මළවුන්ගෙන් පණිවිඩ ලැබුණු කාන්තාවක්

Lanka Journalist | 2:18 PM | 0 comments

අප, අප ගැන දන්නා තරමට වඩා සුවිශාල බලයක් අප සතු බව, එඞ්ගා කේසි කියා ඇත. එක්තරා කෝණයකින් බලන කල, මිනිසා කියන්නේ සීමිත ග‍්‍රහණයක් තිබෙන සත්ව කොට්ඨාසයකි. ඇස් පෙනීම, කන් ඇසීම, ගඳ සුවඳ දැනීම ආදිය පවා මිනිසුන්ට දැනෙන සීමාවන් ඇත. සාමාන්‍ය ග‍්‍රහණ සීමාව පසුකර යා හැකි ප‍්‍රබල අවියක් මිනිසා සතුව ඇතත්, එය භාවිතයට ගැනීමට තරම් තවමත් මිනිසා දියුණුවී නැත. කෙසේ වෙතත්, ඒ ග‍්‍රහණ සීමාවෙන් එපිට පවතින පුළුල් සත්‍යය දැන ගන්නට හැකි එකම ක‍්‍රමය එම ප‍්‍රබල අවිය වන මනස දියුණු කිරීමයි. මනසින් වැඩ ගැනීම ඉගෙන ගැනීමට නම් දැන් මිනිස්සු තරමක් උනන්දුය. අද මිනිසා දක්වන ඒ උනන්දුව, දැනුවත්ව හෝ නොදැනුවත්ව මනසින් වැඩගැනීමට යොමුවූ ඇත්තන්ගේ කි‍්‍රයාකාරිත්වයෙහි ප‍්‍රතිඵලයකි.  

1857 මැසචුසෙට්ස් හි උපත ලද ලියනෝරා පයිපර්, මලවුන් හා සන්නිවේදනය කළ කාන්තාවකි. 19 වැනි සියවසේ අගභාගයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේදී ඇය ඇමරිකාවේ ප‍්‍රසිද්ධ චරිතයක් වූවාය.

වයස අවුරැුදු 8ක් තරම් කුඩා කාලයේදී, දිනක් කුඩා ලියනෝරා ගෙවත්තේ සෙල්ලම් කරමින් උන්නාය. එක්වරම දකුණු කණට කිසියම් කම්පනයක් දැනී තරමක් දිගු වේලාවක් පැවති ශබ්දයක් ඇසිණි.  ‘‘ස්...’’

ඉන්පසු ඇගේ කනට මෙසේ කොඳුරනු ඇසෙන්නට විය.

‘‘සාරා නැන්දා......මැරිලා නැහැ.....තවම ඔයා එක්කයි...’’

කුඩා දැරිය මහත් බියට පත් වූවාය. දැරියගේ මව, එම සිද්ධිය වූ දිනය සහ වෙලාව හොඳින් මතකයේ තබා ගත්තාය. දින කීපයකට පසු, සිත කීරිගස්වන පුවතක් අසන්නට ලැබිණි. සාරා නැන්දා ඇත්තටම එම සිද්ධිය වූ දිනයේ, එම වෙලාවේ මියගොස් සිටියාය. ලියනෝරාගේ ජීවිතයේ අමුතු පරිච්ෙඡ්දයක් පෙරළෙන්නට පටන් ගත්තේ එතැන් සිටයි. ඇය සමහර රාත‍්‍රීන්වලදී තමාට දීප්තිමත් ආලෝකයක් ද, නාඳුනන මුහුණු ද පෙනෙන බවට පැමිණිලි කළාය. තවත් සමහර දිනවලට ඇගේ ඇඳ, පැහැදිලි කළ හැකි හේතුවක් නැතිව පැද්දෙන බවත් පැමිණිලි විය.

තියුණු නුවණක් තිබූ ලියනෝර්ගේ මව, තම දැරිය කිසියම් අසාමාන්‍ය උරුමයක් ලැබ සිටින බව වටහාගෙන සිටි නමුදු, සාමාන්‍ය ළමා වියක් ගත කිරීමේ අයිතිය ඇයට ආරක්ෂා කර දුන්නාය. සිදුවූ දේවල් ඔවුන් අතර රහස් වශයෙන් පැවතිණි. 1881දී, එනම් වයස 22දී ලියනෝර් තරුණිය බොස්ටන් හි විලියම් පයිපර් මහතා සමග විවාහ වූවාය. ඉන් කෙටි කලකට පසුව ඇය වෛද්‍ය ජේ.ආර් කොක්ගෙන් උපදෙස් ලබාගන්නට පෙළඹුණාය. ජේ.ආර්. කොක් යනු, මෝහන චිකිත්සකයෙකි. වෛද්‍යවරයෙකි.

පළමු මෝහන සැසියේදී විශේෂ කිසිවක් සිදුවූයේ නැත. එහෙත් පසුව දිනක වෛද්‍ය  කොක් ඇගේ හිස මතට අත තැබූ විට ‘‘අමුතු මුහුණු ගණනාවක් පෙනී සිටි විශාල ආලෝකයක්’’ දුටු බව ඇය ප‍්‍රකාශ කළාය. එසේ නින්දේ සිටියදීම ඇය අසුනෙන් නැගිට කුටිය මැද්දට ගොස්, එතැන තිබූ මේසයක් මතින් පැන්සලක් හා කඩදාසියක් ගෙන මිනිත්තු කීපයක් තිස්සේ යමක් සටහන් කළාය. ඉන්පසු මළවුන් කැඳවන කවයේ සිටි අයෙකුගේ අතට එම සටහන දී, නැවත තම අසුනට පැමිණියාය. එම පුද්ගලයා කීර්තිමත් නඩුකාරයෙක් වූ කේම්බි‍්‍රජ් හි ෆ්‍රොස්ට් මහතායි. එය, මියගිය තම පුතුගෙන් ලැබුණු පණිවිඩයකැයි ෆ්‍රොස්ට් මහතා හඳුනාගන්නා ලදී. නඩුකාර තැනගේ අත්දැකීම ගැන කතාව ඉතා ඉක්මනින්ම පැතිර ගිය අතර එතැන් පටන් මළවුන් මුණගැසීමට ඇයට ඉල්ලීම් ගණනාවක් ගලා එන්නට විය. එහෙත් මේ හදිසි ප‍්‍රසිද්ධිය ගැන ඇය එතරම් කැමැත්තක් නොදැක්වූ අතර කිසිවෙකු මුණ ගැසීම ප‍්‍රතික්ෂේප කළාය. දාර්ශනිකයකු හා මනෝවිද්‍යඥයෙකු වූ මහාචාර්ය විලියම් ජේම්ස්ගේ නැන්දනිය ඇය මුණගැසීමට ඉල්ලූම් කිරීමෙන් පසු කිසියම් හේතුවකට ඇය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප නොකළාය. ඉන්පසු ඇගේ ප‍්‍රසිද්ධිය තව තවත් වැඩිවෙන්නට විය.

පසුව මහාචාර්ය විලියම් ජේම්ස්ද ඇය මුණගැසීමට ගිය අතර මළවුන් සමග සන්නිවේදනය කිරීමට ඈ සතු හැකියාව ගැන මහත් විස්මයට පත් විය.
1890 වසරේදී ඔහු මෙසේ ලියා තැබුවේය.

‘‘පයිපර් මහත්මිය ගැන මා දන්නා සියල්ල සැලකිල්ලට ගැනීමෙන් පසු, ඒ සියල්ලෙහි ප‍්‍රතිඵලය නම්, පියවි සිහියෙන් සිටියදී පුද්ගලයෙකු ගැන අසා නැති දේවල්, නිද්‍රාවේදී ඇය දන්නා බවය. ඇගේ නිද්‍රාවන්හි ගැබ්ව තිබෙන දාර්ශනික බව ද තවදුරටත් සොයාගත යුතුය.’’

‘‘ද වැරිටීස් ඔෆ් රිලිජස් එක්ස්පීරියන්ස්’’ කෘතිය රචනා කළේ මහාචාර්ය විලියම් ජේම්ස්ය. තම නැන්දනිය සහ නෑනා විසින් පයිපර් මහත්මිය ගැන කළ වර්ණනා නිසාය ඔහු පයිපර් මහත්මිය හමුවෙන්නට පැමිණියේ. පයිපර් මහත්මියට දුර ඥාතීන්ගේ මුල් නම සහ අවසාන නම කියන්නට හැකියාවක් තිබෙන බව මහාචාර්ය විලියම් ජේම්ස්ගේ නැන්දනිය අසා තිබුණාය. පසුව ජේම්ස්ගේ නෑනා, ඉතාලි බසින් ලියැවුණා වූ ඇයට ලැබුණු ලිපියක් ද රැගෙන පයිපර් මහත්මිය හමුවෙන්නට ගියාය. එම ලිපිය ඇයට යැවූ තැනැත්තා කවුරුන්දැයි දැන සිටියේ මුළු මහත් ඇමරිකා එක්සත් ජනපදයෙන්ම පුද්ගලයින් දෙදෙනෙකු පමණකි. එහෙත් එම ලිපිය තම නළලෙහි තබාගත් පයිපර් මහත්මිය එහි ඇතුළත් දේවල් ගැන කියාගෙන යන්නට වූවාය. එතැනින් නොනැවතී එය ලියූ තැනැත්තාගේ බාහිර ස්වරුපයද විස්තර සහිතව කීවාය. මෙය, සාමාන්‍යය  තත්ත්වයෙන් සිටියදී නොතිබෙන දැනුමක් නිද්‍රාවට පත්වූ විට පයිපර් මහත්මියට ලැබෙන බව සනාථ කෙරෙන එක් අවස්ථාවක් පමණකි.

විලියම් ජේම්ස්, මළවුන් සමග හමුවීම් පවත්වන කුටියට ඇතුළු වූයේ තම සැබෑ අනන්‍යතාව පවා සඟවා ගනිමිනි. එහෙත් කොතෙක් පරීක්ෂාකාරී වුවත් ඔහු එම කුටියෙන් පිටතට පැමිණියේ මහත් තිගැස්මකට ලක් වූ අයෙකු පරිද්දෙනි. මන්ද ඔහු ඇසූ සියලූම ගැටලූවලට නිවැරදි පිළිතුරු ඇය ලබාදී තිබූ බැවිනි. ජේම්ස් නැවතද ඇය මුණගැසීමට ගියේය. මළගිය ආත්ම ගැන එතරම් උනන්දුවක් නොදැක්වුවත්, කිසියම් අසාමාන්‍ය. ක‍්‍රමයකින් පයිපර් මහත්මිය තොරතුරු ලබාගන්නා බව ඔහු විශ්වාස කළේය.

හියර්වෝර්ඞ් කැරින්ග්ටන් ද පයිපර් මහත්මිය සමග පර්යේෂණ සිදුකළ අයෙකි. එහිදී,  වරක් නිද්‍රාවට වැටුණු පසු අවට සිදුවූ කිසිවකින් ඇයට බලපෑමක් ඇති නොවීය. මඳ වේලාවකට පසු ඇගේ දකුණු අත පිටතට විහිදී, අසුන්ගෙන සිටින්නෙකු විසින් ඇයට දුන් පැන්සල අල්ලාගන්නා ලදී. මේ අවස්ථාවේදී ස්වයංක‍්‍රිය ලේඛනය සිදුවූ අතර මළවුන් කැඳවන කවයට භූතයන් සමග සන්නිවේදනය කිරීම පැහැදිලිවම  ප‍්‍රදර්ශනය විය.

මහාචාර්ය ජේම්ස් හිස්ලොප් මෙම අගනා කාන්තාව නිරීක්ෂණය කිරීමට කැමැත්තක් දැක්වීය. ඔහු ඒ සඳහා කැඳවූයේ ඒ වන විටත් පයිපර් මහත්මිය සමග පර්යේෂණවල නිරතව සිටි රිචඞ් හොජ්සන්ය. හිස්ලොප් යනු අධිකව ආරක්ෂාවීමේ පියවර අනුගමනය කළ අයෙකි. ඔහු පයිපර්ගේ නිවෙසට පැමිණියේ හොඳින් ආවරණය වූ රථයකිනි. එමෙන්ම ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම වැසී යන පරිදි කළු වෙස්මුහුණක් පැළඳ සිටියේය. පයිපර් නිද්‍රාවට වැටුණු පසු, අසුනක් ගෙන ඇය පිටුපසින් හිඳගන්නැයි හොජ්සන් ඔහුට සන් කළේය. එම කුටියට ඇතුළු වූ මොහොතේ සිට, කි‍්‍රයාවලිය අවසන් වන තුරුත්, ඉන්පසුව නැවත ගොස් පැමිණි රථයට නගින තුරුත් හිස්ලොප් එකදු වචනයක්වත් කතා නොකළේය. පයිපර් මහත්මිය නිද්‍රාවේ නොසිටියා නම්, ඇයට පිටුපසින් හිඳ ගෙන සිටි නිහඬ මිනිසා කවුරුන්දැයි අනුමාන කරන්නට නොහැකි වනු ඇත. මෙම දැඩි ආරක්ෂක උපාය මාර්ග අනුගමනය කර තිබියදීත්, එම නිද්‍රාව තුළදී කීප වතාවක්ම මහාචාර්ය හිස්ලොප්ගේ නමත්, ඔහුගේ නෑදෑයින් විශාල ප‍්‍රමාණයකගේ නම්ද කීවාය. එතැනදී ඇසූ ඥාතීන්ගේ නම් සියල්ල සොයාගැනීමට හිස්ලොප්ගේ ගමේ සිටි නෑදෑයෙකුගේ උදවු ලබාගත් බවත්, ඒ සියල්ල නිවැරදි බවත්, ඒ බව සොයාගැනීමට මාස හයක් පමණ ගතවූ බවත් කියැවේ.
පයිපර් මහත්මිය 1860 ගණන්වලදී මිය ගිය ‘‘ෆිනීනැතහොත් ෆිනුයිට්’’ යනුවෙන් හැඳින්වූ ප‍්‍රංශ වෛද්‍යවරයෙකු සමග සන්නිවේදනය කළාය. පෙරදී වෛද්‍ය කොක් සමග සම්බන්ධව සිටි ෆිනී, එතැන් පටන් පයිපර් මහත්මිය සමග වැඩ කටයුතු කළේය. 1884 - 1892 කාලවලදී මළවුන් හා සන්නිවේදන කටයුතුවල අතරමැදියෙකු ලෙස කටයුතු කළේ මෙම ‘‘ෆිනී’’ බව කියැවේ.

1887දී නව අතරමැදියෙකු ප‍්‍රවිශ්ට විය. ඔවුන් ඔහු හැඳින්වූයේ ‘‘ඉම්පරේටර්’’ යනුවෙනි. මෙය හුදෙක් එක් අතරමැදියෙකු හඳුන්වන්නට නොව, කණ්ඩායමක් හැඳින්වීමට යොදාගත් නමකි. මෙම නව ආගමනයෙන් පසුව ෆිනී අතුරුදන් වූ අතර ජෝර්ජ් පෙල්හැම් පවා සන්නිවේදනය කළේ කලාතුරකිනි. මෙවන් සිද්ධි, මළවුන් හා සන්නිවේදනය කරන්නෙකුට නුහුරු නුපුරුදු ඒවා නොවේ. කෙසේවෙතත්, නව අතරමැදි ඉම්පරේටර් නිසා සන්නිවේදනය වඩා සෘජු හා ඵලදායක එකක් විය. පයිපර් මහත්මිය නිද්‍රා වට පිවිසීම හා ඉන් ඉවත් වීම වඩාත් ස්වාභාවික ආකාරයට සිදුවෙන්නට විය. නව අතරමැදි පිරිස සමගින් වැඩ කිරීමට පටන් ගැනීමත් සමග සිය මව විස්ම සහගත ආධ්‍යාත්මික උපදේශකයෙකු වූ බව පයිපර් මහත්මියගේ දියණිය ඇල්ටා පයිපර් සඳහන් කර තිබේ.

ඉන් කෙටි කලකට පසුව, කීර්තිමත් පර්යේෂකයෙකු සහ අධිමානසික විද්‍යාඥයෙකු වූ රිචඞ් හොජ්සන්ගේ මියගිය මිතුරකු වූ ජෝර්ජ් පෙල්හැම්, පයිපර් මහත්මිය සමග සන්නිවේදනය කළේය. ඔවුන් සන්නිවේදනය කළේ ස්වයංකී‍්‍රය ලේඛනය මාර්ගයෙනි.  

‘‘පයිපර් මහත්මිය විවිධ ආත්මයන් සමග සන්නිවේදනය කළාය. ක්ලෝරීන් යනුවෙන් හැඳින්වූ ඉන්දියානු දැරිය, කොමදෝර් වැන්ඩබිල්ට්, ලොන්ග්ෆෙලෝ, ලොරෙට් ෆෙන්ච්ලි, ජේ. සෙබස්තියන් බාක් සහ නිළියක වූ සිඩන්ස් මහත්මිය ඉන්පසු මුණගැසුණු අයයි.

පසු කාලයක ඇයට එම කර්තව්‍යය සඳහා වූ හැකියාව ගිලිහී යන්නට වූයේ ඇගේ මව රෝගී වී සාත්තු අවශ්‍ය තත්ත්වයකට පත් වූ බැවිනි. 1924 ඔක්තෝබර් මාසයේදී ආචාර්ය ගාඞ්නර් මර්ෆි පයිපර් මහත්මිය සමග හමුවීම් ගණනාවක් සංවිධානය කළේය.

පයිපර් මහත්මියගේ හැකියාවන් වසර 25කටත් වැඩි කාලයක් තිස්සේ පරීක්ෂාවනට ලක් කෙරිණි. ඒද, එංගලන්තයේ විසූ බුද්ධිමත් සහ තියුණු නුවණක් සහිත පුද්ගලයින් විසිනි. මළවුන් හා සන්නිවේදනය කිරීම නිසා එක්සත් ජනපදයේ ද ඇය ප‍්‍රසිද්ධ චරිතයක් විය. ලිවීමත්, කතා කිරීමත් මගින් ඇය මළවුන් සමග සන්නිවේදනය කළාය. විලියම් ජේම්ස් පමණක් නොව, රිචඞ් හොජ්සන්, ඔලිවර් ලොජ් හා වෛද්‍ය ජේම්ස් හිස්ලොප් වැනි උගත් විද්වතුන් පවා ඇයට සහය දුන් පිරිස අතර වූහ.

සමහර විද්‍යාඥයෝ පරීක්ෂණ කළේ ඇය කිසියම් වංචාවක් කරන්නේ යැයි සිතා, එම වංචාව අල්ලාගැනීම පිණිසය. එහෙත් කිසිදු වංචාවක ලකුණක්වත් සොයාගැනීමට නොහැකි වූ තැන, ඇය සැබැවින්ම මළවුන් හා සන්නිවේදනය කරන බව ඔවුහු ප‍්‍රකාශ කළහ.

ඇය සැකයට පාත‍්‍ර  වූයේ එක් වරක් පමණකි. 1901 ඔක්තෝබර් 20 වැනිදා නිව්යෝර්ක් හෙරල්ඞ් පුවත්පතේ පයිපර් මහත්මියගේ ප‍්‍රකාශයක් පළ විය. එය සැලකුණේ පාපොච්චාරණයක් ලෙසයි.

‘‘මා නිද්‍රාවේ සිටින විට මළගියවුන්ගේ ආත්ම මා ඔස්සේ සන්නිවේදනය කර තිබෙන බව මා විශ්වාස නොකරමි. එය එසේ වූවා විය හැකිය....... එහෙත් ඒ බව මා ප‍්‍රකාශ නොකරමි.’’

ඇගේ ප‍්‍රකාශය පාපොච්චාරණයක මුහුණුවරක් ගැනීම හේතුවෙන් තත්ත්වය නරක අතට හැරිණි.

‘‘නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ සඳහන් ආකාරයට, මළගිය ඇත්තන්ගේ ආත්ම මා පාලනය නොකරන බවට එවැනි ප‍්‍රකාශයක් නොකළෙමි. අද මා දරන මතය, මීට වසර 18කට පෙර මා දැරූ මතයට වඩා වෙනස් නැත. මළගිය ඇත්තන්ගේ ආත්ම, පාලනය කළා වන්නටද පුළුවන. එසේ නොවන්නටද පුළුවන. මා ඒ නොදන්නා බව පාපොච්චාරණය කරමි. මා වෙනස් වී ද නැත.’’

එම ප‍්‍රකාශය පිළිබඳව සලකා බලන කල, එම සියවසේ විසූ අනෙකුත් අපූර්ව අතරමැදියන් කිහිපදෙනකු වන එලීන් ගැරට්, එඞ්ගා කේසි, ඩග්ලස් ජොන්සන්, ග්ලැඩිස් ඔස්බෝන් ලියොනාඞ්, ඇලිස් බේලි යන අයගේ දැක්මට හා හැඟීම්වලට සමාන බව පෙනී යයි. ඔවුන් තුළට තොරතුරු පැමිණෙන්නේ කොහේ සිටද යන්න ප‍්‍රශ්න කරන අන්තිම පිරිස ඔවුන් යැයි කිසිවෙකුට සිතන්නට පුළුවන. එහෙත් ඒ බව කියන්නට ඔවුන් නොදැන සිටීමද මහත් පුදුමයකි.

කෙසේ වුවත්, බොහෝ කාලයක සිට මේ පිළිබඳව සිදුවෙන වාද විවාදවල කේන්ද්‍රය ද එයමයි. මේ තොරතුරු ලැබෙන්නේ භූතාත්ම සමග සන්නිවේදනය කරන නිසාද? නැතහොත් මළගිය ඇත්තන් හා කතා කරන්නට හිඳගන්නා තැනැත්තා සමග කරන ටෙලිපති නැතහොත් සිතකින් සිතකට සන්නිවේදනය කිරීමේ හැකියාව නිසාද?

‘‘එන්සයික්ලොපීඩියා ඔෆ් සයිකික් සයන්ස්’’ නමැති කෘතියේ නැන්ඩෝර් ප්රො ඩෝර් මෙසේ ප‍්‍රකාශ කර ඇත.

‘‘පයිපර් මහත්මියගේ වැඩ කටයුතු ප‍්‍රමාණාත්මක තරමින් වර්ණනා කර අවසන් කළ නොහැකිය. දශක කිහිපයක් පුරාවටම, වෙනත් කිසිදු සන්නිවේදකයෙකු පිළිබඳ නොකළ අන්දමින් ඇගේ සුපිරි බලයන් ඉතාම සියුම් අන්දමින් පරීක්ෂණයට ලක් කෙරිණි...’’

තවත් පුරෝගාමී පර්යේෂකයකු වූ හැරී ප‍්‍රයිස් ඔහුගේ ‘‘ෆිෆ්ටි ඉයර්ස් ඔෆ් ෆිසිකල් රිසර්ච්’’ හි මෙසේ සඳහන් කර ඇත.

‘‘අප පරීක්ෂණවලට ලක් කළ ශ්‍රේෂ්ටම අතරමැදියා ඇය වන්නට පුළුවන. පයිපර් මහත්මියගේ සාර්ථකත්වයට හේතුව නම්, නිද්‍රාවේදී ඇය සන්නිවේදනය කරන ආකාරයේ තිබෙන කුළුපග හා පෞද්ගලික ස්වභාවය වන්නට පුළුවන.’’

1950 ජූනි 3 වැනිදා, (වයස 93 දී) ලියනෝරා පයිපර් මිය ගියාය. ඇය සමග පර්යේෂණ පැවැත්වූ පුද්ගලයින්, විලියම් ජේම්ස් ඇය ගැන කියූ ප‍්‍රකාශයට එකඟ වූ බව කිවහැකිය.

‘‘දැන්, මෙතැන...අධි ස්වාභාවික දැනුමක් පවතින බව මට සහතික කළ හැකිය. එම දැනුම සම්භවය වන්නේ කොතැනින්ද යන්න අපේ භෞතික සංවේදනයනට ග‍්‍රහණය නොවේ....’’

 අන්තර්ජාලය ඇසුරෙන් -  නිසංසලා දිසානායක

Category:

sinhala.lakdiva news:
sinhala.lakdiva news

0 comments