පුංචි දඹදිව විහාරාධිපති දෙවිපහල දේවමිත්ත හිමි
ගිලීමලේ රජ මහා විහාරය සිරිපා භිමේ ට ඉතා කිට්ටු අතීත පූජා භූමියකි. ඒ අවට ප්‍රදේශයේ උඩුකුලාන, මස්කෙළිගඟින් එහා බටේපොළ, ලබුවාව, මාපලාන, පලාබද්දල, ගල්කඩුවමඩම, ඇඳිරිකැලේ ආදී ගම්මානවලත් ගැමියෝ එකාවන්ව අපට තොරතුරු බෙදති. එය අපට මහත් ම සතුටකි. ඒත් පුංචි දඹදිව විහාරාධිපති දෙවිපහල දේව මිත්ත හිමියන්ගේ තොරතුරු කෝෂ්ඨාගාරය තවමත් එහෙම ම ය . කල්තොට බුදුගල රජ මහා විහාරාධිකාරි බුදුගල සෝමරතන හිමියන් ද මා වෙනුවෙන් බොහෝ ‍තොරතුරු සපයනු ඇත. රත්ගඟ විහාරාධිපති දෙවිපහල දේවමිත්ත හාමුදුරුවන්ට යළිත් ඉඩ හසර හදමු.
“සබරගමු පළාතේ තිබෙන විශාලත ම ඒ වගේ ම ගුප්ත ම වන රක්ෂිතය මේ සිරිපාද වන රක්ෂිතයයි. මනුෂ්‍යයන් වගේ ම විවිධාකාරයේ අමනුෂ්‍ය්‍යන් ද ඉන්නවා. සමහරුන් තිසරණය රකින අය. සමහරුන් මස් මාංශ කන ජනතාවට හිරිහැර කරන අය. ඒත් මා විශ්වාස කරන අන්දමට මේ සිරිපා හිමේ එවැනි කෲරතර අමනුෂ්‍යයන් අඩුයි. වැඩිහරියක් ඉන්නෙ සමන් දෙවියන්ට ආවතේව කරන උන්වහන්සේ වෙනුවෙන් මේ වනය හා කූඨය රකින යක්ෂයින්.
l අමනුෂ්‍ය හූ හඬ තුනක්
බෑණ සමනළට දකුණු පැත්තට වෙන්නට තිබෙන ගල්ගුහාවේ අපේ බේබි සිඤ්ඤෝ නැවතුණ දවසක එක්තරා යක්ෂයෙක් පිළිබඳ අපූරු දෙයක් අසන්නට ලැබුණා. කෙම්මුර දවස්වලට මෙයා මේ කැලේ ගමන් කරනකොට මහා බියක් ඇති වන අන්දමේ යටිගිරියෙන් හූ හඬ තළමින් යන්නේ. මේ හූ හඬ ඇසුණු මහා හිමේ රාත්තිරියට ලගින මල් කපන්නන්, හකුරු හදන්නන් බොහෝ දෙනකුට පහුවෙනිදාට අනිවාර්යයෙන් ම සහලෝල උණ. මෙයා මා මුලින් කී අය අතර තෙරුවන් සරණ නොගිය කෙනෙක්. සමහරුනට දර්ශනය වෙලත් තියෙනවා. හැඩපලු ගෙතුණා වගේ දිග අවුල් සහගත කොණ්ඩයක්, රතු පාට ඇස් සහිත මේ යක්ෂයා දවසක් බේබි සිඤ්ඤෝ නිදා උන් ගල්ලෙන උඩටත් ඇවිත් යටිගිරියෙන් හූ තැළුවා. මෙයා හූ හඬ තළමින් යනකොට ගමේ මිනිස්සුත් ඒ හූ හඬට හිමිහිට වචනයක් මතුරනවා. ආයු බෝ වේවා! කියලා. ආයුෂ වර්ධනය වේවා. එහි අරුත. එහෙම නොකියා මේ හූ හඬ තුනට බීරන්තට්ටු වුණොත් එයාට පහුවැනිදාට උණ බස්සන්න ඇදුරෙක් හොයන්න වෙනවා. ඒත් කොච්චර දේවල් දන්නවා වුණත් මේ මර හඬට මිනිස්සු බයයි. යක්ෂයින්ගේ කතන්දර පටන් ගත් නිසා මේ හිමේ වසන යකුන් යක්ෂණියෝ ගැන තවත් පැත්තක් කියන්න අවශ්‍යයි.
l සියවටුක නම් යක් සේනාධිපති
සමන් දෙවියන් බුදුන්ගෙන් බණ අසා සෝවාන් වූ උත්තමයෙක්. උන්වහන්සේ මේ සිරිපා කූඨය හා මහා හිමය රැක ගන්නවා. එය වනසන්න එහි වැරැදි ක්‍රියාකාරකම් කරන්න පෙලැඹෙන සමහරුනට දඬුවම් කරන්නට යන්නෙ නෑ. එහෙම දඬුවම් කරන්න එතුමා නොගියත් ඒ කටයුතු කරන්න පිරිසක් මෙහි ඉන්නවා. සමන් දෙවියන් වෙනුවෙන් ඒ කටයුතු කරන්නෙ යක්ෂ සේනාපතියෙක්. එයාගෙ නම සියවටුක. බෑණ සමනළට උඩින් තිබෙන වන තලාව හා ගල්තලා තමයි ඒ යකුන් යක්ෂණියන්ගේ රජදහන. මා මේ ගැන කියාගෙන යන්නෙ හිතළුවට නොවේ. අදත් ධර්මරාජගලේ බවුන් වඩනා යෝගී භික්ෂුවක කියන ‍තොරතුරු අනුවයි. උන්වහන්සේ තමන්ගේ නම හෙළිකරන්න එපා කීවා. ඒ වගේ ම ඡායාරූප ලබා දෙන්නත් කැමැති නෑ, මේ සිරිපා හිමේ අසිරිය රැ‍කගන්න ඒවා සැඟවීම තිබෙන්න ඕනෑ බවයි උන්වහන්සේගේ අදහස.
l කරජ ශරීර
මේ යක්ෂයින් අතර බණ භාවනා වඩන අයද ඉන්නවා කිවහොත් ඔබ පුදුම වෙයි. මා මුලින් කී යෝගී භික්ෂුවට වියළි ආහාර හා වෙනත් කළමනා දායකයො ගිහින් තියන්නෙ වෙන ම තැනක. උන්වහන්සේ බවුන් වඩන ස්ථානයට පහසුවෙන් වන්දනාකරුවනට යන්න බෑ. ඒ නිසා උන්වහන්සේ ගේ අනුදැනුම අනුව වෙන ම ස්ථානයක මේ වියළි ආහාර ආදිය තබන්නේ. කොටින් ම සමහර විට මේ ආහාර උන්වහන්සේට උයා පිහා දෙන්නෙත් යක්ෂයින්මයි. මේ හිමියන් දවසට එක වේලයි වළඳන්නේ. උදේ ආහාර වේල පමණයි. ඒකත් උදේ හතයි තිහත් අටයි තිහත් අතර විතරයි. 20 වැනි සියවසේ ඔබ මේ කතා විශ්වාස නොකළත් කතාව ඇත්තයි. පෝය දාට ගමට වඩින මේ යෝගී හිමියන් කියන කතා අනුව අපට ඒ බව විශ්වාසයි. බුදු රජාණන් වහන්සේගේ සිරිපා ලකුණ හා සමන් දෙවියන් කෙරෙහි භක්තිය‍ පෙරදැරි කරගෙන ඉතා ම සැදැහැවත්ව කටයුතු කරන යකුන් යක්ෂණියන් මෙහි ඉන්නවා. ඒ අයට තිබෙන කරජ ශරීර කියලා තමයි උන්වහන්සේ හඳුනා ගන්නේ. ඉතාම කළු දුෂ්කර ලකුණු පෙන්වන, මහ විශාල අවලස්සන ශරීර ඔවුනට තිබෙනවා. ඒ අතීත අකුසල කර්ම නිසා. ඒ නිසා ඔවුන් ඉන් මිදීමටයි මේ වතාවත් කරන්නේ. මේ යකුන් යක්ෂණියන්ට වලසුන් කොටි ආදී වශයෙන් වෙස් මාරු කරගන්නත් පුළුවන්. අවස්ථාමය වශයෙන් සියවටුක නම් සේනාධිපති අණ අනුව ඔවුන් සත්ත්ව ස්වරූප ගන්නවා.
l යක්ෂයා සමඟ කතා බහක්
මේ යෝගී හිමියන් ධර්මරාජ ගල ළඟ එක්තරා ගුහාවක වැඩ වාසය කරන විට හිමියන්ට හිත එකඟ කරගන්න බැරිව ගියා මුල් දවස්වල. යකුන්ගේ බෑඟිරියත් නිසාම. ඒ නිසා උන්වහන්සේ රකින ශීලය භාවනාවට කැමැති යක්ෂයෙක් උන්වහන්සේ ගේ දෑස් මානයේ පෙනෙන්නට ම ඇවිත් හිමියන් භාවනා කරන තැනට සමීපයෙන් දහවල් කාලයේ නිදා ගන්නවා. රාත්‍රියට පිටවී යනවා. මේ විදියට දවස් ගණනක් ගතවෙද්දී උන්වහන්සේ හිතට ශක්තිය අරන් අර යක්ෂයා සමඟ කතා කළා. ඇයි? දවල්ට මෙහි නිදියන්නේ. රාත්‍රියට පිටවී යන්නේ... උන්වහන්සේ එසේ ඇසුවා. දහවල් මා ඔබ වහන්සේගේ භාවනාවට කවුරුන් හරි හිරිහැර කරාවි යැයි ඔබ වහන්සේ ආරක්ෂා කරනවා. රාත්‍රියට ඔබ වහන්සේට සැතපෙන්න දීලා මං ආහාර සොයාගෙන යනවා. යක්ෂයාගේ පිළිතුර වුණා. මෙය අදත් සිදුවෙන්නක් කිවහොත් නිවැරැදියි.
l දිවා ගුහාව
පලාබද්දල පතිරාජ පිරිවෙනේ තිබිලා මට හමුවූ පුස්කොල පොතක තියෙනවා. සමන් දෙවි හාමුදුරුවොයි බුදු හාමුදුරුවොයි දිවා ගුහාවේ තරමක සාමිචීයක සිටි බව. එහි කියැවෙනවා. පසුව එහි ම බුදුන් දිවා විහරණය කළ බවත්. සියවටුක කියන යක්ෂ සේනාධිපතියා තමයි මේ ස්ථානය සාමාන්‍ය ජනතාවට දැනගන්න ඉඩ නොතබන්නේ. රත්නපුර මහා සමන් දේවාලයේ ඇතුළු වන තැනම මකර තොරණේ සියවටුක නම් යක්ෂ සේනාධිපතියාගේ රූපයක් කොටා තිබෙනවා. ඕනෑ ම කෙනෙකුට බලාගන්න පුළුවන්. මේවා නිකමට මේ තැන්වල කෙටෙන්නෙ නෑ.
l ධර්මරාජගල
ධර්මරාජගල ගැන මේ පළාත්වල අපූරු ජනප්‍රවාද රැසක් තිබෙනවා. ඒවායින් සමහර ඒවා පිළිගන්නත් බෑ. ඒත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද පද්මය තබන්නට මෙහි වැඩි අවස්ථාවේදී සමන් දෙවි ප්‍රමුඛ දේව, බඹ, යක්ෂ සමූහයාට බණ කීවේ ධර්මරාජගල මුදුනතයි කියන මතයක් ද තිබෙනවා. පුරාණ ගැමියන් ඒ කතාව අදහනවා.
තවත් විශේෂ කතාවක් තියෙනවා. කහවත්ත බමුණුගම පැත්තෙ නිලමේ කෙනෙක් රාජ උදහසට ලක්ව දඬුවමක් ලැබුවා. ඒ සිරිපා නඟින්න එන බැතිමතුනට පහසු වන විදියට මේ ධර්මරාජගල කියන පෙදෙස සිට ඉහළට පඩිපෙළ කපන්න කියලා. මේ ගල් පඩිපෙළ සකස් කළේ ඒ නිලමේ. මේ ගල්පඩි පෙළ කපන්න කෙතරම් කාලයක් ගියාද කියන්නෙ නිලමේ වයසට පත්වුණා. අන්තිමේ නිලමේ ධර්මරාජගල තමන්ගෙ අසපුව කරගෙන තපස්වරයෙක් ලෙස ජීවත්ව මිය ගියා. ධර්මය වෙනුවෙන් ම කැප වී අවසාන මොහොත දක්වා ජීවත් වූ මිනිසා ජීවත් වූ ගල ධර්මරාජගල වූ බවයි ඒ මතය.
l මැද ඉන්න ගල්ගුහාව
මේ යකුන් යක්ෂණියන් තවත් රැ‍ඳෙන ගල්ගුහාවක් තමයි මැදඉන්න ගල් ගුහාව. එරත්න පාර හරහා සිරිපා වන්දනාවෙ යන විට මේ ගල් ගුහාව දකින්නට පුළුවන්. යෝගී චන්දිම හිමියන් අපවත් වන තුරු ම වැඩ උන්නෙ මේ ගල් ගුහාවෙ. මීට පෙර ලිපියක වලහා කෑ හාමුදුරුවෝ නමින් අප හැඳින්වුවෙ ඒ හිමියන් තමයි.
l වැඩ සිටි ඉසව්ව
ඒ හිමියන් වැඩ හිටි ඉසව්වට එදා මිනිසුන් වඳින්න ගියා. ඒක පසුව කරදරයක් වුණා. ඒ නිසයි අදත් වැඩ ඉන්න හිමිවරුන් තම ඉසව්ව නම් ගම් නොකියන්නෙ. අද වගේ නොවේ එදා ගෙත්තම් කිරීම පවා සිදුවුණේ. මට ඒ ගැන මතකයට ආවෙ හැරමිටිපාන හරියෙ අම්බලම් ගැන ඔබ ඇසූ නිසයි.
එදා පැමිණි පිරිස් නවතින්නේ මේ විශාල අම්බලම්වල. ඒ අය මේ අම්බලම්වල දවස් තුන හතර නවතිනවා. නැවතිලා උයා පිහාගෙන කාලා තමන් ගෙනාපු සුදු රෙදි මේ දවස් තුනේ ම මහලා ඒවා සීත ගඟුලේ සෝදලා වේලාගෙන නියම පිළිවෙලට අන්දාගෙනයි එදා මළුව කරුණා කළේ. අද එහෙම කරන්න බැරි බව ඇත්ත. දැන් නිකම් නූලක් ඇදගෙන යාමයි කරන්නේ.
l ලිහිණිහෙළ වලස් ප්‍රහාරය
මාතර ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් ඩොලැක්කි, මවුත්ඕගන් හා වෙනත් සංගීත භාණ්ඩ වයමින් ගී කියමින් විනෝදයට සිරිපා වන්දනාවට ආපු වෙලාවක සිදුවූ දෙයක් මේ. පලාබද්දල පාරේ සිරිපා රජ මාවත ඔස්සේ මහත් ඝෝෂා නංවමින් සිගරට් බොමින් මේ කට්ටිය එනවා. පහළ සිට හමුවන මිනිසුන් නොයෙක් අවවාද කළා. “‍ෙම්ක දෙයියන්ගෙ රට. මෙහෙම යන්න එපා. කරදර වෙයි දරුවනේ! කියා කෙස් පැහුණු වැඩිහිටියන් ද කීවා. ඒ කතාවලට කොලුවන් මේක කන්දක්. අපි ජොලියට යන්නෙ. ලොක්කා යන්න කියලා. ඒ මිනිසුන්ට සමච්චල් කැර කැර තවත් ඝෝෂා නංවමින් මේ අය ඉහළට එනවා. ලිහිණිහෙළ හරියට කිට්ටු කළා විතරයි. කොහෙන් ආ වලසුන් දෙදෙනකු ද දන්නේ නෑ. ‍ෙම් තරුණ පිරිස අතරට පැනලා අර වාචාල කතා කී මුලින් ම එන තරුණයාව හපා කනවා. එක් වලසෙකුගේ තියුණු දත් පහර වැදිලා අර තරුණයා ඇද වැටෙද්දි අනෙක් කට්ටිය යළිත් පහළට දිව්වා. අනෙක් කටමැත දෙඩවූ තරුණයා දිව්වෙ ඉහළ පැත්තට.
l ලේ පෙරන තුවාල
බිම වැටුණු තරුණයාව ඉවක් බවක් නැතිව හපා කෑ එක් වලසෙක් ආපසු හැරුණා පහළට දිවූ කට්ටිය අල්ලා ගන්නට වගේ. ඒ අය වැඳ වැටුණා සමන් දෙවි හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලගෙන. ඒ වතාවෙ වලසුන් දෙන්නා ම කැලයට වැදුණා. උඩට දිවූ පුද්ගලයාව සොයා බලන්න වෙලාවක් නෑ, නඩයේ කට්ටිය ලේ පෙරන තුවාලකරු අරගෙන පහළට වේගයෙන් ආවා.
ටික වේලාවකින් කන්දේ ඉහළ නැඟුණු උඩ පැත්තට දිවූ තරුණයා දැන් ආයිත් පහළට එනවා. වැඩි දුරක් එන්න ට ලැබුණේ නෑ වලස්සු නැවත මතු වුණා. එයාගේ තට්ටම් පෙදෙස, කලවා බරු ගහන්න පටන් ගත්තා. එයාගෙ මර විලාපය පහළ තුවාලකරු රැගෙන යන පිරිසටත් ඇහුණා. එයාත් වැඳ වැටුණා වලසුන් දෙදෙනාට. තරමක් හප කළාට පස්සෙ තමයි එයාව නම් අතෑරියෙ.
නඩය තුවාලකරුවන් ගෙන ගියා මිසක් සමනළ අඩවිය පැත්තට කවරදාවත් ආවෙ නෑ.
l කෑම වරදින්නේ නෑ
සිරිපා හිමේ අතරමං වන අය බොහෝවිට බේරෙනවා. ඒ බේරිච්ච අයගෙන් අහලා බලන්න. කවරදටත් ඒ අය දවස් 3 - 4 අතරමං වෙලා හමුවුණත් බඩගින්නෙ නම් ඉඳලා නෑ. ඔවුනට කොහොම හරි ආහාර ටික ලැබෙනවා. ඒකත් මේ හිමේ තවත් අසිරියක්. ඉදුණු අන්නාසි ගෙඩියක් හෝ කිසියම් පලතුරක් මේ අයට පෙනිලා තියෙනවා ඒ වෙලාවට.
මෙවැනි කතා පුවත් මේ ප්‍රදේශයේ බහුලය. සුමන සමන් දිව්‍ය රාජයා ලෙඩට දුකට බොහෝ පිහිට වන දෙවිඳකු බව ‍බොහෝ දෙනා කියති. “ඔය ආරුඪකාරයො, භූත, දිෂ්ටි, ආත්ම වැහුණු කට්ටිය සිරිපාදෙ ගෙනාවොත් ඒ අය එක්ක මළුවට නැංඟොත් ඒ ලෙඩ සනීප වෙනවා... සමනළ අඩවියේ අත්තම්මලා කියති.
l මහ ලොකු දේවි
සමන් දෙවියන්ගේ සහෝදරියක් ගැන ද බොහෝ ජනකතා මෙහි ප්‍රකටය. මහ ලොකු දේවිය නම් එතුමිය ද ලෙඩට දුකට පිහිටවන්නියක බව කියැවේ.
කල්තොට බුදුගල සෝමරතන හිමි වදාළ කරුණකින් අදට තිත තබමු.
එක්තරා දුප්පත් අහිංසක අම්මා කෙනෙක් තමන්ගෙ දුවට සිරිපා වන්දන්න කාලයක් තිස්සේ ම පෙරුම් පුරමින් හිටියා. ඒත් මේක කරගන්න බැරි මේ දුවට “ෆිට්” එක කියන ලෙඩේ හැදෙනවා. ඒත් මේ අම්මා හිතට දහිරිය අරන් දුවත් අරන් සිරිපා කරුණා කරන්න හිත හදාගත්තා. නඩේ ගුරාටත් කීවා. ගුරාත් සමන් දෙවියන්ට මහත් පුද පූජා පවත්වන කෙනෙක්. මේ අය කරදරයක් නැතිව උඩමළුව හරියට එන කොට ම අර තරුණියට ‘ෆිට්’ එක හැදුණා.
l‍අපස්මාරෙ
නඩේ ගුරා එතැන ම ඉඳන් සිරිපා පද්මය වඳින ගාථාව කියලා සමන් දෙවි අණයි. ආඥාවයි. මින් පස්සෙ ජීවත්ව සිටින තාක් දුවේ නුඹට මේ අපස්මාරය කියන ලෙඩේ හැදෙන්නෙ නෑ. ඒක සත්තයි. සහතිකයි. කියලා තමා හා පිරිස මෙහි පැමිණි රථයේ යතුරු කැරැල්ල ඇගේ අත තැබුවා. ඇය සනීප වුණා. දැන් අවුරුදු 8ක් පමණ ගතවෙලා තියෙනවා. මේ තරුණිය විවාපත් වෙලා දරුවොත් ඉන්නවා. එයාට ඉන් පස්සෙ ඒ ලෙඩේ නම් හැදුණේ නෑ. මේවා පුදුමාකාර දේවල්. කුඩා දවසේ ඉඳලා තුරුණු විය දක්වා ම නිතර හැදුණ ලෙඩේ එදායින් පස්සෙ අතුරුදන් වුණේ කොහොමද? කියලා ඔය විද්‍යාවට නම් හොයාගන්න බෑ.

සිළුමිණ 
ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ෆෙස්බුක් පිටුවට ලයික් කරන්න කරන්න
අංගම් පිඹීම නම් වූ මාරාන්තික මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව දන්නා අය වර්තමානයේ සිටින්නේ ඉතා ටික දෙනෙකි. ඈත අතීතයේ පටන් පැවත ආ මෙම මන්ත්‍ර ශාස්ත්‍රය අද භාවිතයට ගැනෙන්නේ නැත. ඊට එක් හේතුවක් ​ෙවන්නේ ඒවා සිදුකළ යකැදුරන් ​හෝ මන්ත්‍ර ශාස්ත්‍රඥයින් ජීවතුන් අතර නොමැතිවීමයි.   
අංගම් පිඹීම මීට දශක පහකට හයකට පමණ පෙර ඉතා තදින් ක්‍රියාත්මක වූ ප්‍රදේශ ගණනාවක් විය. පහළ ඌවේ බුද්ධම වැනි ප්‍රදේශවලත් දිගාමඩුල්ලේ වැව්ගම්පත්තු ප්‍රදේශයේත් මෙය ඉතා බහුලව ක්‍රියාත්මක වී ඇති ආකාරය අප කළ ගවේෂණයේදී දැන ගන්නට ලැබුණි.

අංගම් පොර ක්‍රීඩාවක් මෙන්ම මාරාන්තික සටන් කලාවකි. අංගම් පිඹීම මාරාන්තික කටයුත්තකි. එය ක්‍රීඩාවක් නම් නොවේ. තරහකාරයින්ගෙන් පළි ගැනීම පිණිසත්, තමන්ගේ බල පුළුවන්කාරකම පෙන්වීමටත් ඊර්ෂ්‍යාව නිසාත් එකල මෙය භාවිත කර තිබේ. මෙය අංගම් ඇරීම ලෙස ද හඳුන්වති. අංගම් ඇරීම සඳහා විවිධ ක්‍රම මෙන්ම විවිධ ද්‍රව්‍ය ද භාවිත කරන අතර අංගම් වර්ග කීපයක් ද වේ.   

ගම් වැසියන් භීතියට පත් කරමින් කාලාන්තරයක් පුරා පැවත ආ මෙම මාරාන්තික කටයුත්ත ඇසූ දුටු බොහෝ දෙනෙකු තවමත් උතුරු වැව්ගම්පත්තුවේ සහ දකුණු වැව්ගම්පත්තුවේ ජීවත්ව සිටිති. මෙම මාරාන්තික කටයුත්ත නිසා අතීතයේදී බොහෝ දෙනෙකු රෝගී තත්ත්වයට පත් වූ අතර ඇතැමුන් මිය ගොස් ඇති බව ද ඔවුහු පවසති.   

අංගම් පිඹීම පිළිබඳව ඇසූ පිරූ තැන් ඇති දකුණු වැව්ගම්පත්තුවේ (දමන) පදිංචි ඒ.එම්. ගුණරත්න මහතා (81) ඒ පිළිබඳව සඳහන් කළේ මෙසේය.   


‘‘අංගම් පිඹීම ගැන අපි කුඩා කාලේ ඉඳලා අහලා තියෙනවා. ඒ වගේම මම අවස්ථා කීපයකදීම දැකලා තිබෙනවා. මීට අවුරුදු පනහකට හැටකට එහාදී තමා මේ වැඩේ අපේ පැත්තේ කෙරුණේ. අංගම් ශාස්ත්‍රය දන්න ගුරුන්නාන්සේලාව කොයිම අවස්ථාවක දී හරි නොසලකා ඇරියොත් ඒ ගොල්ලෝ පළිගන්නේ අංගමක් ඇරලා තමයි. ඒ නිසා මුළු ප්‍රදේශයම ඒ ගුරුන්නාන්සේලාට බයයි.

එයාට අභියෝග කරන්න කවුරුවත් නෑ. ඒ නිසා එයා එක්ක කටයුතු කරන්නේ බොහෝම පරිස්සමින්. සමහර අය ගුරුන්නාන්සෙට කීයක් හරි දීලා තරහාකාරයෙකුට අංගමක් යවනවා. එක්කෝ තරහකාරයා මැරෙනවා නැත්නම් සදාකාලිකව රෝගාතුර වෙනවා.’’   

‘‘හොඳට වේළිච්ච ගම්මිරිස් අැට කීපයක් අතට අරගෙන කිසියම් මන්තරයකින් 108 වාරයක් මතුරනවා. ඊට පස්සේ ඒ ගම්මිරිස් ඇට කීපය කටේ දාලා හපලා කුඩු කර ගන්නවා. කුඩු ටික අතට අරගෙන අල්ලේ තියාගෙන අංගමට හසුකර ගන්න ඕනෑ කෙනා හෝ කණ්ඩායම ඉන්න පැත්තට පිඹිනවා. හැබැයි හුළං අත බලලයි පිඹින්නේ. එහෙම නොවුණොත් ඒ කුඩු තමන්ට හෝ තමන් ඉන්න පැත්තේ සිටින වෙන කාට හරි ආග්‍රහණය වුණොත් තමන් ඇතුළු හැමෝටම අංගම වදිනවා.   

අංගම පිම්ඹට පස්සේ ඒ කුඩු ආග්‍රහණය වෙන කෙනා හෝ පිරිස නහයෙන් කටින් ලේ දාගෙන වැටෙනවා. ඊට පස්සේ මී මැස් මොරය හැදුනා වගේ දඟලනවා. ඒ කාලෙ අංගම් ඇරීම වැඩි වශයෙන්ම සිද්ධ වෙන්නේ පන්සල්වලදී. පිංකම් දවස්වලදී පන්සල්වල සෙනග වැඩියි. ඉතින් අඩ අඳුරේම සෙනග අතර ඉඳගෙන තමා මේ දේ කරන්නේ. එතකොට කරන කෙනාව හොයා ගන්න බෑ. ඉතින් මේ විදිහට අංගමක් වැදිලා දඟලන කෙනෙක් ළඟට වෙනත් කෙනෙක් ලේසියකට කිට්ටු නොවෙන්නේ බයටමයි.   

අංගම වැදුනට පස්සේ බය නැති කවුරුන් හෝ ඔහු ළඟට කිට්ටු වෙලා උදව් කරන්න උත්සහ කරනවා. ඔය අතරේ කවුරු හරි ගුරුන්නාන්සේ කෙනෙක්ව හොයනවා. ඉතින් ඒ මොහොතේ පන්සලේ ගුරෙක් හිටියොත් මතුරලා අර පුද්ගලයට හෝ කීප දෙනාට වතුර ඉස්සහම ඒ අය නින්දෙන් අවදි වුණා වගේ නැගිටිනවා.   

ඒ මොහොතෙ පන්සල් බිමේ හිටියේ අංගම ඇරපු ගුරුන්නාන්සෙ විතරමනම් කවුරුත් දන්නවා මේක කළේ එයා කියලා. නමුත් ඒ බවක් අඟවන්නේ නැතිව එයාටම ගිහින් කියනවා, කවුදෝ අංගමක් පිඹලා තියෙනවා. සනීප කරලා දෙන්න කියලා. ඉතින් එයා වීරයා වගේ ඇවිල්ලා මතුරලා රෝගියා සුව කරනවා. එහෙම නොවුණොත් රෝගියාව ගෙදර එක්කරගෙන ඇවිල්ලා වෙනත් ගුරුන්නාන්සෙ කෙනෙකුට කියලා සනීප කරවනවා.’’   


‘‘ඒ කාලෙ අංගම් අරින ගුරුන්නාන්සෙ කෙනෙක් අපේ පැත්තේ හිටියා. එයාගෙ අතේ නිතරම රෙදිවලින් මහපු පොඩි බෑග් එකක් තියෙනවා. ඒ කාලෙ මේක හැඳින්වුණේ බුලත් කොක්කනේ. නැත්නම් කූරුපයිය කියලා. බොහෝ දෙනෙක් මේ වගේ බෑග්වල බුලත් පුවක් හුණු දුංකොළ දාගෙන යනවා. මේ නිසා බුලත් කොක්කනේ කියලත් හඳුන්වනවා. මේකෙ කට වටේට නූලක් තියෙන්නේ. වහන්න ඕනෑ වුණාම හොඳට ඇඳලා ගැටයක් ගහනවා. ඉතින් මේ ගුරුන්නාන්සේ මේක ඇතුළේ අංගම් අරින්න ඕනෑ කරන දේවලුත් දාගෙන තමා ඉන්නේ. ගම්මිරිස් ඇට, ඉඟුරු අල, කුඩු වගේ බෝල හතුවල වේළුණු බෝලය වැනි කොටසත් දාගෙන ඉන්නවා. මේ බෝලය වගේ කොටස දාගෙන ඉන්නේ හුළං අත බලා ගන්න. ඒක අතින් මිරිකුවාම ඒකෙ තියෙන දූවිල්ල දුමක් වගේ හුළං අත තියෙන පැත්තට පාවෙනවා. තමන්ට අවශ්‍ය පැත්තට හුළං හමනවානම් අංගම අරිනවා. ගම්මිරිස් කුඩු ඇරුණම ඉඟුරු කුඩුත් මතුරලා පිඹිනවා. සමහර විට මේ ද්‍රව්‍ය කලින් මතුරගෙනත් යනවා. සමහර වෙලාවට මේ ගුරුන්නාන්සේ තමන්ට අරියාදුවක් වෙන තැනකදී වුණත් අංගමක් අරිනවා.’’   

‘‘අංගම් වැදිලා මිනිස්සු නහයෙන් කටින් ලේ දාගෙන වැටුණු අවස්ථාවක් මම දීඝවාපි පන්සලේදී දැකලා තියෙනවා. ඒ වෙලාවේ ගුරුන්නාන්සේ කෙනෙක් ඉදිරිපත් වෙලා වතුර මතුරලා මූණට ඉස්සට පස්සේ වැටුණු කෙනා පියවි තත්ත්වයට ආවා. ඉස්සර ගොඩක් මිනිස්සු පින්කම්වලට දීඝවාපි යන නිසා ගොඩක් සෙනග ගැවසෙනවා. ඔය අතරේ තමන්ගේ තරහාකාරයා හිටියොත් අංගම අරිනවා. අංගමක් නිසා රෝගී වුණ අයෙක් සනීප කරන ගුරුන්නාන්සේට තෑගි බෝග පුද පඬුරු දෙනවා’’   

අංගම් පිළිබඳ කරුණු සොයා බැලීමේ දී එකල මේවා සිදු කළ ගුරුන්නාන්සේලා කීප දෙනෙකු පිළිබඳව ද කරුණු වාර්තා විය. පහළ ඌවේ කඳංකැටිය ගමේ නංහාමි නම් ගුරුන්නාන්සේ ද දිගාමඩුළු දකුණු වැව්ගම්පත්තුවේ සුදු බණ්ඩා නම් වූ ගුරුන්නාන්සේ කෙනෙකු ද තොට්ටම ගමේ රද්දැල්ලේ නම් ගුරුන්නාන්සේ කෙනෙකු ද මෙම අංගම් ඇරීම බහුලව සිදුකර ඇත. සුදු බණ්ඩා ගුරුන්නාන්සේව එකල හඳුන්වා තිබෙන්නේ ‘පරිෂාරි’ ලෙසිනි. වෙද මහතාව දෙමළෙන් හඳුන්වන්නේ පරිෂාරි යනුවෙන් නිසා එනම ලැබී ඇත. යාබද දෙමළ මුස්ලිම් ගම්වල අය ද ඔහු​ෙගන් යම් ප්‍රතිකාර ලබාගෙන ඇත. පරිෂාරි පහළ ඌවේ යකුන්නොහෝ නම් ගම්මානයක සිට පැමිණි අයෙකු නිසා යකුන්නැහේ ලෙසින් ද හඳුන්වා ඇත. ඔහු යකුන් බැඳගෙන වැඩ ගන්නා නිසා මේ නම ලැබී ඇති බව ද එකල ඇතමුන් පවසා තිබේ.   

පැරැන්නෝ පවසන ආකාරයට අංගම් වර්ග කීපයකි. ‘උඩ තිරිංග’ නම් අංගම යැවූ විට එය වදින කෙනා තරමක් උඩ විසි වී බිම වැටේ. ‘සූරිය තිලක්කම’ අංගම රාත්‍රි කාලයේ යැවූ විට හිරු පායන විට අංගම ක්‍රියාත්මක වේ. ‘නර වැදීමේ’ අංගම තවත් අංගමකි. රත් හඳුන්, සුදු හඳුන් ගල හා මතුරා ඒවා අත්ලේ ගා අංගම යැවිය යුතු පුද්ගලයාට දෑත් එකතු කර ‘ආයුබෝවන්ඩ’ කියමින් ඔහුගේ සෙවනැල්ල පෑගු විට ඔහුට අංගම වැදේ. එසේම නූල් මතුරා යන එන පාරේ තැබූ විට ඊට උඩින් පා තබා යන කෙනාට එම අංගම වැදේ. පරැන්නෝ පවසන ආකාරයට ‘රීරිකඩවර පුපුරාඩිය යක්ෂණියගේ පුපුරාඩිය අංගම’ නම් වූ අංගම වැදුණු විට කන් අඩි පුපුරා ලේ ගලනා බව ද කියැවේ.   


අංගම් පිළිබඳ ඉතා හොඳින් දන්නා තවත් අයෙකු දකුණු වැව්ගම්පත්තුවේ කීනවත්ත ග්‍රාමයේදී මට හමු විය. හෙතෙම රන්පටබැඳි මුදියන්සේලාගේ ගුණවර්ධන (85) මහතාය.   

‘‘දමන හිටපු පරිෂාරි තමා අංගම් පිඹින්න දක්ෂයා. හැබැයි කවුරුවත් ඒක අනුමත කළේ නෑ. අංගමක් පිම්ඹම පරිෂාරි ඒකටත් වෙදකම් කරනවා. නූල් දානවා, වතුර මතුරනවා. දෙහි මතුරනවා. මිරිස් වතුර මතුරනවා. අංගම් පිඹිනකොට ඒකෙ බලය අඩු වැඩිවෙන්නේ මතුරන වාර ගණන අඩු වැඩි කරන ප්‍රමාණය අනුවයි. අංගමක පිඹින්න ගම්මිරිස් ඇට තුනක් මතුරන අවස්ථාවලුත් තියෙනවා. සමහරු 27 වාරයක් 54 වාරයක් 108 වාරයක් මතුරන්නේ බලය අඩු වැඩි වෙන්න. 27 වාරයක් මතුරලා පිම්ඹම ඇති වෙන්නේ සාමාන්‍ය රෝගී තත්ත්වයක්. ඒ කාලේ නඛා වෙහෙර (දීඝවාපියේ) හරි මහියංගණයේ හරි පින්කම් බලන්න යනකොට හුඟාක් ගෑනු පිරිමි ගුරුන්නාන්සේ කෙනෙකුට කියලා දෙහි ගෙඩියක් මතුරගෙන අරගෙන තමයි යන්නේ. සමහරු ඒක ඉනේ ගහගන්නවා. එහෙම කරන්​ෙන් අංගමක් වැදුණත් වෙන හානිය වළක්වා ගන්න. අංගමක් වැදිලා තිබුණනම් ඒ දෙහි ගෙඩිය දුඹුරු පැහැ ගැන්විලා තියෙනවා. ඉඟිනියාගල සේනානායක සමුද්‍රය හදන්න කලින් අපි හිටියේ සේරුවත්ත කියන ගමේ. ඒ ගමෙත් අංගම් පිඹින ගුරෙක් හිටියා.’’   


අංගම් පිළිබඳව ඉතා හොඳින් දන්නා උතුරු වැව්ගම්පත්තුවේ පරගහකැලේ ග​ෙම් පදිංචි කේ.ඇම්. අප්පුහාමි (81) මහතා අදහස් පළ කළේ මෙසේය.   

‘‘අංගම් කියන්නෙත් හූනියං, කොඩි විනවලට අයත් දෙයක්. මේ අංගම් පිඹීම පහසුවෙන්ම කරන තවත් තැනක් තමා තොවිල් පොලවල්. ඒ කාලෙ වැව්ගම්පත්තුවේ මිනිස්සු ලෙඩට බෙහෙත් හොයනවාටත් වඩා කළේ තොවිල් කටයුතු සහ වෙනත් ශාන්ති කර්ම. ඉතින් ඒ තැන්වලට ගමම එනවා. වැඩි වශයෙන්ම මේවා කළේ රාත්‍රි කාලයේදී මේ තැන්වලට එන අංගම් පිඹින ගුරෝ ගමන්ගේ කාරිය කරගන්නවා. උඩු හුළඟ බලා ගන්න ක්‍රමයක් තමා සුරුට්ටුවක් හරි බීඩියක් හරි පත්තු කර ගන්න එක. ඒකේ දුම යන පැත්ත අනුව උඩු හුළඟ හොයාගන්න පුළුවන්. සමහර ගුරුන්නාන්සේලා අංගම සැරට වද්දන්න ඕනෑ වුණාම අඨෝ රාශියක් මතුරනවා. අඨෝ රාශියක් කියන්නේ 108 ඒවා තුනක්. අංගමක් වැදුණ කෙනෙකුට මතුරලා පියවි සිහිය ගත්තාට වැඩක් නෑ. ඒක තාවකාලිකයි. ඒ නිසා පසුව හොඳ ගුරෙකුට කියලා සනීප කරව ගන්න ඕනෑ.’’   

‘‘අංගමක් වැදුණම සමහරු උමතුවෙන් වගේ හැසිරෙනවා. කන්නේ බොන්නේ නෑ. දොඩවනවා. මහ හයියෙන් කෑ ගහනවා. නිතර ක්ලාන්තය සිහිය නැතිවීම වගේ රෝගාබාධ සිදු වෙනවා. ඒ නිසා හරි ප්‍රතිකාරයක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඒක දිගු කාලයක් නිධන් ගත රෝගයක් බවට පත්වෙලා ලෙඩා මිය යනවා. එහෙමත් නැත්නම් සදාකාලික රෝගියෙක් බවට පත්වෙනවා. ඒ කාලේ මේවට ගරුන්නාන්සේලා මඟින් තමයි ප්‍රතිකාර කළේ. එක්කෝ දෙහි මතුරලා ලෙඩාගේ හන්දිවලට අල්ලලා කපනවා. මතුරනකොට ලෙඩාගේ ඔළුවේ නළල දෙපැත්තේ නිළ අල්ලලා තමා මතුරන්නේ. නැත්නම් නූලක් මතුරලා ලෙඩාගේ ​ඉනේ හෝ කරේ ගැටගහනවා. ලෙඩා සනීප කළාම ගුරාට ශත 25ක් හෝ පනහක් දෙනවා. තව තව තෑගි භෝග දෙනවා.   

මතු සම්බන්ධයි...

සටහන 
දිගාමඩුල්ල සමන් දිසානායක   

ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ෆෙස්බුක් පිටුවට ලයික් කරන්න කරන්න