එදා සීගිරි චිත‍්‍රවලට තාර ගෑ හැටි...

Lanka Journalist | 2:50 PM | 0 comments

ඈත අහස් කුසට විහිදී ඇති සීගිරි මහා මේ කුල ප‍්‍රතාපවත් යෝධයෙක් ලෙස නැගී සිටී. සවස් යාමය වන තෙක්ම, සීගිරිය අවට පරිසරය උඳුනක් මෙන් රත් වී ඇත. වර්ෂ 1967 ඔක්තෝම්බර් 14 වැනිදා උදෑසනට ලාහිරු රැසින් පරිසරය වෙලාගෙන තිබිණි. මීදුමෙන් සීගිරි පව්වද වැසී ගොස්ය. සුපුරුදු පරිදි, උදේ 7.10ට පමණ මා සීගිරි විදුහල වෙත පිය නැගුවෙමි.

දඹුල්ල ප‍්‍රදේශයට ගුරු පත්වීමක් ලද ප‍්‍රථම උපාධිධරයා ලෙස මම සීගිරි විදුහලේ වැඩ බාර ගත්තේ 1966 අගෝස්තු මාසයේදීය. එවකට එම පාසලේ ගුරු මඩුල්ල හය දෙනකුට සීමා විය. ශිෂ්‍ය-ශිෂ්‍යාවන් ගණන 150ක් පමණය. සීගිරිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවක මහත්ම මහත්මීන්ගේ දරුවන්ය මේම විදුහලේ ඉගෙනුම ලබන්නේ. ජ්‍යෙෂ්ඨ සහතික පත‍්‍ර පන්තිය දක්වා පන්ති පැවැත්වුණි. මෙම විදුහලේ සිසු සිසුවියන් ඉතාමත් අසීරුතා මැද අධ්‍යාපනය ලැබීය. ඇතැම් දිනවල පාසලට පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාව පහත වැටේ. හේතුව සීගිරිය ගමට වැටෙන කැලෑවෙන් වට වී ඇති පාරවල් වල අලි අරක්ගෙන සිටින නිසාය.

ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉගෙනුම ලබන, බොහෝ සිසුන් පිදුරන්ගල, තල්කොටේ, කායංවල, කිඹිස්ස, රොටවැව සහ ඉනාමළුව ආදි ගම් වල සිට සීගිරි මහා විදුහලට පැමිණේ. මේ අහිංසක දරුවන් විනය ගරුකය. ඉගෙනීමට දක්වන්නේ ද බලවත් ආශාවකි. විදුහල්පති වික‍්‍රමසිංහ මහතා ඇතුළු ගුරු මඩුල්ල ද කැපවීමෙන් මෙම දරුවන්ට සිප් සතර කියා දුන්හ.

උදෑසන මා පාසලට පියනගන විට, මගේ පන්තියේ ශිෂ්‍යයෙක් වූ උක්කු බණ්ඩා, වේගයෙන් තම බයිසිකලය පදවාගෙන අවුත්, කලබලයෙන් මා ඉදිරිපිට බයිසිකලය නතර කළේය.

”අනේ සර්, ඊයේ රාත‍්‍රියේ සීගිරි බිතු සිතුවම් විනාශ කරලා. සමහර ඒවා කඩල දමලලූ. සමහර ඒවට ලැකර් ගාලලූ. හරිම අපරාධයක්.” මහත් කම්පාවෙන් උක්කු බණ්ඩා පැවසීය.

මෙම පුවත අසා මමද මොහොතකට ගොළු වීමි. ප‍්‍රකෘති තත්ත්වයට පැමිණි පසුව, උක්කු බණ්ඩා සමග ඔහුගේ බයිසිකලයෙන්ම, සීගිරි කඳු පාමුලට ගොස් සීගිරිය නැග්ගෙමි.

වේලාව උදේ 7.45ට පමණ ඇත. දිනය 1967 ඔක්තෝම්බර් 14 වැනිදායි. ඊට පෙර දා මා සීගිරිය නැග්ගේ සීගිරියට පැමිණි වයස අවුරුදු 80ක් පමණ වූ ඇමෙරිකානු ජාතික මාතාවක් වූ ඇන්ඩර්සන් මහත්මිය සමගය. සීගිරිය තානායමේ නතර වී සිටි ඇයව, මා හට හඳුන්වාදුන්නේ, සීගිරිය තානායම් පාලක, ඒ.ඩබ්ලිව්.පී. රණසිංහ මහතා විසින්ය. එතුමා ඉතා කරුණාවන්ත, ඉතාමත් දක්ෂ ලෙස ඉංග‍්‍රීසි බස් වහර හසුරුවන අති දක්ෂ තානායම් පාලකවරයෙකි. ඉතාමත් සුන්දර මහත්මයෙකි. සහකාර කළමනාකාරු සමරනායක මහතා ද ඉතාමත් කාරුණිකය. ඔවුනගෙන් ද පාසලට ලැබුණේ නොමද සහයකි.

අප දෙදෙනා සීගරිය නැග්ගේ සවස 4.30ට පමණය. ඈතින් ඉර බැස යන අන්දම අපි සීගිරි කඳු මුදුනේ සිට නැරඹුවෙමු.

”ඈපාසිංහ මහත්තයා, මා ලෝකයේ රටවල් රැුසකට ගොස් තිබෙනවා. ඔබේ රටේ සීගිරිය තරම් මගේ සිත්ගත්, මනස්කාන්ත, තවත් තැනක් මා දැකලා නැහැ. මා අජන්තා සහ වෙල්ලෝරා චිත‍්‍ර දැක තිබෙනවා. මා විශ්වාස කරන්නේ මේ සීගිරි බිතු සිතුවම්, ඉන්දීය චිත‍්‍රවලට වඩා රමණීයයි. අගෙයි කියලා. ඒවා ජීවමාන සුර ලඳුන් වගෙයි. එමෙන්ම, සීගිරිය මුදුනේ සිට සවස් යාමයේ මා දුටු ඒ මනස්කාන්ත දර්ශනය, ලෝකයේ මෙතෙක් මා දැක ඇති අපූරුම සිත්තමයි. එය, මගේ ජීවිතයට අමතක වන්නේ නැහැ. ඔබ මට තේරුම් කරදුන්, කැටපත් පවුරේ එක කවියකින් ඔබ පැහැදිලි කළේ පැමිණි බොහෝ දෙනා ගී සටහන් තැබූ බවයි. ඒ පුද්ගලයා කවියක් සටහන් නොකළ බවයි. ඒ කවියා මෙන් සීගිරි බිතු සිතුවම් වලින් මත් වුනු මා ද ඒ ගැන අදහසක් දක්වන්නේ නැහැ. මෙය මා දුටු අරුම පුදුම ස්වභාව ධර්මයෙන් නිම වුණු ලොව විශිෂ්ට කලාගාරයක් ලෙස ඇන්ඩර්සන් මහත්මිය ප‍්‍රකාශ කළාය.

සීගිරි බිතු සිතුවම් ගැන විවිධ අර්ථ සමග අදහස් ද අසා ඇත්තෙමු. සීගිරිය හා බැඳී ඇති ශ්‍රේෂ්ඨ නාමයක් වූ පුරා විද්‍යාඥ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින්, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, ආචාර්ය රාජා ද සිල්වා, මහාචාර්ය විනී විතාරණ ශූරීන් ආදී විද්වතුන් මෙම සුරූපී ලලනාවන් ගැන විවිධ මත ප‍්‍රකාශ කොට ඇත. විජ්ජුලතා, මේඝලතා, අප්සරාවන්, පිදුරන්ගල වඳින්නට යන සීගිරි ලඳුන් වශයෙන් මොවුන් මෙම සුරූපී ලඳුන් හඳුන්වා දී තිබේ.

සීගිරිය ජාත්‍යන්තර තලයට රැගෙන ගියේද මෙම බිතු සිතුවම්ය. ලොව මහා පඬිවරුන්, කලාකරුවන් වසර ගණනක් මුළුල්ලේ මෙම ආශ්චර්යවත් බිතු සිතුවම් වලින් වශී විණි.

ශ්‍රී ලංකා කලා ඉතිහාසයේ ”මහා කළු පැල්ලම” අධම, ම්ලේච්ඡු නරුමයන් විසින් තබන ලද්දේ 1967 ඔක්තෝම්බර් 13 සහ 14 වැනිදා එළිවන යාමයේදීය. මෙය සහගහණ අපරාදයකි. අපගේ ජාතියටම මෙය මහා කැළලකි. අවාසනාවකට මෙන් තවමත් මෙම සාහසික අපරාධය කවුරු විසින් කුමක් අරබයා කරන ලද්දක් බව මේ දක්වා සොයාගෙන නැත.

1967 ඔක්තෝම්බර් 14 වැනිදා උදෑසන 7.45ට පමණ බිතු සිතුවම් තිබෙන කුටියට මම නැග්ගෙමි. එහි ගේට්ටුව වසා තිබිණ. බර කල්පනාවක නියැලී සිටින සීගිරිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මා හිතවත් ආර්.බී. මුනේගොඩ මහතා එහි විය. යකඩ උලකින් ඇණ බිම හෙලා තිබුණ චිත‍්‍රවල තිබුණු පස්වල එකී චිත‍්‍රවල පාට පාට වර්ණ මුසු වී තිබිණ.

ඒ සුන්දර, මනස්කාන්ත චිත‍්‍ර කීපයකම සුරූපී මුහුණු වල කොළ පැහැති තීන්ත ගා තිබිණ. මෙම ස්ථානය නැරඹූ ”ප‍්‍රථම පිටස්තරයා” වූයේ මමයි.

පාසල් ගමන නතර කොට, මා කෙළින්ම ගියේ සීගිරි තානායමටය. දෙබරයකට ගල් ගැහුවාක් මෙන් විශාල පිරිස් සීගිරියට ඇදී එන්නට පටන්ගෙන තිබුණි. මේ අතර, පොලිස් නිලධාරීන් රැුසක් ද විය. මොවුන් පැමිණ සිටියේ දඹුල්ල පොලිස් ස්ථානයේ සිටය.

එකල අද මෙන් ජංගම දුරකතන නොතිබිණ. පැයක් දෙකක් තිස්සේ උත්සාහ කොට, සිගරි තානායමේ දුරකතනයෙන් පුවත්පත් ආයතනයක කතු මඩුල්ලට ”කෝල්” එකක් ලබාගත්තෙමි. ප‍්‍රවෘත්ති කර්තෘ යූ.එල්.ඞී. චන්ද්‍රතිලක මහතා, මගේ කටහඬ එකවරම හඳුනාගත්තේය. මා වසර ගණනක්ම එම පත්තරවලට අනුයුක්තව කටයුතු කළ බැවින්ය.

සීගිරි විනාශය ගැන තොරතුරු මා චන්ද්‍රතිලක මහතාට ප‍්‍රකාශ කෙරුවෙමි. ”ඈපා, පොඞ්ඩක් ඉන්න” චන්ද්‍රතිලක මහතා ද කලබලයෙන් ”වෙත්තේ, වෙත්තේ” කියා කෑගහනවා මට ඇසිණ. ”මෙන්න, මිස්ටර් වෙත්තසිංහ ඉන්නවා. ඔහුට විස්තරය කියන්න.” මේ වන විට යාබද කර්තෘ මණ්ඩලයට ද පුවත විකාෂණය වී අවසන්ය. එම පත‍්‍රයේ කර්තෘ සිසිල් ග‍්‍රැහැම් මහතා ද මගෙන් තොරතුරු අසා ගත්තේය. මම, වෙත්තසිංහ මහතාට අවසානය මෙසේ පැවසුවෙමි.

”මිස්ට වෙත්තසිංහ, කරුණාකර, ඡුායාරූප ශිල්පියෙක් හා වාර්තාකරුවෙක් වහාම එවන්න. මා රෙස්ට් හවුස් එකේ ඉන්නවා.”
අතට ගත් වැලිදෝතක් අතින් නොරඳන තරම් ගිනි අඟුරක් සේ රත්වුණු කර්කෂ සීගිරිය අවට පෙදෙස ගින්නෙන් දාගිය හේනක් වැන්න. සවස් කාලය එළඹියේය. ගතට හා සිතට සුවයක් ගෙනදෙමින්ය.  සවස 7.00ට පමණ එම පුවත්පතේ දයාසේන ගුණසිංහ මහතාත්, ශ්‍රී ලංකා විශිෂ්ටතම ඡායාරූප ශිල්පියෙක් වූ වොලි පෙරේරා මහතාත් සීගිරියට ළඟාවූහ.

පසුදා උදෑසනම අප තිදෙනා සීගිරිය නැග්ගෙමු. නුගේතොට මහතා උත්සාහ කළේ ඡායාරූප ගැනීම වළක්වාලීමටය. එදිනම මා කතා කළ පුවත් පත් දෙකේ මගේ පුවත පොල්ගෙඩි අකුරෙන් යුක්ත හෙඩිමක් සමග පළ වී තිබිණ. එම සිංහල පුවත්පතේ හෙඩිම වූ මේ ”සීගිරිය විනාශයි” යන්නය.

නුගේතොට මහතා සමග අප කතාවට වැටුණි. ”මිස්ට නුගේතොට, මේක ජාත්‍යන්තර පුවතක්. මේක අපට හංගන්න බැහැ. කරුණාකර ඡායාරූප ගන්නත්, මේ කරුණු වාර්තා කිරීමටත් අපට ඉඩ දෙන්න.

ප‍්‍රතාපවත්, ඔදවත් තෙදවන් වොලී පෙරේරා මහතාගේ ඉල්ලීමට නුගේතොට මහතා අවසර දුන්නේය.

එදා සිකුරාදා දවසකි. දහවල් 11ට පමණ අපි සීගිරියෙන් පිටත්වුනෙමු. වාහනය පැදවූයේ අප හිතවත් ආරියරත්නය. ෂූමාකර් මෝටර් රථ ධාවන සූරයා මෙන්, වේගයෙන් එමෙන්ම පරෙස්සමෙන් රිය පැද වූ අපි සවස 3.30ට ප‍්‍රථම පත්තර ආයතනයට ළඟා වීමු.

ධර්මපාල වෙත්තසිංහ මහතාත්, සිසිල් ග‍්‍රැහැම් මහතාත් මට බෙහෙවින්ම ස්තූතිය පළ කළේ මෙම ”ජාත්‍යන්තදුර පුවත” ලොවට මුලින්ම ගෙන ආවේ එම පුවත්පත් වලින් බැවින්ය. 1967 ඔක්තෝම්බර් මාසයේ වාර්තාකරුවකුට හිමි වන ත්‍යාගය ද මට පිරිනමන ලදී.

කොළඹට පැමිණි විගසම වෙත්තසිංහ මහතා මට රාජකාරියක් පැවරීය. ඈපාසිංහ, දැන්මම යනවා පරණවිතාන මහත්තයා හම්බවෙන්න. එතුමාගෙන් මේ පිළිබඳ අදහස් ලබාගෙන විශේෂ ලිපියක් ලියනවා.

ආයතනයේ වාහනයකින් මම සෙනරත් පරණවිතාන ශූරින්ගේ නුගේගොඩ නිවසට ගියෙමි.

විශ්වවිද්‍යාල දේශන කීපයකට එතුමා සහභාගි වුණු බැවින්, විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙක් ලෙස එතුමා මා දැන හඳුනාගෙන සිටියෙමි. එතුමා ”ඈපාසිංහ” යන නමටද කැමැත්තක් දැක්වූයේ ”ඈ” යන්න වෙනත් භාෂාවල නොමැති බවද පවසමින්ය.
අපි කතාව ඇරඹුවෙමු.

ඈපාසිංහ, සීගිරිය මා රැුක්කේ මගේ ඇස්දෙක වගේ. මගේ කාලයේදී, බිතු සිතුවම්, කුරුටු ගී සහිත තාප්පය ආරක්ෂා කරන්න මා දිවා රාත‍්‍රියේ මුරකරුවන් යෙදුවා. මොකද මේවා අපට තිබෙන වටිනාම ජාතික වස්තුන් නිසා. අවාසනාවකට, මේ කාලේ රාත‍්‍රියේ මුරකරුවන් යොදාවලා නැහැ. මෙය, හරි අපරාධයක්. මා දන්නේ නැහැ මොන හිතකින් මේ වාගේ මහා අපරාධයක් කෙරුවද කියලා”. මේ මහා ප‍්‍රාඥයා පැවසීය.

සිද්ධියෙන් දින හතරකට පමණ පසුව, අධ්‍යාපන අමාත්‍ය අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා, සෙනරත් පරණවිතාන මහතා ද සමග සීගිරියට පැමිණියේය.

”පරණවිතාන දෙයියා සීගිරියට එන දවසට වහිනවා” යයි සීගිරියේ ගැමියන් අතර විශ්වාසයක් තිබුණි. එය අකුරටම සනාථ කරමින් එදින සීගිරියට වැසි ලැබුණි.

එදා රජයේ උනන්දුව හා උත්සාහය නිසා, මෙම චිත‍්‍ර යළිත් සංරක්ෂණය කරන්නට ඉතාලියෙන් ලූසියානෝ මැරන්සි නම් විද්‍යාඥයෙක් ශ්‍රී ලංකාවට කැඳවන ලදී. නියෝජ්‍ය පුරාවිද්‍යා කොමසාරිස් ධූරය එවකට දැරූ විද්‍යාඥ ආචාර්ය රාජා ද සිල්වා මහතා සහ ලූසියානෝ මැරන්සි (Luciano Maranzi) දෙදෙනාගේ අප‍්‍රතිහත ධෛර්යය සහ ව්‍යායාමය නිසා, යළිත් සීගිරි ලලනාවන් නැරඹීමේ භාග්‍ය අපට උදා විණ.

”සීගිරි විනාශය” 20 වැනි සියවසේ කලා ක්ෂේත‍්‍රයේ සිදුවුණු මහා ඛේදවාචකය ලෙස හැඳින්විය හැකිය.


ශාස්ත‍්‍රශූරී පේ‍්‍රමසර ඈපාසිංහ

Category: , , , , , ,

sinhala.lakdiva news:
sinhala.lakdiva news

0 comments