ජීවිතේ පළමු වතාවට බාස්‌මතී බත් කෑවේ අත්තනායක බංගලාවෙන්... විඡේවීරගේ උලපනේ අත්තනායක බංගලාවට ආ ගිය ගුරුවරියගේ අනාවරණය.... 02

Lanka Journalist | 2:18 PM | 0 comments

* අත්තනායක පවුලට දරුවන් කී දෙනෙක්‌ හිටියාද?

පස්‌ දෙනෙක්‌ හිටියා..

* ඒ දරුවන්ගේ නම් මතකද?  ඔව්...

ලොකු දරුවා දිපානී චාමලී අත්තනායක, දෙවැනි දරුවා සුරනි විදිෂා අත්තනායක, තුන්වැනි දරුවා මායා විභූති අත්තනායක, සිව්වැනි දරුවා අමා සසිරි අත්තනායක, පුංචි දරුවා පුතෙක්‌. එයාගේ නම උවිඳු විදුර අත්තනායක.

* එතකොට මේ දරුවෝ පස්‌ දෙනාම ඉස්‌කෝලේ ගියාද?

නැහැ... නැහැ... වැඩිමහල් දරුවෝ දෙන්න විතරයි ඉස්‌කෝලෙ ගියේ.

* ඒ ළමයි දෙන්නා ගිය පාසල මොකක්‌ද?

උලපනේ මහා විද්‍යාලයට.

* ළමයින්ව ඉස්‌කෝලේ අරගෙන ගියේ අත්තනායකද?

නැහැ.. අංකල් තමයි ළමයින්ව ඉස්‌කෝලෙට අරගෙන ගියේ.. එක්‌කගෙන ආවේ..

* ළමයි දෙන්න පාසලට අරගෙන ගියේ කාර් එකෙන්ද?

නැහැ... අංකල් පයින්ම තමයි දරුවන්ව ඉස්‌කෝලේ අරගෙන ගියේ. වත්තේ බංගලාවේ ඉඳලා මහ දුරක්‌ තිබුණේ නැහැ ඉස්‌කෝලෙට. වත්තෙන් පහළට බැහැපු ගමන් ඉස්‌කෝලේ පේන දුර.

* ඔබ හවස්‌ වරුවේ ද ළමයින්ට උගන්වන්න බංගලාවට ගියේ...?

නැහැ.. මම උදේ අට වෙනකොට බංගලාවේ ඉන්න ඕනා.. තුන්වැනි දරුවා පෙර පාසලකට යෑව්වේ නැහැ. මම තමයි එයාට පෙර පාසල් අධ්‍යාපනය දුන්නේ. මට තාම මතකයි.. ඒ දරුවට අකුරු හුරු කරනකොට දුව පැන ඇවිදින හතර වැනි දරුවත් ඇවිත් පොත්වලින් අදිනවා. එයාටත් අකුරු ලියන්න කියලා දෙන්න කියනවා. ඉතිං එයත් පොත් පැන්සල් අරගෙන කුරුටු ගානවා.


ලොකු ළමයි දෙන්නා ඉස්‌කෝලෙ ඇරිලා ආවට පස්‌සෙ හවස්‌ වරුවේ ඒ දෙන්නට සිංහල විෂයයි ගණන් විෂයයි ඉගැන්නුවේ. ඒ දරුවෝ දෙන්නට ඉගැන්නුවේ වසරක්‌ වැඩි පොත්. මම කවමදාවත් ඒ වගේ බුද්ධිමත් දරුවෝ තුන් දෙනෙක්‌ දැකලා නැහැ. ඕනෑම දෙයක්‌ එක පාරයි කියන්න ඕනා. ඒක මතක ඉන්නවා. සමහර වේලාවට මම කියා දෙන්න ඉස්‌සර වෙලා එයාලා ගණන් හදලා අහනවා මේ හරිද මිස්‌ කියලා.. ඒ තරම් දක්‍ෂයි..

දරුවෝ තුන්දෙනාගේම අත්අකුරු හරිම ලස්‌සනයි. අපි රචනා ලියන්න දුන්නම ලියන්නෙම තාත්තා අම්මා ගැන. පියාගේ රැකියාවට ඒ දරුවෝ දාන්නේ ඉඩම් හිමි වැවිලිකරුවෙක්‌ කියලා.

* පාසල් ගිය දරුවෝ දෙන්නා ඉස්‌කෝලෙ කී වැනි පන්තිවලද ඉගෙනගත්තේ...?

ලොකු දරුවා තුන වසරෙ. දෙවැනි දරුවා දෙක වසරෙ. මට හිතෙන විදිහට මේ දරුවන් පස්‌ දෙනා අතර වයස්‌ පරතරය තිබුණෙ අවුරුද්දෙන් අවුරුද්ද වගෙ තමයි. ඒ වෙන කොට පුංචි දරුවට මාස අටක්‌ විතර ඇති.

* ඉඳහිට හෝ විනෝද ගමනක්‌ ගිය බව ඒ දරුවන් ඔබට කියල තියෙනවද?

එහෙම කවදාවත් කියලා නැහැ.

* ඔබ කිව්වා බංගලාවේ ටෙලිවිෂනයක්‌ තිබුණු බව, ඒ ළමයි ටෙලිවිෂන් බලනවා කියලා ඔබට හැඟුණද?

දරුවෝ ටී වී බැලුවා කියලා මම හිතන්නෙ නැහැ.

* ඒ ළමයින්ට නිදහසක්‌ තිබුණෙ නැහැ කියලද ඔබ කියන්නෙ?

ඇත්තටම ඒ දරුවන්ට නිදහස අඩුයි. වැඩිය සෙල්ලම් කරන්න එහෙම දුන්නෙ නැහැ. ඉස්‌කෝලෙ ඇරිලා ආපු ගමන් ඇඟ පත සෝදගෙන කෑම කෑවාට පස්‌සෙ මම පන්ති පටන් ගන්නවා. පන්ති ඉවර වෙනකොට හවස හතර විතර වෙනවා. ළමයින්ට සෙල්ලම් කරන්න ඉඩක්‌ ලැබුණහම ඒ අයට හරිම සන්තෝෂයි. සමහර වේලාවට ගෙයි තියෙන සුදු ලූණු ගෙඩි ගෙනහල්ලා ඉස්‌සරහ මල් පාත්තිවල හිටවනවා පැළ කරන්න කියලා.

* එතකොට අත්තනායකගේ බිරිඳත් නිවසෙන් එළියට ගියෙම නැද්ද?

නැහැ.. මම ඒ බංගලාවට ගිය එකම දවසක්‌වත් අක්‌කා කොහේවත් යනවා දැකලා නැහැ. අපි හිතුවේ දරුවෝ පුංචි නිසා අක්‌කා එළියට යන්නෙ නැතුව ඇති කියලයි.

* අත්තනායක ඔවුන්ව හිර කරලා තිබුණ බවක්‌ ඔබට හැඟුනෙ නැද්ද?

ඇත්තටම මටත් එහෙම හිතුනා...

* එසේ නම් ඇයි ඔබට මේ මිනිසුන් ගැන සැකයක්‌ ඇති වුණෙ නැත්තේ...?

මොන හේතුවකට එහෙම වුණාද කියලා මටත් ප්‍ර්‍රශ්නයක්‌...

* ඔබ කොච්චර කාලයක්‌ අත්තනායකගේ දරුවන්ට ඉගැන්වීම් කළාද?

මාස 6 ක්‌ විතර.

* ඇයි මාස හයෙන් නැවතුනේ...?

අවුරුදු නිවාඩුවෙන් පස්‌සෙ මට පණිවිඩයක්‌ එවන්නම් කියලා කිව්වා. ඒත් පණිවිඩයක්‌ එව්වේ නැහැ. ඒ නිසා මම අවුරුද්දෙන් පස්‌සෙ ගියේ නැහැ.

* ළමයින්ට ටියුෂන් දෙනවට අත්තනායක ඔබට දීමනාවක්‌ ගෙව්වද?

ඔව්... මට රුපියල් 700 ක මාසික දීමනාවක්‌ එක්‌ක බස්‌ ගාස්‌තු කියලා වෙනම තවත් මුදලක්‌ ගෙව්වා.

* ඔබ මීට පෙර කිව්වා බංගලාවට යන්නෙ පයින් කියලා.. ඇයි ඔබට බස්‌ ගාස්‌තුවක්‌ ගෙව්වේ...?

මගේ යාළුවා ආවේ බස්‌ එකේ නිසා එයාට මාසික දීමනාවට අමතරව බස්‌ ගාස්‌තුවක්‌ දීලා තිබුණනේ. ඒක වෙනස්‌ කරන්නෙ නැතිව මටත් දුන්නා. එච්චර ලොකු මුදලක්‌ නෙමෙයි නේ.

* කීයක්‌ විතරද?

මට ඒක නම් මතක නැහැ..

* ඔබට මාසිකව දෙන දීමනාව නොකඩවා ගෙව්වද?

ඔව්.. හරියටම මාසෙ අන්තිම දවසේ ප්‍රියානි අක්‌කා මම හවසට ගෙදර එන්න හදනකොට සාක්‌කුවේ දාගෙන ඉඳලා සල්ලි දෙනවා.

* අත්තනායකත්, ඔහුගේ බිරිඳත්, දරුවොත් හැර අංකල් කියන කෙනෙක්‌ ගැන ඔබ කිව්වා.. ඒ කවුද?

එයා තමයි ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම ගේන්න කඩේ යන්නෙ. දරුවන් දෙන්නව පාසලට ගෙනියන්නෙ. ගේන්නෙ. වත්තෙපිටියේ සියලුම දේවල් බලා කියාගෙන කළේ ඒ අංකල් තමයි.

* අංකල්ගේ නම මොකක්‌ද?

එයාට හැමෝම කියන්නෙ අංකල් කියලා. මම නම දන්නෙ නැහැ.

* අංකල්ගේ කොහොම චරිතයක්‌ද?

හරිම අහිංක මනුෂ්‍යයෙක්‌. බංගලාවේ අය කියන්නෙ මොනවද ඒක ඒ විදිහටම කරනවා.

* අංකල් උලපනේ ප්‍රදේශයේමද...?

නැහැ. දුර පළාතක කෙනෙක්‌. හැබැයි ගම් පළාත නම් කියන්නෙ නැහැ.

* ඊට අමතර තව අය හිටියද?

ඔව්... අංකල්ට අමතරව අත්තනායක මහත්තයාගේ අම්මා හිටියා. තවත් අක්‌කා කෙනෙක්‌ හිටියා. අම්මා නම් ටිකක්‌ වයසක, දිග් ගවුම් අඳින කාන්තාවක්‌. එයා වැඩිය කාමරෙන් එළියට ආවේ නැහැ.

* අත්තනායක මහත්තයාගෙ අම්මා කොහොම කෙනෙක්‌ද?

හැම වේලාවෙම කල්පනා කර කර සැකෙන් හිටියෙ. ඒක මම හොඳට දැක්‌ක. නමුත් ඇයි එහෙම ඉන්නෙ කියලා කාගෙන්වත් අහන්න බැහැ.

* ඇයි... එහෙම ඇහුවේ නැත්තේ...?

මම ඒ බංගලාවට ගියේ දරුවන්ට උගන්වන්න. ඉතිං මම ගිය වැඩෙ කරනවා මිසක්‌ ගෙදර අයගේ වං හුං මට වැඩක්‌ නැහැනේ.

* අත්තනායකගේ අම්මත් එක්‌ක ඔබ කතා කරලම නැද්ද?

මම කතා කරලා තියෙනවා. ප්‍රියානි අක්‌කයි අත්තනායක මහත්තයයි දෙන්නම අම්මත් එක්‌ක කතා කරනවට කැමැති වුණේ නැහැ. ඒ අය පෙන්නුම් කළේ අම්මට සිහිකල්පනාව මදි වගේ දෙයක්‌. නමුත් අම්මා හරි ආසයි අපිත් එක්‌ක කතා කරන්න. අපිට බාත්රූම් යන්න තිබුණෙ අම්මාගේ කාමරයත් දරුවන්ගේ කාමරත් අතරින්. එතනින් යන වේලාවට "ආ දුවේ" කියලා හොඳට කතා කරලා "පාරෙ බස්‌ දුවනවද, රටේ වෙන්න මොකද" කියලා අපෙන් අහනවා. දැන් මට හිතෙනවා අත්තනායක මහත්තයාගේ අම්මා නම් නිතරම හිටියේ බයෙන් කියලා. කොහොමත් අම්මා කෙනෙක්‌ දරුවෝ කරන දේවල් ගැන සෙවිල්ලෙන්නෙ ඉන්නෙ.

* එතකොට අත්තනායකගේ අම්මා එළියට ආවෙම නැද්ද?

කලාතුරකින් තමයි අම්මා එළියට ඇවිත් ඉන්නවා දැක්‌කෙ...

* ඔබ කිව්වා ඒ බංගලාවේ තවත් අක්‌කා කෙනෙක්‌ හිටියා කියලා. ඒ කවුද?

එයා තමයි උයන පිහින දේවල් කළේ. නිහතමානී කාන්තාවක්‌.. නිකන් ඉන්නෙම නැහැ මොනවහරි කරනවා.

* ඒ කාන්තාව සමඟ ඔබ කතාබහ කර තියෙනවද?

කතා කරලා නම් තියෙනව.. ඒත් අපිට අවශ්‍ය දෙයක්‌ විතරයි. ඊට එහාට කතා කරන්න අපි කාටවත් නිදහසක්‌ තිබුණේ නැහැ..

* ඇයගේ නම මොකක්‌ද?

නම දන්නෙ නැහැ... හැමෝම කිව්වේ අක්‌කා කියලා. ඉතිං මමත් අක්‌කා කියලම කතා කළා.

* ඇයි නිවස ඇතුළෙ වැඩිය කතාබහ කරන්න තහනම් කරලද තිබුණේ..

එහෙම දෙයක්‌ නැහැ... මම දරුවන්ට උගන්වනවා.... ඒ අක්‌කා උයන පිහන කටයුතු කරනවා. ඉතිං අපිට කතා කරන්න වේලාවක්‌ තියෙනවද? නැහැනේ. අනිත් එක අපි නිතරම කතා බහ කරනවාට අත්තනායක මහත්තයාත් ප්‍රියානි අක්‌කත් වැඩිය කැමැති වුණේ නැහැ.

* අංකල්, කළු මල්ලි හැර බංගලාවට වෙනත් අය ආවද?

ඔව්.... හාවා මාමා, මුවා මාමා කියලා දෙන්නෙක්‌ නිතරම ඇවිත් ගියා.. ඒත් ඒ අය නැවතිලා හිටියේ නැහැ.

* හාවා මාමා, මුවා මාමාගේ නම් මොනවද?

මම ඒ අයගේ නම් දන්නේ නැහැ.. දරුවෝ කතා කරන්නේ හාවා මාමා, මුවා මාමා කියලා. ගෙදර අනිත් අය කතා කළෙත් ඒ නම්වලින්ම තමයි.

* ඔවුන් දෙදෙනා මොන වගේ පුද්ගලයන්ද?

එක්‌කෙනක්‌ කඩවසම් තළෙලු උඩු රැවුල තියලා හිටපු කෙනෙක්‌. අනිත් කෙනා කෙට්‌ටු රැව්ල වවලා හිටියේ. ඒ අය එන්නෙ බීප් කෙස්‌ අරගෙන බොහොම වැදගත් විදිහට. දරුවෝ හාවා මාමා කියන කෙනා වත්තේ ලියන මහත්තයා කිව්වා. මුවා මාමා කියන කෙනා සර් කෙනෙක්‌ කියලා තමයි කිව්වේ.

* සර් ආවේ දරුවන්ට අමතර පන්ති කරන්නද?

දරුවන්ට උගන්වන්න නෙමෙයි. එයා තමයි වත්තේ ගිණුම් කටයුතු කරන්නේ කියලා තමයි අපිට කිව්වේ.

* කවුද එහෙම කිව්වේ...?

ප්‍රියානි අක්‌කා දවසක්‌ එහෙම කිව්වා. ඊට පස්‌සෙ අපි ඕවා අහන්න ගියේ නැහැ.

* ඔවුන් බංගලාවට ඇවිත් මොනවද කළේ..?

විශේෂ දෙයක්‌ කළේ නැහැ. ලිපි ගොනුවල වැඩ කරනවා මම දැකලා තියෙනවා.

* ඒ දෙන්න සමග ඔබ කතා කරලා තියෙනවද?

ඔව්... බොහෝම හොඳට අපිත් එක්‌ක කතා කරලා තියෙනවා.

* ඔවුන් බංගලාවට එන්නේ වාහනවලින්ද?

නැහැ. හැමදාම පයින් ආවේ...

ලබන සතියට......

- තරංග රත්නවීර
ඡායාරූප - සිරිපාල හල්වල

Category: , , , ,

sinhala.lakdiva news:
sinhala.lakdiva news

0 comments