නලින් මුණසිංහ
ඈත ඈත අතීත ඉතිහාස සුවඳ නලින් මුණසිංහගේ හදවතට දැනෙන්නට ගත්තේ ඔහු පුංචි අවදියේ පටන් ය. ඉස්කෝලේ ප‍්‍රදර්ශනවලට අනෙකුත් ළමුන් විවිධාකාර වූ නව නිර්මාණ ඉදිරිපත්  කරද්දී නලීන් අමුතු වැඩක් කළේය. ඒ පැරණි කාසි, පැරණි මුද්දර, ජනකලා භාණ්ඩ මෙන්ම පාසල් ළමුන්ට වැදගත් විය හැකි පොතපත  වැනි දේ ප‍්‍රදර්ශනයට තැබීමයි. පුංචි හිතින් ඔහු කළ ඒ ක‍්‍රියාව බොහොමයක් දෙනාගේ කතාබහට ලක්වුණේය.
ඔහුගේ පැරණි බඩු භාණ්ඩ, කලාප තරග දක්වාත් ගියේය. එයම ඔහුගේ අතීත ඇල්මට දිරියක්  කරගත් නලින්  උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබද්දී 1999 වසරේදී ඉගෙනගත් පාසලේ අඩි 100ං30 ශාලාවක් පිරෙන්න තනිවම විශාල ප‍්‍රදර්ශනයක් කළේය. ඒ ප‍්‍රදර්ශනයට ඔහු රැුස්කළ පැරණි බඩු භාණ්ඩවලට අමතරව අතීතයේ අපේ මුතුන් මිත්තන් පාවිචිචි කළ මුළුතැන්ගෙය, දුම් මැස්ස, වී බිස්ස වැනි පැරණි සාම්ප‍්‍රදායික භාණ්ඩ සහ ජනකලා භාණ්ඩ වැනි දේද නරඹන්නට එක්කර තිබුණි. කාගෙත් කතා බහට, ඇගයීමට, පැසසුමට ලක්වුණ මේ ප‍්‍රදර්ශනය නලින්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය. ඒ ඔහු ඇලූම් කරන ඉතිහාසයෙන් අපට ඉතිරිව ඇති අතීත ජනකලා භාණ්ඩ සහ සංස්කෘතික භාණ්ඩ සහ අතීත වටිනාකම් ජීවිතයට බද්ධ කරගෙන ඔහුගේ ජීවිත ගමන යන්නටයි.
එතැන් පටන් පාසල් සිසුවකු වූ  නලින්ට ලංකාව පුරාම පාසල්වලින් හා විශ්ව විද්‍යාලවලින් ඇරයුම් ලැබෙන්නට ගත්තේය. ඒ ඔහුගේ ප‍්‍රදර්ශනය පාසල්වල සහ විශ්වවිද්‍යාලවල පෙන්වන්නටයි. මිතුරන් සමග ඒ හැම තැනකටම සිය බඩු භාණ්ඩ රැුගෙන යන නලින් නොමිලේ ප‍්‍රදර්ශන පැවැත්වුවේය. ඒ  ‘හෙළ අරණේ මං සලකුණු’ නමිනි. එදා මතුගම සාන්ත මේරි මහා විද්‍යාලයේ ඉගෙන ගනිමින්‘ හෙළ අරණේ මං සලකුණු ‘  ප‍්‍රදර්ශන පවත්වමින් රටවටා ගිය නලීන් අද  අධ්‍යයන කෞතුකාගාරයක හිමිකරුවකු ද වී සිටියි.
”අපේ ජනකලා භාණ්ඩවලට, පැරණි බඩු භාණ්ඩවලට මං ආදරේ කරන්න ඇලූම් කරන්න ගත්තෙ පුංචි කාලේ ඉඳලා.  ඒ ඇයි කියන්න මං දන්නෙ නෑ.  මං යන්නෙ කොහෙද, මගෙ අත යන්නේ, ඇහැ යන්නේ, හිත යන්නෙ එතැන තියෙන පැරණි බඩුභාණ්ඩ වලටයි. ඔය යන එන ගමන්වලදී ඒ ගෙවල්වල අයට ප‍්‍රයෝජනයක් නැත්තම් මං ඒවගේ තියෙන කඩදාසි කොළයක් හරි ඉල්ලගෙන එනවා. පුංචි කාලෙ නම් මම පාරෙ ගියත් හේදිලා ගිය වළං කටු, පිඟන් කටු, පරණ ඇණ වගේ ඒවා ඇහිදලා එකතු කරනව. මුල්කාලේ ඉස්කෝලවල  ප‍්‍රදර්ශන  තිබ්බම සමහරු ප‍්‍රදර්ශනය අවසානේ එවැනි වටිනාකම් ඇති කාසි, මුද්දර, ලිපිලේඛන, පොතපත,  පින්තූර වගේ ඒවා ගෙනල්ලම මගෙ අතට දෙනවා. එහෙම  එකතු වුණ ගොඩක් දේවල් මං ළඟ  ඒ වෙනකොට තිබුණා. ජන ජීවිතේ ගැමි සුවඳ විඳිමින් අතීතයට යන්න පුළුවන් මේ පැරණි භාණ්ඩයක් අතේ තියාගෙන හිටියම..”
නලින් පාසල් සිසුවකු කාලයේදීම කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් පුරා විද්‍යා අංශයත්, ජාතික කෞතුකාගාරයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, පුස්තකාලත් ඇසුරු කළේ ඒවාට  යමිනි එමිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ අංශයේ සමහර ගවේෂණවලට ඔහුව සම්බන්ධ කොට  ඒ පිළිබඳ  මූලික දැනුමක් ද එකල ගවේෂණ අංශයේ ප‍්‍රධානී සෙනරත් දිසානායක මහතා ඔහුට ලබා දුන්නේය. නලීන් බස්නාහිර පළාත්, වයඹ පළාත්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පළාත් ප‍්‍රදර්ශනවලට ද දායක වුණේය.
මේ සියලූ දෙනා  සමග අත්වැල් බැඳගෙන ඉතිහාසයේ ඈතට යන්නට පුළුවන් බවක් නලින්ට දැනුණේය.
”එක කාලයක් මම අනුරාධපුරය, පොළොන්නරුව වැනි පැතිවලත් ඇවිද්දා. ගිනි සිසිල, යාතුකර්ම, ශාන්ති කර්ම පිළිබඳ සොයා බැලූවා. මතුගම සෙනෙවිරුවන් අයියා එක්ක එකතුවෙලා පස්දුන් කෝරලේ වැළලී ගිය ඓතිහාසික  ස්ථාන ගැන හොයලා  පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවට දුන්නා. මම උසස් පෙළට ඉගෙන ගත්තේ කලා අංශෙන්. ඒ වෙනකොට මම බාලදක්ෂ ව්‍යාපාරෙටත් සම්බන්ධයි. බාලදක්ෂයෙක් විදිහට ජනාධිපති පදක්කමයි, මානවක බාලදක්ෂ පදක්කමයි දෙකමත් ගත්තා. පරිසරය ගහකොළ ඇළදොළ එක්ක බැඳීම ඇතිවෙන්න ඒකත් හේතුවක් වුණා.
උසස් පෙළින් පස්සෙ මතුගම ප‍්‍රාදේශීය ලේකම් සිසිර ප‍්‍රියදර්ශන මහතා මාව ජනකලා කේන්ද්‍රයට සම්බන්ධ කළා.  එතැන අධ්‍යක්ෂවරිය වූ සෝමා ගුණසේන මහත්මියට  ඕනැවුණේ එතැනට ජනකලා කෞතුකාගාරයක් හදන්න. මාව එතැන රඳවගෙන හිටියෙත් ඒකයි. ඒත් එතුමිය අකාලෙ නැතිවෙනවා. මම එතැනින් අයින් වෙනවා. ඒ කාලෙ පැරණි ශිල්ප ගම්මානවල සම්බන්ධතා ඇතිකරගන්න පුළුවන් වුණා.මේ අතරතුරෙත් මම පාසල්වල මගේ පුරුදු ප‍්‍රදර්ශනයත් තියාගෙන ගියා..”
පියා කුරුණෑගල ප‍්‍රදේශයේ වතුපාලකයෙකුව සිටියද නලින්ගෙ මව සිටියේ සිංගප්පූරුවෙ රැුකියාවක් කරමිනි. දියණියන් සිව්දෙනා ගැන බියක් ඇති කර නොගත් ඇය නලින්ව එරටට ගෙන්වාගෙන උගන්වන්නට හැදුවාය. නලින් ඉගෙනීමේ යෙදුනේ මාස තුනක් පමණය. ඔහු ඒවා අතැර යළි ලංකාවට ආවේය.
” මට තොරතුරක් ලැබෙනවා රත්නපුරේ පතල්වලින් වඳවී ගිය සත්ත්ව කොටස් හම්බවෙනවා කියලා. මම ඒ ගැන පර්යේෂණයක් කරන්න රත්නපුරේට ගියා. ගමින්ගමට ඉබාගාතෙ වගේ මාස තුන හතරක් ඇවිද්දා. පතල්වල කෑම කකා ඔවුන් එක්ක නැවතිලා ඉඳපු ඒ කාලෙ අපතේ ගියෙ නෑ. වඳ වී ගිය රයිනෝසිරස්, කඟවේනා, ගවරා,හිපපොටේමස්, අලිවර්ග, විවිධ ක්ෂීරපායි සතුන්ගේ ප්ලයිස්ටෝසීන අවදියේ දත් වර්ග, අස්ථි කොටස් එකතුවක් මට හම්බ වුණා. ඒවත් මගේ කෞතුක භාණ්ඩ එකතුවට එක්වුණා.
මං මුලින්ම අවබෝධයක් ඇතිකරගත්තා කෞතුක භාණ්ඩ විදිහට මට මොනවද ළඟ තියාගන්න පුළුවන්, බැරි මොනවද කියලා. ආසාව තිබ්බට පුරා විද්‍යා වටිනාකමක් ඇති කිසිදෙයක් අපට ළග තියාගන්න බෑ කියලා ඒ කාලෙත් මං දැන සිටියා. මම ගොඩක් දුරට එකතු කළේ ගම්බද මිනිස්සු විසිකරන, නැත්තම් එයාලා ළඟ තියාගෙන ඉඳලා කැමැත්තෙන් මට දුන්න ඓතිහාසික, සංස්කෘතික වටිනාකමක් තියෙන දේවල්.
දවසක් මම ලොකු වැස්සක  බයිසිකලෙන් එද්දි පාරෙ විසි කරපු කුණු බෑග් එකකින් පිටට පේනවා පරණ මුද්දර, කුවිතාන්සි, ලියකියවිලි වගේ ඒවා. මම තෙමි තෙමීම බයිසිකලේ අයිනක නවත්තලා කුණු බෑග් එක ඇවිස්සුවා. මට වැදගත් වසර ගණන් පැරණි මුද්දර ඇතුළු මට වටිනා පැරණි ලිපි ලේඛන රැුසක් එතැනින් ලැබුණා. ඒ වගේම මගෙ සීයගෙන් මට වෙද පුස්කොළ පොත් රැුසක් ලැබුණා. ඒ වගේම ගමේ මුල් යුගයේ හිටපු අයගෙ පුස් කොළපොත් ලැබුණා. පරම්පරා 10 ක පුස්කොළ පොත් පොත්පත් අපේ කෞතුකාගාරය සතුයි. ”
ඒ අයුරින් වර්ග කළහොත් නලින්ගේ කෞතුකාගාරයේ අපේ ජනකලා භාණ්ඩ, පැරණි ගොවි උපකරණ, කාසි හා නෝට්ටු, පබලූ හා වෙස් මුහුණු, එක්දහස් අටසිය ගණන්වල පටන් අත් පිටපත් හා මුද්‍රිත ලියවිලි, පැරණි පුස්කොළ පොත්, එදා සාමාන්‍ය ජනජීවිතයෙ ගෙදරක තිබූ භාණ්ඩ, සත්ත්ව පොසිල,පාෂාණ වර්ග වැනි වටිනා කෞතුක භාණඩ රැුසක් ඇත. කෞතුක භාණ්ඩ එකතු කරමින් පාසල් දරුවන්ගේ දැනුමට නොමිලේ ප‍්‍රදර්ශන පවත්වමින් සිටි නලින් ඒ සියල්ලෙන් ඈත්ව 2005න් පසු වසර කීපයකට බැ?රුම් රාජකාරියකට යොමු වුණේය. ඒ වැදි ජනතාව වෙනුවෙන්  කෞතුකාගාරයක් හදන්නට දඹානට යෑමයි.
”මතුගම සෙනෙවිරුවන් අයියා උදුල බණ්ඩාර ඖෂධහාමි මහත්තයාව සම්බන්ධකරලා දුන්නා. මේ කෞතුකාගාරෙ අභ්‍යන්තර ප‍්‍රදර්ශනාවලිය සැලසුම් කරලා දෙන්න කියලයි කිව්වෙ. මම දඹානට ගියාම ලොකු ආසාවක් ඇතිවුණා. 2005 දෙසැම්බර් 12 දඹානට ගිහින් 2006 අගෝස්තු 09 ආදිවාසීන්ගෙ දිනයට කෞතුකාගාරෙ හදලා ඉවර කරන්නත්  ඕන වුණා. ”
නලින් ඒ අභියෝගය ජයගත්තේ මහත් වෙහෙසක් දරා ඒ කෙටි කාලය තුළ වැදි ජනජීවිතයට සම්බන්ධ කෞතුක වස්තූන් ද සොයා ගනිමිනි.එතෙකින් නොනැවතුණ නලීන්  වැදි ජනතාවගේ නොවිසඳුණු ප‍්‍රශ්න ගැටලූ නිරාකරණය කරදෙන්නට රජය සමග ද සම්බන්ධ වුණේය.
”ඒ අතරේ නැගෙනහිර පළාතෙම ඇවිද්දා වැදි ගම්මාන හොයමින්. ඊට පස්සෙ දඹානෙ, රතුගල, පොල්ලෙබැද්ද කලාපය නැවත ආවරණය කරලා වාකරේ ලොකු වැදි උත්සවයකුත් තියන්න පුළුවන් වුණා. 2011 මම නැවත දඹානෙන් ආවා ඒ රාජකාරියෙන් අයින් වෙලා. ඊට පස්සෙ කැලණිය විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා වැදි ජනතාව සම්බන්ධව පොත්පත් ලිව්වා. සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතාත් මහාචාර්ය මහලියනාආරච්චි මහතාත් එක්ක  ජන අධ්‍යයන කේන්ද්‍රයක් පටන් ගත්තා. ඒ අතරතුරෙත් මම වරින්වර පාසල්වල ප‍්‍රදර්ශන තිබ්බා දැයේ දුවා දරුවන්ගෙ දැනුම පුළුල් වෙන්න. ඇත්තටම මම මේ ප‍්‍රදර්ශන තැබීමත් සේවයක් කොට කරන්නෙ. එහෙම ප‍්‍රදර්ශන තියන තැන්වලින් අපි ඉල්ලන්නෙ භාණ්ඩ ප‍්‍රවාහන පහසුකම සහ ඒ ප‍්‍රදර්ශන කමිටුවේ සහභාගිවන කීප දෙනාට කෑම ටිකක් විතරයි. සමහර භාණ්ඩ ප‍්‍රවාහනයේදී විනාශවන නිසා අපි හැමදේම ගෙනියන්නෙ නෑ. ඒ හැම දේම බලන්න  ඕන නම් මෙතන කෞතුකාගාරයට එන්න පුළුවන්. මෙතන තවත් වැඩසටහන් කෙරෙනවා. මාසෙකට දෙකකට වරක් පැරණි වෙදවරු ගෙන්නලා අපි වෛද්‍ය සාකච්ඡුා තියනවා. ඒවා පටිගත කරලා මෙතන එකතුවක් හදනවා. මේ වෙනකොට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ක අවබෝධතාවයකට ඇවිත් එකතුවෙලා වැඩ ටිකක් කරගෙන යනව. පර්යේෂණ කටයුතුවලට සහ උපාධි අපේක්ෂකයන්ට නිබන්ධන සඳහාත් මේ සම්පත්වලින් ප‍්‍රයෝජන ගන්න පුළුවන්. මෙතන ඉගෙනගන්න  ඕන කෙනෙකුට විවෘතයි. මට  ඕන ඇත්තටම මේක අධ්‍යයන කෞතුකාගාරයක් කරන්නයි..”
තනි මිනිසකු ලෙස බොහෝ වෙහෙස වෙමින් අවුරුදු විසි පහකටත් වැඩි කාලයක් තිස්සේ නලින් ගොඩනැගූ මේ අධ්‍යයන කෞතුකාගාරයේ අනාගතය ගැන දැන් ඔහු සිත ඇත්තේ අවිනිශ්චිත තාවයකි. ඒ ඔහුගෙන් පසුව මෙය රැුක ගන්නේ කෙසේද කියාය.
”ලංකාවෙ කෞතුකාගාර  ඕනතරම් තියෙනවා. මට  ඕන ඉදිරියටත් මේක” ”ජනකලා අධ්‍යයන කෞතුකාගාරයක්” විදිහට හැමදාමත් පවතිනවා දකින්නයි. මගෙ දරුවෙක් මේක පවත්වගෙන යයිද නොයයිද කියන්න මං දන්නෙ නෑ. මට බැරිකාලෙක මේක රටට බාර දෙන අදහසක් මට තියෙනවා.
ඒ දවස්වල මගෙ වත්කමේ හැටියට මගෙ පන්ති ගාස්තු පවා වැය කරලා ගත්ත පුංචි පුංචි දේවල් මෙතන තියෙනවා. මේවා විකුණලා ජීවත්වෙන්න මගේ අදහසක් නෑ.
සමහර මිනිස්සු මේ දේවල් එකතුකරලා ලොකු ගෙවල් ඇතුළෙ විසිත්ත කාමරවල. තියාගෙන තනියම රස විඳිනවා. එසේ විය යුතු නෑ. මේවා අපේ මුළු ජාතියටම අයිතියි. මම මේවා එකතු කළාට මට අයිති නෑ. ආරක්ෂා කරන එක විතරයි මම කරන්නේ.
මට ජනතාවගෙනුත් ඉල්ලන්න එක දෙයක් තියෙනවා. මේ වගේ පුංචි පුංචි අතීත දේවල් ඔබ සතුව තියෙනවා නම් විනාශ කරන්න එපා.  අවශ්‍ය නැත්තම් මේ වගේ තැනකට ලබාදෙන්න. අපට ලැබෙන හැමදේකම ලිඛිත තොරතුරු අපි ළඟ තියෙනවා..”
එවන් තොරතුරක් නලින්ට ලබා දෙන්නට කෙනෙකුට අවශ්‍ය  වුවහොත් 0770768807 දුරකථන අංකයෙන් ඔහුව ඇමතිය හැක. නලින් මුණසිංහ ඔහුගේ ජීවිතෙන් වැඩි කාලයක් මෙකී ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් වෙහෙසෙන අතර පවුලේම පොලිතීන් සහ කඩදාසි ප‍්‍රතිචක‍්‍රීයකරණ ව්‍යාපාරයක රැුකියාව ලෙස නියැළී සිටියි. කිරම ධම්මානන්ද විද්‍යාලයේ ගුරුවරියක වන චන්දිමා අබේවික‍්‍රම සමග විවාහ වී සිටින නලීන් තිස් හත් හැවිරිදි වියේ පසුවන්නෙකි. නුදුරේම දරුසුරතල් බලන්නට මග බලා හිඳින නලින්ගේ හෙට උපදින පුංචි පුතුද තාත්තා මෙන්ම මේ රටේ ඉතිහාසයට ආදරේ කරන දරුවෙකු වේවා…එසේ වූවොත් තවත් දශක ගණනාවක් මේ කෞතුකාගාරය සුරැුකිව පවතිනු ඇත.
බියංකා නානායක්කාර
ඡුායාරූපය –  මයන්ත පෙරේරා


Untitled-9
ශී‍්‍ර ලංකාවේ පැරණි පාරම්පරික භාණ්ඩවලින් කිහිපයක් පිළිබඳ විස්තර කරමින්
ty
කස්තානයක්
uyj
ලාක්‍ෂා නිර්මාණයක්
ut
ඉපැරණි පැන් කෙණ්ඩියක්
dth
පැරණි මුළුතැන්ගෙයි උපකරණ
fyhte
පැරණි ලේඛන
uy
ග‍්‍රැමෆෝන් යන්ත‍්‍ර, පළමුව පැමිණි පරිගණක සහ පැරණි ගණක යන්ත‍්‍ර
ujk
පැරණි පොසිල පිළිබඳව විස්තර කරම්න්
gjk
ශත දහයේ නෝට්ටු