටලා තමයි නිවසෙන් එළියට යනවා මම දැක්‌කේ. වැඩියෙන්ම හිටියේ බංගලාවෙම තමයි. හැබැයි මම සතිඅන්ත දවස්‌වලට බංගලාවට ගියේ නැහැ. සෙනසුරාදා ඉරිදා මම නිවාඩු. ඒ දවස්‌වලට එළියට යනවද කියලා මම දන්නෙ නැහැ.

අත්තනායක නිවසට වෙලා මොනවද කළේ..

විශේෂ දෙයක්‌ කළේ නැහැ. පොත්පත් කියෙව්වා. ලොකු රතු පාට පොත් තමයි කියෙව්වෙ. පත්තර බැලුවා. එහෙම නැති වෙලාවට බිම බලාගෙන කල්පනා කර කර මිදුලේ ඇවිදිනවත් මම දැකලා තියෙනවා.

අත්තනායක ගෙදරට වැඩියෙන්ම ඇඳගෙන හිටියේ මොනවද?

නිතරම වගේ ඇඳගෙන හිටියේ සරමයි මේස්‌ බැනියමයි. දිග කලිසමක්‌ ඇඳලා මේස්‌ බැනියම ඇඳගෙන ඉන්න වේලාවලුත් තිබුණා.

අත්තනායක වාහනයක්‌ පාවිච්චි කළාද?

ඔව්... සුදු පාට කොරෝනා වැගන් කාර් එකක්‌ තිබුණා.

අත්තනායකද කාර් එක පදවාගෙන ගියේ...?

නැහැ. මම දැකලා නැහැ අත්තනායක මහත්තයා කාර් එක අරගෙන යනවා.

එතකොට බංගලාවට වෙනම ඩ්‍රයිවර් කෙනෙක්‌ හිටියද?

ඔව්.. අපේ ගමේම කළු මල්ලි කියලා කෙනෙක්‌ තමයි කාර් එකෙ ඩ්‍රයිවර් විදිහට හිටියේ.

කළු මල්ලිගේ නම මොකක්‌ද?

මට මතක නැහැ.. ගෙදර අය නම් හැමෝම එයාට කතා කළේ කළු මල්ලි කියල තමයි.

අත්තනායකගේ බිරිඳව ඔබ හඳුනගත්තේ මොන නමින්ද?

ප්‍රියානි චන්දිමා සමරකෝන් කියලා.

අත්තනායක මහතාගේ බිරිඳගේ ගති පැවතුම් කොහොමද?

කියන්න කිසිම වරදක්‌ නැහැ... හරිම ගුණයහපත්.. ඒ වගේම කවදාවත් රත්තරන් පැළඳගෙන හිටියේ නැති, බොහෝම චාම් ජීවිතයක්‌ ගත කරපු කාන්තාවක්‌. ඒ වගේම මුහුණ සිනහවකින් පුරවගත්ත සුන්දර කාන්තාවක්‌ විදිහට තමයි මම ප්‍රියානි අක්‌කව දැක්‌කෙ. කොණ්‌ඩෙ බ්ලොක්‌ කට්‌ කපලයි හිටියේ. පැහැපත් පිරිපුන් සිරුරක්‌ ඒ අක්‌කට තිබුණා.

ඇයට ඒ වෙනකොට වයස කීයක්‌ විතර ඇද්ද?

මට හිතෙන විදිහට ප්‍රියානි අක්‌කට ඒ වෙනකොට වයස විසිහයක්‌ විතර ඇති.

එතකොට අත්තනායකට වඩා ගොඩක්‌ වයසෙන් බාල කාන්තාවක්‌...

ඔව්.. නමුත් අත්තනායක මහත්තයාටත් එච්චර වයසක්‌ පෙනුනේ නැහැ. එයත් කඩවසම් ගාම්භීර කෙනෙක්‌ විදිහට තමයි මම දක්‌කෙ.

රට පුරා ඇවිලී ගිය භීෂණකාරී වාතාවරණය ගැන අත්තනායකගේ බිරිඳ දැනුවත් වෙලා හිටියා කියලා ඔබ හිතනවාද?

එහෙම කියන්න බැහැ. ඒ අක්‌කට දරුවන්ගෙන් එහාට ලෝකයක්‌ තිබුණෙ නැහැ. දරුවන් වෙනුවෙන්ම කැපවුණු මවක්‌ විදිහටයි මම ඒ අක්‌කව දකින්නෙ.

අත්තනායකගේ බිරිඳ ජීවත් වුණේ කලකිරුණු ස්‌වභාවයකින්ද?

නැහැ... එහෙම දෙයක්‌ මම නම් දැක්‌කෙ නැහැ. දරුවන් පස්‌දෙනාගේ වැඩ කරගෙන හොඳට හිනා වෙලා හිටියා. හැබැයි කල්පනාකාරීව හිටිය වේලාවල් මම දැකලා තියෙනවා. සමහර වේලාවට දරුවන්ට බත් කවනකොට ගොඩාක්‌ වේලා බත් අන අන කල්පනා කරනවා. "අම්මේ බත් කවන්නකෝ" කියනකොට තමයි එයා ගැස්‌සිලා නැවත දරුවන්ට බත් කැව්වේ. එහෙම සිද්ධි නම් මම නිතරම දැකලා තියෙනවා.

අත්තනායක පවුලට දරුවන් කී දෙනෙක්‌ හිටියාද?

පස්‌ දෙනෙක්‌ හිටියා..

ඒ දරුවන්ගේ නම් මතකද?

ඔව්...

ලොකු දරුවා දිපානී චාමලී අත්තනායක, දෙවැනි දරුවා සුරනි විදිෂා අත්තනායක, තුන්වැනි දරුවා මායා විභූති අත්තනායක, සිව්වැනි දරුවා අමා සසිරි අත්තනායක, පුංචි දරුවා පුතෙක්‌. එයාගේ නම උවිඳු විදුර අත්තනායක.

තරංග රත්නවීර
ඡායාරූප - සිරිපාල හල්වල

ජීවිතේ පළමු වතාවට බාස්‌මතී බත් කෑවේ අත්තනායක බංගලාවෙන්... විඡේවීරගේ උලපනේ අත්තනායක බංගලාවට ආ ගිය ගුරුවරියගේ අනාවරණය.... 02


Category: , ,

sinhala.lakdiva news:
sinhala.lakdiva news

0 comments