මම ජීවත්වීමේ ආසාව අතහැර ගත්තා.... විජේවීරගේ උලපනේ අත්තනායක බංගලාවට ආ - ගිය ගුරුවරියගේ අනාවරණය.... අවසාන කොටස

Lanka Journalist | 2:23 PM | 0 comments

* ඒ දෙන්න සමග ඔබ කතා කරලා තියෙනවද?

ඔව්... බොහෝම හොඳට අපිත් එක්‌ක කතා කරලා තියෙනවා.

* ඔවුන් බංගලාවට එන්නේ වාහනවලින්ද?

නැහැ. හැමදාම පයින් ආවේ...

* ඔවුන් දෙදෙනා සමග අත්තනායක මොනවා හෝ ගැන සාකච්ඡා කරන බවක්‌ ඔබ දැකලා තියෙනවද?

එහෙම දෙයක්‌ නම් මට පෙනිලා නැහැ. දෙන්නම කොළ ගොඩක්‌ තියාගෙන දවසේම වැඩ කරනවා.



* ඊට අමතරව ඔබ ඉන්නකොට බංගලාවට ආවේ කවුද?

එක්‌ දවසක්‌ වත්තෙ හිටවන්න කියලා පළතුරු පැළ අරගෙන කීප දෙනෙක්‌ම ආවා. ඒ ආපු අය අතරින් එක්‌ අයෙක්‌ මට පුංචි ඕගන් එකක්‌ දීලා කිව්වා මේ දරුවන්ට මියුසික්‌ පොඩ්ඩකුත් උගන්වන්න කියලා. "අනේ පානි දුවේ කාලෙකින් දැක්‌කෙ කියලා ලොකු දරුවගේ ඔලුව අතගාලා හොඳට ඉගෙන ගන්න පුතේ" කියලත් කිව්වා. දැන් මට හිතෙනවා එයා නම් ජේවීපී එකේ ලොක්‌කෙක්‌ වෙන්න ඇති කියලා.

* ඒ පිරිස ඇවිත් මොනවද කළේ...?

දවසම වගේ හිටියා.. අත්තනායක මහත්තයයි ඒ අයයි එළියේ පුටු තියාගෙන ගොඩක්‌ වේලා කතා කර කර හිටියා.

* තව කවුද බංගලාවට පිටින් ආවේ...?

මාසෙකට සැරයක්‌ අපේ ගමේ සැලුන් එකේ අයියා ඇවිත් දරුවන්ගේ කොණ්‌ඩ කපලා ගියා. ඊට අමතරව බංගලාවේ අලුත්වැඩියා කටයුතු කරන්න මේසන් බාස්‌වරු ටික දෙනෙක්‌ ඇවිත් ගියා.

* මේසන් බාස්‌වරු බංගලාවේ මොනවද කළේ..?

බංගලාවේ අලුත්වැඩියා කටයුතු කළා. මම යන හැමදාකමත් ඒ බංගලාව කඩනවා, හදනවා. ඉවරයක්‌ නැහැ. කොහෙන් හරි කඩනවා.

* ඇයි එහෙම කඩ කඩ හැදුවේ...?

ඕකම තමයි ඒ දවස්‌වල මටත් තිබුණ ප්‍රශ්නය. එහෙම කියලා මට ඒ ගෙදර අයගෙන් අහන්න බැහැනේ ඇයි ගේ කඩලා හදන්නෙ කියලා. මට නම් හරියට දුක හිතුන මේ හොඳට තියෙන බිත්ති කඩ කඩ හදනකොට. මේ මනුෂ්‍යයා සල්ලි වැඩි වෙලා මෙහෙම කරනවා ඇති කියලා මම සිතින් සිතුවා.

* එතකොට ඒ අලුත්වැඩියා කටයුතු සඳහා මේසන් බාස්‌වරු ඇවිත් හිටියේ පිට පළාත්වලින්ද?

නැහැ.. ගමේ අයම තමයි බංගලාවේ වැඩ කළේ.. ගමේ මිනිස්‌සු හුඟ දෙනෙක්‌ ඒ බංගලාවේ වැඩවලට සම්බන්ධ වෙලා හිටියා. ඒ හැම කෙනෙකුටම දරුවෝ කතා කළෙත් මාමේ, සීයේ කියලා.

* බංගලාවේ වැඩ කරන අයට අත්තනායක හොඳට සැලකුවද?

ඔව්... කිසිම අඩුවක්‌ නොකර සැලකුවා. මට මතකයි මම බංගලාවට යන කාලේ සිංහල අවුරුද්දක්‌ ආවා. ඒ අවුරුද්දෙ බංගලාවේ අලුත්වැඩියා කටයුතු සඳහා සම්බන්ධ වෙලා හිටිය අයටත්, මටත්, මාගේ යාළුවටත්, ඩ්‍රයිවර් මල්ලිටත් බංගලාවටම එන්න කියලා හොඳට සංග්‍රහ කරලා තෑගි බෝගත් දුන්නා.
චිත්‍රාංගනී විජේවීරගේ අවස්ථාවන් කිහිපයක්(1980 සිට 2015)

මට අද වගේ මතකයි. බීම වර්ග කැවිලි වර්ග ට්‍රොaලියක තියාගෙන අත්තනායක මහත්තයාම තමයි තල්ලුකරගෙන ඇවිත් අපිට සංග්‍රහ කළේ.

* මොනවද ඔබලාට දීපු තෑගි බෝග...?

අලුත් ඇඳුම්. අපි දෙන්නට දීලා තිබුණේ ගවුම් රෙදි දෙකක්‌. අනිත් අයට මොනව දීලා තිබුණද කියලා දන්නෙ නැහැ.

* ඒ අවුරුදු පාටියට කවුද තව පිටින් ඇවිත් හිටියේ...?

වෙන කවුරුවත් ඇවිත් හිටියේ නැහැ. අපි ටිකයි ගෙදර අයයි විතරයි හිටියේ.

* බංගලාවේ වෙනත් පාටිවලට ඔබ සම්බන්ධ වුණෙ නැද්ද?

එහෙම පාටි තිබුණේ නැහැ... තව දවසක බංගලාවේ අය එකතුවෙලා පුංචි දරුවගේ උපන්දිනයට කේක්‌ ගෙඩියක්‌ කපලා පොඩි සාදයක්‌ පවත්වලා තිබුණා. එදා නම් මම හිටියේ නැහැ. මගේ යළුවා නම් ඉඳලා තිබුණා.

* එතකොට ඔබලාට දීපු අවුරුදු පාටියට මත්පැන් එහෙම තිබුණෙ නැද්ද?

නැහැ.. නැහැ.. තේ බීම වර්ග විතරයි තිබුණේ.

* අත්තනායක මත්පැන් පාවිච්ච කරන්නෙ නැහැ කියලද ඔබ කියන්නෙ...

අත්තනායක මහත්තයා මත්පැන් පාවිච්චි කරලා ඉන්නවා මම දැකලා නැහැ. නමුත් ඒ බංගලාවේ කාමරයක විවිධ රට බීම වර්ග තැන්පත් කරපු රාක්‌කයක්‌ තිබුණා.

* මත්පැන් බොන්නෙ නැත්නම් රට බීම වර්ග තියාගෙන හිටියේ මොකටද?

ඒක මම දන්නෙ නැහැ. සාමාන්‍යයෙන් ලොකු ගෙවල්වල එහෙම තියෙනවානේ. ඒක නිසා තිබුණද දන්නෙ නැහැ.

* අත්තනායක මහතා දුම්පානය කරනවා ඔබ දැකලා තියෙනවද?

මම දැකලා නැහැ... අත්තනායක මහත්තයා සිගරැට්‌ බොනව තියා බොන එක්‌කෙනෙකුටවත් බංගලාවට එන්න දුන්නේ නැහැ. බංගලාවේ වැඩ කරපු කිසිම කෙනෙක්‌ බීඩි සිගරැට්‌ බොනවා මම දැකලා නැහැ.

* ඔබ බංගලාවේ ඇතුළෙ හැම තැනම ඇවිදලා තියෙනවද...?

නැහැ.. කාමර කිහිපයක්‌ම තිබුණා. මට හැම තැනම ඇවිදින්න බැහැනේ. මම ඉගැන්වීම් කටයුතු කළේ බංගලාව ඉස්‌සරහ පැත්තේ තිබුණු ඕපන් වැරැන්ඩා එකේ. ඒකෙ තමයි අපි හිටියේ. ඊට අමතරව ඉඳල හිටලා දරුවන්ගේ කාමරවලට ගිහින් තියෙනවා. මට හැමදාම බංගලාවෙන් කෑම දුන්නා. කෑම කන්න කෑම කාමරේට යනවා. ගෙයි විසිත්ත කාමරයට අල්ලපු කාමරය තමයි කෑම කාමරය.

* සාමාන්‍යයෙන් බංගලාවකට නිතරම ගැහැණු ළමයෙක්‌ යන එනකොට විවිධ හිරිහැරවලට ලක්‌ වන අවස්‌ථා තියෙනවා. ඔබත් අත්තනායක බංගලාව තුළදී එවැනි අවදානම් අවස්‌ථාවකට මුහුණ දී තිබෙනවාද?

ඇත්ත.. හාමුලා කියන්නේ අමුතු සත්තු ජාතියක්‌ තමයි. හැබැයි මේ ගෙදරට අපි මාස ගානක්‌ ගියා ආවා. බංගලාවේ පිරිමි කවුරුවත් වැරැදි විදිහට අපි දිහා බලලවත් නැහැ. අපිට ලොකු ගෞරවයක්‌ තිබුණා.

* ඔබ වෙනමද කෑම කෑවේ...

නැහැ... දරුවෝ පස්‌දෙනයි ගෙදර සේරම එකම මේසෙක තමයි කෑම කෑවේ. උදේ කෑම, හවසට තේ කිසිම දේකින් අඩුවක්‌ කළේම නැහැ.

* අත්තනායක බංගලාවෙන් කෑම බීම හොඳට ලැබුණද?

ඔව්... තුන්වේලටම මස්‌ හෝ මාළු තිබුණා. මම මස්‌ කන්නෙ නැති නිසා මට වෙනම බිත්තරයක්‌ හදලා තිබුණා. උයන පිහින අක්‌කට බිත්තරයක්‌ හදන්න අමතක වුණු දවසට කෑම මේසෙ වාඩි වුණු ගමන් අත්තනායක මහත්තයා කියනවා "නංගිට බිත්තරයක්‌ හදලා නැහැනේ. ටක්‌ ගාලා බිත්තරයක්‌ හරි හතු ටිකක්‌ හරි හදලා ගන්න" කියලා. ඒවා හදාගෙන එනකම් කවුරුවත් කෑම කන්නෙත් නැහැ.

මම ජීවිතේ පළමු වතාවට බාස්‌මතී බත් කෑවේ ඒ බංගලාවෙන්.. කැකුළු බත්, සුදු බත් කන අපිට බාස්‌මතී බත් කනකොට සැබෑ වෙනසක්‌ දැනුණා. මට ගෙදර අය විහිළු කරන්නත් පටන් ගත්තා බාස්‌මතී බත් කාලා මෙයා ලස්‌සන වෙලා කියලා. මම මස්‌ කන්නෙ නැති නිසා මොන මොන මස්‌ වර්ග තිබුණද කියලා දන්නෙ නැහැ..

* ඒ කියන්නේ තුන්වේලටම බාස්‌මතී ද කෑවේ...

නැහැ... දවසේ එක වේලකට අනිවාර්යෙන්ම බාස්‌මතී බත් තිබුණා.

* ඔබ කියන විදිහට අත්තනායක පවුල සුඛෝපභෝගී ජීවිතයක්‌ ගත කරලා තියෙනවා...

එහෙමම කියන්න බැහැ... අපි ජීවත් වුණු විදිහත් ගමේ අනෙක්‌ මිනිස්‌සු ජීවත් වුණු විදිහත් දකිනකොට ඇත්තටම අත්තනායක පවුලේ උදවිය සුපිරි විදිහට ජීවත් වුණා.

* අත්තනායක බංගලාව ඇතුළෙ විශේෂ දේවල් මොනවද තිබුණේ...?

දරුවන්ගේ කාමරවලත්, කෑම කාමරයෙත් තවත් කාමරයකත් පොත් රාක්‌ක පේන්න තිබුණා. ලොකු රේඩියෝවක්‌ තිබුණා. දුරකථනයක්‌ තිබුණා. නමුත් කොච්චර ෙෆෝන් එක රිං වුණත් කවුරුවත් ඉස්‌සුවේ නැහැ. සමහර වේලාවට මම ලොකු ළමයාට කියනවා අන්න පුතේ කෝල් එකක්‌ කියලා. එතකොට එයා කියනවා "ඔය වැරැදි කෝල් නැන්දෙ එන්නෙ, ඒ නිසා තාත්තා අපිට ෙෆෝන් එක උස්‌සන්න එපා කියලා තියනවා."

* ඔබ දැකලම නැද්ද ෙෆෝන් එක ගන්නවා...

නැහැ මම දැකලම නැහැ.

* බංගලාව ඇතුළෙ විප්ලවකාරී නායකයන්ගේ පින්තූර පේන්න තිබුණද?

මම දැකලා නැහැ. කාමරවල තිබුණද කියලා දන්නෙ නැහැ.

* ඔබ ඒ බංගලාවට ගිය අතරතුර වූ විශේෂ සිදුවීම් මොනවද?

එක දවසක්‌ ලොකු දරුවා "දැන් මම තුනේ වසරෙ නේ. මම කැම්පස්‌ යනකොට මල්ලි අට වසර පන්තියෙ" කියලා ගණන් හදනකොට අත්තනායක මහත්තයයි ප්‍රියානි අක්‌කයි මුහුණට මුහුණ බලා ගත්තා. ඒ වේලාවේ නම් දෙන්නගෙ මුහුණු කළු වෙලා එතැනින් නැඟිටලා ගියා. ඊට පස්‌සෙ මම දැක්‌කා අත්තනායක මහත්තයා එළියෙ වාඩි වෙලා ගොඩක්‌ වෙලා කල්පනා කර කර ඉන්නවා. ඇයි ඒ දෙන්නා එහෙම මූනට මූණ බලා ගත්තෙ කියලා මම එදා එනකොටත් කල්පනා කළා.

* එවැනි සිද්ධි තවත් නැද්ද...?

මේ සිද්ධිය වෙලා තිබුණේ මාගේ යාළුවා ඉන්නකොට, දවසක්‌ මනුෂ්‍යයෙක්‌ ඇවිත් පිත්තල තැටියක්‌ දීලා සල්ලි ඉල්ලා තියෙනවා. ඒ වේලාවේදී නම් අත්තනායක මහත්තයාට ගොඩක්‌ කේන්ති ගිහිල්ලා ඒ මනුෂ්‍යයාව වත්තෙන් පන්නගෙන තිබුණා.

* ඔබ කිව්වා.. අත්තනායක මිනිස්‌සුන්ට හරියට අනුකම්පා කළා කියලා. ඇයි එහෙම නම් ඒ මනුෂ්‍යයව පන්න ගත්තෙ...?

අත්තනායක මහත්තයා බංගලාවේ වැඩ කරන මිනිස්‌සුන්ට හිත රිදෙන්න කිසිම දෙයක්‌ කියනවා මට නම් ඇහිලා නැහැ... මේ සිද්ධිය වෙලා තිබුණෙත් මගේ යාළුවා ඉන්නකොට නේ.. එහෙම කළේ ඇයි කියලා මමත් මගේ යාළුවත් නිතරම කතා කළා.

* අත්තනායක කේන්තියෙන් ඉන්නවා ඔබ දැකලම නැද්ද?

එක දවසක්‌ අත්තනායක මහත්තයා කෙන්තියෙන් ප්‍රියානි අක්‌කට දොස්‌ කියනවා මම දැක්‌කා. ඒ ප්‍රේමදාස මහත්තයා දිවුරුම් දෙන එක ටී වී එකෙන් බලන්න අමතක වෙලා. "මටත් වැඩ නිසා අමතක වුණා කවුරුවත් මතක්‌ කළේ නැහැ නේ" කියලා අත්තනායක කිව්වා. එදා නම් ගොඩක්‌ කෙන්තියෙන් කතා කළේ.

* වෙන මොනවද විශේෂ සිදුවීම්...?

මගේ යාළුවට නර්සිං ඉන්ටව් යන්න ඇවිත් තිබුණා. අත්තනායක මහත්තෙලා සල්ලිකාර උදවියනේ. ලොකු ලොක්‌කොත් අඳුරනවා ඇති කියලා අපි කිව්වා මෙහෙම ඉන්ටව් එකකට යන්න තියෙනවා අපිට පුළුවන් නම් උදව් කරන්න කියලා. හැබැයි ඒකට පැහැදිළි උත්තරයක්‌ දුන්නෙ නැහැ. ඊට පස්‌සේ අපෙන් ඒ ගැන ඇහුවෙත් නැහැ.

මම බංගලාවට ගිය කාලය අතුරතුර ප්‍රියානි අක්‌කාගෙත් පොඩි වෙනසක්‌ වුණා. කොණ්‌ඩෙ බ්ලොක්‌ කට්‌ කපලා ලස්‌සනට කොණ්‌ඩෙ හදාගෙන හිටිය අක්‌කා අපි අවුරුද්දට යනකොට කොණ්‌ඩෙ කොටට කපලා කොණ්‌ඩ මෝස්‌තරය වෙනස්‌ කරගෙන හිටියා. අපි ඇහුවා "ඇයි අක්‌කෙ ලස්‌සනට තිබුණු කොණ්‌ඩෙ කපා දැම්මේ කියලා." එතකොට ප්‍රියානි අක්‌කා කිව්වා හැමදාම ලස්‌සනට ඉඳලා බැහැනේ නංගි.. කැතටත් ඉන්න එපෑ... කියලා සිනා වෙලා කතාව මගහැරියා.

* අත්තනායක පවුල උලපනේට ඇවිත් තිබුණේ කොහේ ඉඳලද?

හරි තැනක්‌ කිව්වේ නැහැ. ලොකු දුව කිව්වේ අපි කළුතර ඉඳලා ආවා කියලා. ප්‍රියානි අක්‌කත් දවසක්‌ මාත් එක්‌ක කිව්වා ඒ අයගේ මුල් පදිංචි කළුතර කියලා. ඒත් දරුවෝ කිව්වා කවමදාකවත් මුහුද දැකලා නැහැ නැන්දෙ කියලා. ඒ වේලාවේ මට හිතුන ඇයි කළුතර ඉඳලත් මේ දරුවෝ මුහුද දැකලා නැහැ කියන්නේ කියලා. ඒත් ඉතිං මම ඕවා අහන්න ගියේ නැහැ. හැබැයි ඒ දරුවන්ව කොහෙවත් අරගෙන ගිය බවක්‌ නම් පෙනුනෙ නැහැ. රටේ තොටේ ඇවිඳලා නැති බව නම් ඒ දරුවෝ කතා කරනකොට හොදට තේරුණා.

* අත්තනායක පවුල සෙන්ට්‌මේරිස්‌ වත්තේ බංගලාවේ හිටියේ කුලියටද?

මම දන්න විදිහටත්, ගමේ කට කතා අනුවත් ඒ වත්ත අත්තනායක මහත්තයා සල්ලිවලටම අරගෙන තිබුණා.

* ඒ වත්තේ මුල් අයිතිකාරයන්ව ඔබ දන්නවද?

ඩිරාම් මහත්තයාගේ පුතාගේ වත්ත කියලා තමයි අපි නම් දැනගෙන හිටියේ. ගමේ මිනිස්‌සු ඒකට කියන්නෙ ඩිරාම් බංගලාව කියලා. නමුත් ඩිරාම් මහත්තයාගේ වත්ත ඊට අල්ලපු වත්ත.

* රෝහණ විජේවීරව උලපනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා කියලා දැනගත්තේ කොහොමද?

ගුවන් විදුලියේ රාත්‍රි ප්‍රවෘත්තිවලට කිව්වට පස්‌සෙ..

* ගුවන් විදුලියෙන් දැනුම් දෙන්න පෙර ගමේ කටකතාවක්‌වත් ගියේ නැද්ද?

නැහැ... ගුවන් විදුලියේ ප්‍රවෘත්තිවලට කිව්වට පස්‌සෙත් අපි හිතුවේ ජේවීපී කරදර ගොඩක්‌ තිබුණ උලපනේවත්තේ ඉඳලා අත්අඩංගුවට අරගෙන ඇති කියලා. උලපනේ වත්ත පැත්තෙන් තමයි ගොඩක්‌ම තරුණයන්ව ඒ දවස්‌වල අත්අඩංගුවට අරගෙන මරලා දැම්මේ.

* කොහොමද අත්තනායකව අත්අඩංගුවට ගත්තා කියලා දැනගත්තේ...?

දවස්‌ දෙක තුනකට පස්‌සෙ මමයි අම්මයි කඩේකට යනකොට අසල්වැසි නැන්දා කෙනෙක්‌ කිව්වා අනේ දෝනි.. ඔයා උගන්වන්න ගිය වත්තේ මහත්තයාවනේ අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ කියලා.

* ඒ වේලාවේ ඔබට දැනුණු හැඟීම් කෙබඳුද?

අම්මෝ... ඒ සිද්ධිය මතක්‌ වෙනකොට දැනුත් මගේ ඇඟේ හිරුගඩු පිපෙනවා. මම ජීවත් වීමට තිබූ ආසාව අත්හැර ගත්තා. වාහන ශබ්දයක්‌ එනකොට පපුව ගැහෙන්න පටන් ගත්තා. මොනව කරන්නද එන ඕන දේකට මුහුණ දෙනවා කියලා හිතාගෙන හිටියා.

* පොලිසියෙන් ඔබව අත්අඩංගුවට ගත්තද?

නැහැ... හැබැයි අපේ ගෙදරට පොලිසියෙන් හය හත්දෙනෙක්‌ ඇවිත් මගෙන් එක එක ප්‍රශ්න ඇහුවා. මම බය නැතිව ඒ අය අහන ප්‍රශ්නවලට උත්තර දුන්නා. ඒ වේලාවේ ඒ කණ්‌ඩායමේ හිටපු ලොකු මහත්තයා කිව්වා මේ ළමයින්ව අරගෙන ගිහින් වැඩක්‌ නැහැ.. මේ ළමයි ඇත්ත කියන්නෙ කියලා. අන්න එතකොටයි මගේ ඇඟට පණක්‌ ආවේ. ඒත් ටික දවසක්‌ යනකම් බයෙන් තමයි ජීවත් වුණේ. මගෙන් විතරක්‌ නෙමෙයි මගේ යාළුවගෙනුත් කටඋත්තර අරගෙන තිබුණා.

* පොලිසිය ඔබෙන් මොනවද ඇහුවේ...?

දරුවන් ගැන ඇහුවා. බංගලාවට ආව ගිය හාවා මාමා, මුවා මාමා ගැන ඇහුවා. එක එක කතා ඇහුවා. පැළ අරන් ආපු පිරිස ගැන ගොඩක්‌ විස්‌තර ඇහුවා. මම දන්න දේවල් සේරම කිව්වා.

* මේ සිද්ධිය ඔබගේ මව්පියන්ට, සහෝදරයන්ට දැනුනේ කෙසේද?

ඒ කාලේ මතක්‌ වෙනකොටත් දුකයි. මේ සිද්ධියෙන් පස්‌සේ භීෂණය පහව යනකම් අපේ අම්මා හරියට බත් වේලක්‌ කෑවේවත් නැහැ. ඒ අය රෑට නිදාගත්තේ නැහැ. වාහන ශබ්දයක්‌ එනකොට නැගිටලා බලනවා. ඒ වගේම තමයි මගේ අයියලත් මට කොහේවත් යන්න දුන්නේ නැහැ. ගෙදර අය කොච්චර බය වෙලා හිටියද කිව්වොත් හැමෝම වැල් කූරු වගේ කෙට්‌ටු වුණා.

* මේ සිද්ධියෙන් පස්‌සේ ගමේ මිනිස්‌සු මොන වගේ ප්‍රතිචාරයක්‌ද දැක්‌වූවේ...?

අපේ පවුලට ගමේ මිනිස්‌සු ගොඩක්‌ ආදරෙයි. ඒ අය හැමෝම මේ සිද්ධියත් සමග මා ගැන බයෙන් හිටියේ. හැමෝම ගෙදරට ඇවිත් "අනේ අක්‌කෙ දොaනිව හොඳට පරිස්‌සම් කරගන්න. තවම කරදර ඉවර වෙලා නැහැ. ඊයේ රෑත් වත්ත පැත්තෙන් තරුණයෙක්‌ව අරගෙන ගිහින් තිබුණා කියලා කියනවා. ගමේ අය හැමෝම වගේ මේ සිද්ධි ගැන බයෙන් හිටියේ.

* ඒ භීෂණ කාලේ ගැන ඔබට තියෙන්නෙ මොන වගේ හැඟීමක්‌ද?

ඒ කාලේ ගැන මතක්‌ කරනවටවත් මම නම් කැමැති නැහැ.. ඇත්තෙන්ම ඒ රටේ අපලයක්‌ ගෙවුණු කාලයක්‌. අපි උදේට පාරෙ යනකොට දකිනවා රෑ මරලා ටයර්වල දාපු තරුණයන්ගේ මළ සිරුරු. සමහරක්‌ ඒවා පිච්චිලත් නැහැ. බයත් හිතෙනවා. අපි පාරෙ ඇවිද්දා නෙමෙයි දිව්වා.

ඒ දවස්‌වල අපිට තිබුණෙ පුංචි ගෙයක්‌.. සමහර දවස්‌වලට මමයි අම්මායි රෑට ගෙයි කවුළුවලින් බලාගෙන ඉඳලා තියෙනවා කොල්ලන්ව ගෙනල්ලා වෙඩි තියලා මරලා දානවා. අන්තිමට උලපනේ ඉස්‌කොලේ ළඟ පැහැපත් තරුණයෙක්‌ව වෙඩි තියලා මරලා දලා තිබුණාලු. අපි නම් බලන්න ගියේ නැහැ. ඒ දින දෙක තුනකට පස්‌සෙ තමයි වත්තේ බංගලාවේ ඉඳලා විජේවීරව අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ. ගමේ කතාවකුත් ගියා ඒ තරුණයගෙන් තමයි විජේවීර ඉන්න තැන දැනගෙන තියෙන්නෙ කියලත්.

* රෝහණ විජේවීර කියන පුද්ගලයාව ඔබ නොදැන හෝ මාස ගාණක්‌ සමීපව කතාබහ කළා. ඔබ විජේවීරව දකින්නෙ කෙසේද?

ඇත්තටම හොඳ මනුෂ්‍යයෙක්‌. ජවිපෙ සංවිධානය ඇතුළේ තීරණ ගත්තෙ රෝහණ විජේවීර විතරක්‌ නෙමෙයිනේ. කණ්‌ඩායමක්‌ විදිහට තීරණ ගන්න අවස්‌ථා තියෙන්න ඇති. එහෙම වුණාම අනිත් නායකයන්ගේ විවිධ මතිමතාන්තරවලට වීජේවීරටත් එකඟ වෙන්න වෙන්න ඇති. නැතුව විජේවීර කියන්නේ කෲර නායකයෙක්‌ නෙමෙයි. මිනිසුන්ගේ දුක හඳුනන මිනිසුන්ගේ දුකට පිහිට වෙන පුද්ගලයෙක්‌. ඔහුගේ ඒ ගතිගුණ මම හොඳට දැකලා තියෙනවා.

* අත්තනායක පවුලේ දරුවන්ට උගන්වන්න යන අතරතුර කාලෙදී අත්තනායක නමින් ඉන්නේ විජේවීර කියලා දැනගත්ත නම් ඔබ ගන්න තීරණය කෙබඳුද?

මට නම් හිතා ගන්නවත් බැහැ...

* එදා ඔබ තරුණියක්‌ හැටියට විජේවීරගේ දර්ශනයට කැමැත්තක්‌ තිබුණද?

නැහැ... ඒ කැරැල්ලට සම්බන්ධ තරුණයන්ව මරා දාපු විදිහට ඇත්තටම අපි පුදුම භීතියකින් හිටියේ..

තරංග රත්නවීර

Category: , , , , ,

sinhala.lakdiva news:
sinhala.lakdiva news

0 comments