සැමියා විසින් අතින් අතට යැවූ බිරිඳකගේ කතාව

Lanka Journalist | 1:59 PM | 0 comments

සල්ලි දෙවියන්ගේ මල්ලී යයි අප අසා තිබුණේ අතීතයේදීය. වර්තමානයේ සල්ලි දෙවියන්ගේ අප්පා යයි මට සිතේ. මිල මුදල් පසුපස හඹා යන ආර්ථික රාමුවක් තුළ ඇයට උඩුගම් බලා යෑමට හැකි වූයේ නම් ඇයද ඔබ මම මෙන්ම සතුටෙන් සැහැල්ලූවෙන් ජීවත් වෙනවා නොඅනුමානය.

ස්ත‍්‍රීත්වයට ලංසු තබන සෙල්ලංකාරයන් අතර වැඩවසම් යුගයේ රැජිනක් සේ රැකගත් ගැහැනිය කඩ වීදියේ බඩුවක් ලෙස මිල වන්නේ දුප්පත්කම කරපින්නාගෙන උපන් කරුමයටය. එසේ විකිණෙන ගැහැනියට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවන්නේ සමාජ රෝගකාරයක් බවටද පත්වෙමිනි.
‘‘ඒඞ්ස්’’ නම ඇසූ පමණින් ඔබ පසුපසට ඇදීයන රෝගයකි. ඔබ පසුපසට ඇදී ගියද ඇය සියල්ල විඳදරාගනිමින් ඉදිරියට යා යුතුය.

කොළඹ ප‍්‍රදේශයේ එක්තරා රෝහල් සායනයකදී දින කිහිපයක වෙහෙස මහන්සියකින් පසු ඇයගෙන් අසා දැනගත් තොරතුරු වලට අනුව ඇයගේ ජීවිතය මාරාන්තික ඒඞ්ස් රෝගයට බිලිවූ ආකාරය පිළිබඳව අපි ඔබ වෙනුවෙන් අකුරු කරන්නෙමු. ඒ ඇය දෙස බලා පිළිකුල් සහගතව කතාකිරීමට නොව ඇයගේ දුක්බර කතාව ඔබට පාඩමක් කරනු පිණිසය.

ඇයගේ නම්ගම් හෙළි නොකිරීමේ පොරොන්දුවට අනුව අපි ඇයට චේතනා යයි කියමු. ඇය රූමත් දිගුවරලසක් ඇති අපූර්වත්වූ වටකුරු මුහුණට වැටී මවා පෑවේ අගනා සුන්දරත්වයකි. දිගු සුසුමක් හෙළමින් ඇය අපට මෙසේ පැවසුවාය. මගේ ගම්පළාත මහනුවර. මගේ පාසැල් කාලය ළමා කාලය ගෙවිලා ගියේ දළදා හාමුදුරුවෝ වැඩඉන්න බිමේ.

මගේ අප්පච්චි වතුපිටි හිමි වැවිලිකරුවෙක් නොවෙයි. අතට අහුවෙන  ඕනෑම රැුකියාවක් කරන්න අපේ අප්පච්චිට තිබුණේ පුදුම දහිරියක්. හැම වෙලාවෙම අප දැක්කේ අප්පච්චි කඩිසරව වැඩ කරනවා විතරයි. අසනීපෙකට උනත් අප්පච්චි ගෙදර නැවතුනේ බොහෝම කලාතුරකින්.

අපේ අම්මටත්  ඕනෑ වුනේ අප්පච්චිගේ දහිරියට හයියක් වෙලා අපට හොඳට උගන්වන්න. ඒ නිසාම අපි පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවන් වුණා. දුප්පත් කමට අභියෝග කරමින් අගහිඟකම් වලින් මිරිකිලා හිටියත් අපට ගමේ හැමෝම ගොඩක් හිතවත්ව හිටියා.  මම පවුලේ වැඩිමහල් දුව. මට බාල නංගී මල්ලී හිටියා.
ජීවිතේ කියන්නේ මහා පුදුම කරුමයක්. අගහිඟකම් මැද්දේ ජීවත් වූ අපට දවසින් දවස ජීවිතය කරුමයක් වුණා විතරයි.

පවුලෙ මුළු බරම කරට අරං අපේ දුක සැප හොයල බලපු අප්පච්චි දවසක් ගහකින් වැටිලා ඉස්පිරිතාලෙට අරංගියා කියලා අපට දැනගන්න ලැබුණා. ඒ වෙලාවේ ගේ හරියෙම තිබුණේ රුපියල් පන්සීයයි. අම්මයි මමයි පේරාදෙණියේ ඉස්පිරිතාලෙට දුවල ගියේ පිස්සු හැදිලා වගේ. අපි යනකොට අප්පච්චිව ශල්‍යාගාරයට අරං තිබුණා. ඒ වෙනකොටත් අප්පච්චි ජීවතුන් අතර කියල දැනගත්තම අපිට ලොකු සැනසුමක් වුණා. ගමේ හිතවත් කට්ටිය එදා එතැනට ඇවිත් හිටපු එක අප්පච්චිගේ බෙහෙත් හේත් වලට ලොකු උදව්වක් වුණා. ඔපරේෂන් එක කරල තිබුණේ ඔළුවේ. එදා ඉඳල අප්පච්චි ඔත්පල වුණා. අප එක්ක වචනයක්වත් කතා කළේ නෑ. ගහෙන් වැටුන නිසා අප්පච්චිගේ කොන්ද කැඩිලා තිබුණා.

අප්පච්චි එක්තැන් වුණාට පස්සේ අපේ මුළු පවුලම කබලෙන් ලිපට වැටුණා. අපේ අම්මා වතුවල දළු කඩන්නයි. ගෙවල් වල වළං හෝදන්නයි පටන් ගත්තා.
මට මගේ අම්මගේ දහිරිය ගැන අදත් පුදුමයි. අම්මා දුක් විඳිනව බලන් ඉන්න බැරිම තැන මා හිතුවා ඉගෙන ගන්න එක නවත්තලා රස්සාවක් කරන්න. අම්මා නම් කිව්වෙම කොහෙම හරි ඉගෙන ගන්න කියලා. ඒත් මට  ඕන වුනේ රස්සාවක් කරල පවුල ගොඩගන්න. අම්මා එපා කියද්දි මම කොළඹට ආවේ කොළඹ ඇඟලූම්හලක රැුකියාව කළ යහළුවකුගේ මාර්ගයෙන්. රස්සාවට ගියේ හෙල්ප කෙනෙක් විදිහට. පැය ගණන් වැඩ කළත් මට මහන්සි දැනුනෙත් නෑ. මට හැම වෙලාවෙම මතක් වුනේ මගේ අප්පච්චි බලාගත්ත අත බලාගෙන ඉන්න විදිහයි.

අප්පච්චි, හොඳකරන්න බැරි බව වෛද්‍යවරු කිව්වත් මගේ හිත කිව්වෙම අප්පච්චිව හොඳකරන්න පුළුවන් කියලා. ලැබෙන වැටුපට වඩා රුපියලක් හරි වැඩිපුර හොයාගන්න මට   ඕනෑ වුණා. මම  ඕ.ටී. කළා. නිදිමත, මහන්සිය මා ගණන් ගත්තෙ නෑ. යාළුවෝ කියන්න ගත්තා කන්නේ බොන්නේ නැතිව මම තණ්හාවෙන් පොදිගහනවා කියලා. සමහරු මට විහිළු කළා ඇනුම්පද කිව්වා.

මම ඒ හැමදේම විඳදරාගෙන හොඳට වැඩකළා. කාලයක් යනකොට මම මැෂින් ඔපරේටර් කෙනෙකු විදිහට වැඩ පුරුදු වුණා විතරක් නොවේ හොඳ වැටුපකුත් ලැබුවා.

ඔන්න ඔය කාලෙදී මැෂිමයි, බෝඩිමයි අතරේ ගෙවෙමින් තිබුණ මගේ ජීවිතේට නිශාන්ත මුණ ගැහුණා. එයා ටිකක් සැහැල්ලූවෙන් ජීවත් වෙන චරිතයක්. මගේ ජීවිතේ වැඩම කරලා හෙම්බත් වෙලා තිබුණ නිසාද කොහෙද මට නිශාන්තව දැනුනේ මගේ ජීවිතේට ලැබුණු ආශිර්වාදයක් විදිහට.

මම ගාමන්ට් එක ඇරිලා යන වෙලාවට එයා මාව බලන්න හැමදාම ආවා. රතු පාට මෝටර් රථයෙන් මාව බලන්න එන නිශාන්ත කරන රස්සාව මොකක්ද කියලා මට දැනගන්න වුවමනාවක් තිබුණේ නෑ. මාත් එක්කම බෝඩිමේ ඉන්න යාළුවෝ නිශාන්ත ගැන එක එක කතා කියනකොට මට හිතුනේ ඒවා ඉරිසියාවට කියන කතා කියලා. බෝඩිමේ මම ජීවත් වුනේ වෙනමම වගේ. නිශාන්තට විරුද්ධව එක වචනයක්වත් අහන්න මට  ඕනෑ වුනේ නෑ.  ඕ.ටී. කර කර සල්ලිම හොයන්න මහන්සි වුණ මා කාලයක් යනකොට බලන් හිටියේ කොයි වෙලාවේද නිශාන්තව මුණ ගැහෙන්න යන්නෙ කියලා.

එයා මාව බලන්න ආව සමරහරදාට මට ගෙදරට යවන්න සල්ලි දුන්නා. රෑ කෑම කොහෙන් හරි කාලා මම ගෙදර ගියේ ඇඳට වැටෙන්න බලාගෙන. ඒ නිසා මගෙ හැමදේම දැනන් හිටියේ මම විතරයි.

නිවාඩු ලැබුණ හැම දවසෙම ගෙදර දුවන්න බලන් හිටපු මම දවසක් නිශාන්තත් එක්කම නුවර ගියා. ඒ ගිහින් නුවර තානායමක නැවතුනා. එයාව මගේ ගෙදර එක්ක යන්න මටවත් මම එක්ක අපේ ගෙදර යන්න එයාටවත් වුවමනාවක් තිබුණේ නෑ. එදා නුවර තානායමේදී නිශාන්ත අතින් මම ගැහැනියක් වුණා. නමුත් ඒ ගැන පොඞ්ඩක්වත් මට දුකක් හිතුනේ නෑ.

මට හිතුනේ මම නිශාන්තව දිනුවා කියලා. එදා මම එයා අතින් ගැහැනියක් වීම ගැන එයා කතා කළත් මං පොඞ්ඩක්වත් හිතුවේ නෑ. කාලය ගෙවිලා ගියා. මම නිශාන්ත නිසා අම්මා කෙනෙක් වෙන්න යන බව දැනුනම මම ගොඩාක් සතුටු වුණා. මට හිතුනේ නියම ආදරේට නීතියක්  ඕන නෑ විවාහ නොවී වුණත් එකට ජීවත් වෙන්න පුළුවන් කියලා.

ඒත් මම කොයිතරම් මෝඩ ගෑනියක්ද කියලා හිතෙනකොට පරක්කු වැඞී. දරුවෙක් ලැබෙන්න යන බව දැනුනම නිශාන්ත ගොඩාක් කලබල වුණා. එයා කිව්වේ දරුව නැති කරමු කියලා. ඒත් මම ඒකට පොඞ්ඩක්වත් කැමති වුණේ නෑ. ඒ හේතුව නිසාම එයා මා එක්ක හුඟ වෙලාවට රණ්ඩු වුණා. නමුත් මට  ඕනෑ වුුනේම එයා එක්ක හොඳින් ජීවත් වෙන්න.

නමුත් මුලදී තිබුණ හොඳ ගතිගුණවත් ආදරයවත් නිශාන්ත ළඟ තිබුණේ නෑ. එයා බීච් බෝයි කෙනෙක් කියල මට දැනගන්න ලැබුණා. පස්සෙ මොන හේතුවක් නිසාද මන්ද එයා මාව එක්ක ගියා. අපි විවාහ නොවී එකට ජීවත් වුණා.

ඔය කාලෙදි තමයි අප්පච්චි සඳහටම අපව අතැරල ගියේ. අප්පච්චිගේ මළගමට මම ගියේ නිශාන්ත එක්ක. අම්මා හිතුවේ මම විවාහ වෙලා කියලා. විවාහ නොවී එක වහලක් යට ඉන්න බව මම අම්මාට කියන්න ගියෙත් නෑ. මගේ අම්මා නිශාන්තට සැලකුවේ දෙවියන්ට වගේ. ඒත් නිශාන්ත මගේ අම්මාගෙන්වත් වැදුම් පිදුම් ලැබිය යුතු කෙනෙක් නෙවේ. අපි මළගම ඉවරවෙලා ගෙදර ආවා. කාලය ගෙවිලා ගියේ මගේ දරුගැබට මාස හතරක්  වෙද්දී. දරුගැබ නැති වුණා. මම ඒ ගැන නොසෑහෙන්න දුක් වුණත් නිශාන්ත හිටියේ සතුටෙන්.

දරුවා නැති වෙලා මාස දෙකක් විතර ගෙවිලා ගියා. මම ඇඟලූම් කම්හලේ දිගටම වැඩට ගියා. දවසක් වැඩට ගිහින් ඇවිත් උයන්න පටන් ගත්තා. ඒ වෙලාවේ නිශාන්ත ගෙදර ආවේ හති දාගෙන. ඇවිත් කිව්වා මට ඉක්මනට ලැහැස්ති වෙන්න කියලා. මම ඇහුව කොහේ යන්නද කියලා. කතාව නවත්තලා ඇඳගන්න කිව්වා. කොහේ යන්නද මොනවා කරන්නද කියලා නොදැන වුණත් මා ලැහැස්ති වුණා.

නිශාන්ත කාර් එක හරිම උද්යෝගයකින් පදවගෙන ගියා. හරියට රටක් රාජ්‍යයක් දිනුව වගේ. මම ඒ වෙලාවෙත් ඇහුවා ඇයි මේ අමුතු සතුටකින් කොහෙද මාව එක්ක යන්නෙ කියලා. එතකොට කිව්වා අද අපිට ලොතරැයියක් ඇදෙන්න යන්නෙ ඔයා මම අපේ මුලූ පවුලම ගොඩ යනවා කිව්වා. එහෙම කියලා කිව්වා. මට සෙට් වෙලා ඉන්නව සුද්දෙක්. මිනිහා ජර්මන් යන්න අපි දෙන්නටම චාන්ස් එකක් දීලා තියෙනවා. ඔයාට තියෙන්නේ දැන් අපි එයාව මුණ ගැහුණම එයා කියන විදිහට ඉන්න කිව්වා. මම ඇහුව මොනවද මේ කියවන්නේ කියලා. එතකොට කිව්වා අපි දෙන්නගේ අනාගතේ වෙනුවෙන් මේ කැපකිරීම කරන්න කියලා. මම ඇහුවා මොනවද කරන්න තියෙන්නෙ කියලා. එතකොට කිව්වා මහලොකු වැඩක් නෑ. සුද්දට හිතවත් බව පෙන්වන්න කිව්වා.
වෙලාව රාත‍්‍රී නවයට විතර ඇති අඳුර කපාගෙන ඉදිරියටම ධාවනය කළ වාහනය නැවතුනේ විශාල හෝටලයක් ළඟ. එහෙදී අපට මුණ ගැහුණේ මැදිවයස ඉක්මවා නොගිය විදේශිකයෙක්. ඔහු සමඟ රෑ කෑම ගමුයි කියලා නිශාන්ත කිව්වා. ඇයගේ වදන් පැටලෙයි. වාවගත නොහී වේදනාව කඳුළු වී ගලා යයි. ඈතට රැුඳවූ නෙතින් යුතුව ඇය නැවතත් වචන ගලපයි.

එදා අපි ඒ හෝටලයේ කෑම කනව මට මතකයි. එතැනින් පස්සෙ මොකද වුනේ කියලා දන්නේ නෑ. සිහිය එනකොට අර විදේශිකය මං ගාව නිදි. ඒ වෙලාවේ බයවෙලා දුවන්න හදනකොට මට දැනුනා මගේ ඇගේ නූල් පොටක්වත් නැතිබව.

එදා මම ඇඬුවා, කෑ ගැහුවා. නිශාන්ත මාව ඒ විදේශිකයාට විකුණලා. මම කෑ ගහල අඬනකොට ඒ විදේශිකය කාටද කෝල් ගත්තා. ඒ කෝල් ගත්තේ නිශාන්තට කියලා තේරුණෙ අපි හිටපු කාමරේට ඒ වෙලාවෙම නිශාන්ත ආව නිසා. මට එපා වුණා, කළකිරුණා නිශාන්තගේ මූණටම කෙළගහන්න හිතුනා. එදා නිශාන්තයි මායි ඉන්න ගෙදරට ආපු වෙලාවේ ඉඳලා මම කලේ පුළුවන් තරම් අඬන එක. නිශාන්තගේ කියලා කාවවත් මම අඳුරගෙන හිටියෙ නෑ. ඒ වුණත් මම එයාගේ පරම්පාරවට බැණ බැණ ඇඬුවා.

මොන හේතුවක් නිසා හරි එයාව දාලා යන්න තරම් තීරණයකට මම ආවේ නෑ. මම පුරුදු විදිහට රැකියාවට ගියා. කාලය ගෙවිලා ගියා. අපි අතරේ තිබුණ අමනාපකම් ටික ටික අඩු වුණා. නමුත් නිශාන්ත බීච් බෝයි කියන සීමාවටත් එහා ගිය ජීවිතයක් විදේශිකයින් එක්ක ගෙවන බව මට දැනිලා තිබුණා. මම ඒ හැම දේම ඉවසගෙන ජීවත් වුණා. මට ලැබුණ වැටුපෙන් බාගයක්ම මම යැව්වේ ගෙදර. එහෙම කලේ ඒ අයට ජීවත් වෙන්න වෙන පිහිටක් නැති බව මා දන්න නිසා. එහෙම සල්ලි යවනවට පවා නිශාන්ත මා එක්ක රණ්ඩු වුණා. එයාට ගොඩාක් යාලූවෝ හිටියා. ඒ ඔක්කොම නිශාන්ත වගේම තමයි. මම නිශාන්තට මොන තරම් ආදරේ කළත් එයා ඒ හැමදේම තීරණය කළේ සල්ලි වලින්.

මට දවසින් දවස ජීවිතේ අපායක් වුණා. නිශාන්ත මාව විදේශිකයන්ට වතාවල් කිහිපයකදිම විකිණුවා. ඒ ජරා ජීවිතේ ගෙවන්න බැරි නිසාම මම විදේශගත වෙන්න තීරණය කළා. ඒ වෙලාවේ කරපු වෛද්‍ය පරීක්ෂණයකදී තමා මට  HIV ශරීරගත වෙලා කියලා රුධිර පරීක්ෂාවකදී හෙළි වුණේ.
ඇයගේ කතාව අපට කියාදෙන බොහෝ දේ ඇත. එහි ප‍්‍රධානම කරුණ වනුයේ තම ජීවිත සහකරුවා විශ්වාසවන්ත අයකු පමණක් නොව ආදරය රැුකවරණය සලසන අයකු විය යුතු බවයි. ‘‘ඒඞ්ස්’’ Human Immunodeficiency Virus නොහොත් H.I.V. මෙය ජීව ශරීරයන්හි ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සඳහා සෘජුවම හානි පමුණුවන වෛරසයකි.

1980 වර්ෂයේ මුල් කාලයේදී ප‍්‍රථම වරට ඒඞ්ස් වෛරසය ලොව වෛද්‍ය විද්‍යාඥයන් විසින් හඳුනාගනු ලැබූ අතර මේ රෝගය මර්ධනය කිරීම සඳහා කිසිදු ඖෂධයක් නිපදවා නොමැත. ලිංගික කි‍්‍රයාවලියකදි, රැවුළ බෑමේදී, ඉඳිකටු මගින් සහ රුධිර පාරවිලනයකදී ඔබසොයා පැමිණිය හැකි මාරාන්තික රෝගයක් වන HIV ඒඞ්ස්. ඇමේසන් වනාන්තරයේ වෙසෙන කොළ වඳුරාගෙන් මිනිසා වෙත සම්පේ‍්‍රෂණය වූ බව අනුමාන කෙරේ.

මිනිසාගේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතියට මාරාන්තික ප‍්‍රහාර එල්ල කිරීමට සමත් වී ඇති අනෙකුත් වෛරස් සතු සාධනීය ලක්ෂණ වලින් වෙනස් වන්නේ නැත.

ශරීරය තුළ ප‍්‍රතිශක්තීකරණ පද්ධතියට හානි කරමින් හිස ඔසවන ඒඞ්ස් ආසාධිත අයකුගෙන් නිරෝගී අයකුට බෝවීමේ අවදානමක් ඇත. HIV ආසාධිත පුද්ගලයකුගේ ලිංගික ශ‍්‍රාවයන් මගින් ආසාධිත මවකගේ නම් මව්කිරිවලත් ්‍යගෂගඪග ගැබ් වී ඇත. ලිංගික ක‍්‍රියාවලියේදී කොන්ඩම් පැලඳීම ඔස්සේ ඔබට මෙම රෝගය මගහැර යා හැකිය.

HIV ශරීරය ආක‍්‍රමණය කළවිට ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ඊට එරෙහි (Antibody) නිපදවීම ආරම්භ කරයි. ඒ මඟින් සන්නිවේදනය වන්නේ ඔහුගේ සිරුරෙහි ්‍යගෂගඪග ප‍්‍රතිදේහ මගින් ආක‍්‍රමණය කොට ඇති බවයි.

එච්.අයි.වී. ශරීර ගතවූ රෝගියකුගේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය අඩාල වීම හේතුවෙන් එම රෝගියාගේ ශරීරය බැක්ටීරියා වෛරස් සහ පරපෝෂිත ආසාධනයන්ගේ තෝ තැන්නක් වන්නේ නිරායාසයෙනි. ශ්වසන පද්ධතිය හැරුණුවිට ලේ ඇට මිදුළු අභ්‍යන්තර සියළුම ඉන්ද්‍රියන්, අක්මාව, පෙනහලූ, මොළය ඇතුළු සියලූම ඉන්ද්‍රියන්හි ආසාධිත තත්ත්වයන් ඇති කරයි. ඒඞ්ස් රෝගයේ මූලික ස්වභාවය එසේ වනවිට ලංකාවේ රෝග ව්‍යාප්තිය පිළිබඳව කරුණු දක්වමින් ජාතික ලිංගාශ‍්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසුවේ මෙන්න මෙහෙම කතාවක්.

පසුගිය කාලයේ එච්.අයි.වී. රුධීර සාම්පල් පරීක්ෂණ ලක්ෂ පහක් පමණ කර ඇති බවට සංඛ්‍යා ලේඛන අප සතුව පවතිනවා. ඒ අතරින් දෙදාස් පන්සීයත් පන්දාහත් අතර පිරිසකට එච්.අයි.වී. වෛසරය ශරීරගත වී ඇති බවට අප ඇස්තමේන්තුගතකොට තිබෙනවා. මෙයින් සීයට හැටක ප‍්‍රමාණයක් බස්නාහිර පළාතෙනුත් ඉතිරිය උතුර හා දකුණු පළාතෙන් වාර්තා වෙනවා.

කොළඹ බල ප‍්‍රදේශය තුළ වැඩිම ඒඞ්ස් සහ එච්.අයි.වී. ආසාධිතයන් ප‍්‍රමාණයක් සිටින බව අප හඳුනාගෙන තිබෙනවා. ඇත්තටම ලංකාවේ මෙවැනි රෝගීන් හඳුනා ගැනීමේ ගැටලූ පවතිනවා. බොහෝ විට මෙවැනි රෝගීන් පරීක්ෂණ සඳහා යොමුවීමට දක්වන්නේ අධික බියක්. එයට ප‍්‍රධාන හේතුව මෙවැනි රෝගයක් වැළඳී ඇති බව සමාජය දැනගත්තහම සමාජයෙන් එල්ල වන බලපෑම තමාගේ පවුල් සංස්ථාව බිඳවැටීම තම දරුවන්ගේ ජීවිතය කඩා වැටීම වැනි හේතු පදනම් කොටගෙන මෙවැනි රෝගීන් දැඩි බියක් දක්වනවා. ඇත්තටම එහෙම තත්ත්වයකට අනපේක්ෂිත බියක් ඇති කරගත යුතු නෑ. මොකද අප බැඳී සිටිනවා එවැනි රෝගින්ගේ රහස්‍ය භාවය රකින්න. රෝගියා අකමැති නම් ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් පවා මෙය රහසක් ලෙස අප රකිනවා.

මේ ලිපිය සැකසීමේදී අපට සහය වූ ජාතික ලිංග ආශ‍්‍රිත රෝග හා ඒඞ්ස් මර්ධන ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතාට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලයනල් මුහම්දිරම් මහතාට විශේෂ ස්තූතිය.

මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා

Category: ,

sinhala.lakdiva news:
sinhala.lakdiva news

0 comments