මහා භාරකාරයාට පවරා ඈලියාවට ගිය රිච්මන්ඩ් කාසල් මහ මැඳුර

Lanka Journalist | 3:07 PM | 0 comments

මහා භාරකාරතුමා සැලකෙන්නේ මෙරට වැඩිම වත්කම් ප්‍රමාණයක් ඇති පුද්ගලයා ලෙසයි.  දරු සම්පත් නොලත් බොහෝ දෙනා තම දේපළ පොදුජන හිත සුව පිණිස උපයෝගීතාවක් ඇතිව ඵල ප්‍රයෝජනයට ගන්නට මහා භාරකාර උන්නාන්සේට තම දේපළ පවරති. දරුවන් සිටින ඇතැම් කෝටිපතින් ද තම දරුවන්ගෙන් පළිගැනීමට මහාභාරකාරතුමාට තම දේපළ පවරන අවස්ථා ද ඇත. තම නංගිලා, අක්කලා, අයියලා සහ මල්ලිලා සිඟා නොකා සිඟා කත්දී ඉන්නට බිම් අඟලක් නැතිව ලතවෙද්දී තම දේපළ මහා භාරකාර උන්නාන්සේට පවරන සත් ගුණවත් කෝටිපතින් ද සිටිති. මේ දේපළ පවරන පුද්ගලයින්ගේ අවසන් අරමුණ තම දේපළ පරිස්සම් කිරීමය. එහෙත් පරිස්සමට තැබූ දෙය ඇලියාවට ගියොත් කොහොමට හිටීවි ද?

මේ භාරකරතුමාට පැවරූ දේපළ ගැන දිග කතාන්දරයක් කියන්නට වුණේ පසුගියදා කළුතර රිච්මන්ඩ් කාසල් මන්දිරය නඩත්තුවක් නැතිකම ගැන ප්‍රවෘත්තියක් අපට දැකගත හැකි වූ නිසාය. 

ලංකාවේ ලොකු ගෙවල්වලට කියන්නේ බංගලා හෝ වලව්ව කියාය. එහෙත් කවුරුත් රිච්මන්ඩ් කාසල් එකට රිච්මන්ඩ් වලව්ව හෝ රිච්මන්ඩ් බංගලාව යයි නොකියයි. රදල කුලයේ පුද්ගලයින් වාසය කරන නිවහන් වලව් යනුවෙන් හැඳින්වේ. අපේ මේ වලව් සංස්කෘතිය එංගලන්තයේ වංශවත් පුද්ගලයින්ගේ වාසභවන වූ මැනර් හවුස් (Manor House) සමග සමගාමීය. නානායක්කාර රාජ්‍ය සමයේ අධිකරණ ශාලාව හැඳින්වීමට ව්‍යවහාර වූ ‘වලවුම්’ යන දෙමළ ​ෙහා් තෙළිඟු ශබ්දයෙන් බිඳී සිංහලයට ආ ‘වලව්ව’ මුල් කාලීනව කන්ද උඩරට ගොවිගම කුලයේ අයට පමණක් සීමා වූවකි. රොනල්ඩ් ලෙව්කොක් ඇතු‌ළු පිරිස නුවර යුගයේ වලව්ව යනු එහි පුනර්භාවිතය (Repetition) මගින් සකසා ගත් වඩා විශාල ප්‍රමාණයේ නිවාස ලෙස විග්‍රහ කොට තිබේ. එසේ නම් බංගලාව යනු කුමක් ද? ඇන්තනි ඩී කින්ග් විද්වතා කරන විග්‍රහය අනුව එය ඉංග්‍රීසි පාලකයින් විසින් හඳුන්වා දුන් සංකල්පයකි. ඉන්දියානු අර්ද්ධද්වීපයේ ඉංග්‍රීසි අාධිපත්‍ය ව්‍යාප්ත වන්නේ 19 වැනි ශතවර්ෂයේ මුල් කාලයේදීය. සුද්දා ඉන්දියාවට හඳුන්වා දුන් වතු අාර්ථිකයන් සමග බංගලාව (Bungalow) බිහිවිය. එහෙත් මෙහිදී විමසිය යුතු ප්‍රශ්නයක් වන්නේ පිටකෝට්ටේත් ඇතුලුකෝට්ටේත් අතර මීට වසර 150කට එහා තේ වතු තිබුණා ද යන ප්‍රශ්නයයි. ලංකාවේ පළවැනි පාසල වූ සී.එම්.එස්. පාසල CMS Catholic Methodist School පිහිටි හන්දිය අදත් වරනැගෙන්නේ ‘බංගලා හන්දිය’ ලෙසය. 

මෙරට ප්‍රභූ නිවාස ගැන ලිඛිතව සටහන් කොට ඇති පුද්ගලයින් දෙදෙනකු නම් මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ ආනන්ද කුමාරස්වාමි යන ශූරීන් දෙදෙනාය. රිච්මන්ඩ් කාසල් මන්දිරය තිබෙන්නේ කළුතර ප්‍රදේශයේය. මොවුන් දෙ​ෙදනාගේ කෘතිවල ප්‍රාදේශීය වෙනස්කම් (Reginol Varidtions) පදනම් කොටගත් ගෘහයක් ගැන සඳහන් වුවත් රිච්මන්ඩ් කාසල් සැලැස්මේ එකකටවත් අනුගත වන්නේ නැහැ. මෙම මන්දිරය ගැන නිර්වචනය කළ හැක්කේ ස්වභාව ධර්මයට සමීපව ජීවත් වීමට (Vernacular) තැත්දැරූ සොඳුරු වංශවතකුගේ නිමැවුමක් ලෙසය. එසේ නම් වලව්වකත් මන්දිරයකත් ඇති වෙනස කුමක් ද? මන්දිරයක කවර දෙසින් බැලුවත් වහලයේ අවසානයක් දැකගත නොහැකිය. එහෙත් වලව්වක කොයි අතින් බැලුවත් වහලයේ කොන නොහොත් ‘එඩ්ජ්’ එක සුටුස් ගා බලාගත හැකිය. 

කළුතොට පලාතොට පාරේ ඇති රිච්මන්ඩ් කාසල් මැඳුර තැනුවේ නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාය. කලිසම කළු රෙද්ද හා කබාය මුදලිවරයාගේ නිල ඇඳුම විය. කලිසමට උඩින් රෙද්ද ඇඳි නිසා ඒ සන්දියේ මුදලිවරුන් හැඳින්වූයේ රෙද්ද අස්සේ මහත්තුරු ලෙසය. මුදලිතුමාගේ පියා නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් පවුලිස් ද සිල්වාය. ඔහු පරාක්‍රමබාහු රජුට නෑකම් ඇත්තෙකි. ඔහු ඒ යුග​ෙය් කෝට්ටේ විසූ ප්‍රභූවරයකු විය. එහෙත් බෞද්ධ ප්‍රභූවරුන්ට වූ මරණ තර්ජන හමුවේ මුදලිතුමාගේ පියා බද්දේගම දක්වා පසුවන්නේ ජීවිත ආරක්ෂාව උදෙසාය. අපේ මේ මුදලිතුමාගේ මව වූයේ ඉසබෙලා ද සිල්වාය. මීට වසර 35කට පෙර මේ රිච්මන්ඩ් කාසල් මන්දිරය ගැන සිළුමිණ පුවත්පතේ ලිපියක් පළකොට තිබුණේ කළුතර දිවාකර මොහොට්ටි විසිනි. වසර 1982 යි. අද 89 වැනි වියේ පසුවන මොහොට්ටි මහතාගෙන් විමසූ විට දැන ගත හැකිවූයේ කොල්ලුපිටියේ ඉසබෙලා මන්දිරය මුදලිතුමාගේ පියා ගොඩනැගූ එකක් බවය. 

මුදලිතුමාට අයියා කෙනෙකු සහ නංගි කෙනෙකු සිට ඇත. අයියා හෙක්ටර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන නම් විය. මුදලිතුමා සහ අයියා ඉංගිරිසි අධ්‍යාපනය සඳහා සහ යටත් විජිතවාදීන්ගේ සංස්කෘතිය උගත්කමට නැව් නගින්නේ කුඩා කලදීමය. පර සුද්දන්ගේ අධ්‍යාපනයෙන් පසු විවිධ විදේශීන්හි කරක් ගැසීමට අප මේ මුදලිතුමා අමතක කළේ නැත. මුදලිතුමාගේ ජීවන චරිතය අධ්‍යාපනයේ පැහැදිලිවම පෙනී යන කරුණක් නම් ඔහු අධිරාජ්‍යවාදීන්ගේ කීකරු ගෝලයකු බවය. ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඔහු ලත් තාන්න මාන්න ඊට කදිම සාක්කියකි. එංගලන්තයේ ජීවත් වූ 5 වැනි ජෝර්ජ් රජුගේ පිළිරුවක් මුදලිතුමා ගොඩනැගු​වේ මේ බ්‍රිතාන්‍ය කිරීටය සමග වූ සබඳියාව නිසා විය යුතුය. එය විවෘත කොට ඇත්තේ එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් ජෝන් ඇන්ඩර්සන් උතුමානන් විසිනි. එම විවෘත කිරීම ගැන සොයිසා පරම්පරාවේ පුවත්පතක් වූ Morning Leader පුවත්පතේ ඡායාරූප වාර්තාවක් ඇත. එහෙත් අද ඉතිරිව ඇත්​ෙත් කළුතර ඔරලෝසු කණුව වටා ඇති සිංහ රූප පමණි. 


චාල්ස් හැන්රි ද සොයියා චරිතය නමින් 1904 දී සවිස්තරව පළ කරන ලද්දේ ඡායාරූප විශාල සංඛ්‍යාවක් සමග පිටු 900ක මහා ග්‍රන්ථ රත්නයක් ලෙසය. එහි ඔහුගේ මරණයට තුඩුදුන් කරුණු ගැන සඳහන්ව ඇත. එහෙත් නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් සිල්වා විජේසිංහ සිරිවර්ධන මුදලිතුමා ද තම ජීවන චරිතය ග්‍රන්ථාරූඪ කර තිබුණේ නම් එතුමාගේ විවාහය දරුපල මෙන්ම අවුරුදු 31 පවුල් කෑ බිරිඳගෙන් වෙන්වූ හැටි ගැන සමාජයේ ඇති දුර්මත දුරුකළ ගත හැකිව තිබුණි. 

මුදලිතුමා එංගලන්තයේ ඉගැනුම ලබත්දී විවිධ රටවල යටත්විජිතවල ප්‍රභූවරුන්ගේ දරුවන් ද ඔහුගේ සමකාලීනයින් වූහ. ඉන්දියාවේ රවින්ද්‍රනාත් මහරාජාගේ පුතා සමග මුදලිතුමා දැක්වූයේ දැඩි සබඳතාවයකි. එංගලන්තයේ අධ්‍යාපනයෙන් පසු ලංකාවට ඒමට පෙර මුදලිතුමා රාම්නාද් මහරාජාගේ මන්දිරයට ගොඩවන්නේ ආරාධනයෙනි. මන්දිරයේ සැලැස්ම දැක අන්දමන්ද වූ මුදලිතුමා එහි සැලැස්ම මහරාජාගෙන් ඉල්ලූ මුත් ලංකාවේ කබ්බන්ට මෙවැනි මාලිගාවක් තැනීමට කාසි නැතැයි කියමින් මුදලිතුමාගේ ඉල්ලීම අවඥාවෙන් බැහැර කරන ලදී. ලංකාවට පයින්ඩයක් යැවූ මුදලිතුමා මන්දිරය දැක බලා ගැනීමට ලංකාවෙන් ගෙන්වා ඇති බව කියවේ. අසල්වාසීන් කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියකු සහ මේසන්වරයකු මෙසේ කුඩලිගම ප්‍රදේශයෙන් ඉන්දියාවට නැව් නැගි බවයි. කෙසේ නමුත් මෙම මන්දිරයේ වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පය නම් මේ ගිය ඇත්තන් බොහොමයක් ඉහළින් අධ්‍යයනය කොට තිබූ බව නම් නොකිය බැරිය. 
ලංකාවට ආ අපේ කතානායකයාට කළුතර මහමුදලි තනතුර ලැබෙන්නේ ඉන්පසුවය. ඔහුට යටහත් ප්‍රාදේශීය මුදලිවරු 12ක් සහ හේවායන් පිරිවරාගත් ඡායාරූපයක් රිච්මන්ඩ් කාසල් මැඳුරේ ඇත. ඔහුගේ ඊළඟ අරමුණ වූයේ ඉන්දියාවේදී තමන් දුටු මාලිගාව තැනීමයි. ඔහු මේ සඳහා තෝරා ගත්තේ කළුතර පලාතොට කලුගං මිටියාවතට මායිම් වූ තරමක් උසින් පිහිටි බිම් තීරුවකි. ලේඛනවල දැක්වෙන්නේ මේ භූමිය අක්කර 42ක් බවය. 
මන්දිරය තැනීමට ප්‍රධාන වශයෙන් යොදාගෙන ඇත්තේ ආනයනය කරන ලද ගොඩනැගිලි ද්‍රව්‍ය බව පැහැදිලිව පෙනී යයි. මන්දිරය තැනීමට ලංකාවෙන් හුණු, වැලි, කළුගල් පමණක් යොදාගෙන ඇති අතර මෙහිදී ප්‍රධාන කාරණයක් වන්නේ මෙම විස්මිත නිමැවුම මුළුමනින්ම හැදීමට මුල් වූයේ ඉන්දියන් තාක්ෂණය වීමයි. මෙහි ගඩොල් හා උළු පවා ආනයනය කොට ඇත්තේ ඉන්දියන් සැලැසුමක් අනුව මෙය නිර්මාණය කළ නිසා විය යුතුය.

මෙහි ඇතැම් බිත්ති අඩි 2 ඝනකමින් යුක්තය. මේ සඳහා බුරුම ​ෙත්ක්ක නැවක්ම කොළඹ වරායේ සිට කළුතරට ගෙනවිත් එතැන් පටන් පාරු සහ බත්තල් මගින් කළු ගඟ හරහා ගෙන ආ බවට ජනප්‍රවාදයේ ඇතැයි අප කලින් සංවාදයට එක්කරගත් මොහොට්ටි මහතා පවසා සිටී. මෙහි ජනෙල් වීදුරු ඉතාලියෙන් හා ප්‍රංශයෙන් ද නාන කාමර උපකරණ සහ ගෙබිම ඇතිරූ ටයිල් වැනි මැටි පුවරු එංගලන්තයෙන් ද ගෙන්වා ඇත. අවසානයේ ඉන්දියාවේ රවිනාත් මහරජාගේ මාලිගයටත් වඩා විශාල මන්දිරයක් ගොඩනගන්නට ලංකාවේ සූර මේසන්ලා, වඩුබාස්ලා සමත් වී ඇත. මොවුන් බොහොමයක් මුදලිතුමා යටතේ වූ මුදලිවරුන් 12 දෙනාගේ යටත් වැසියන් මෙන් දිවි ගෙවූ පුද්ගලයෝ වූහ. 
මෙම මන්දිරයේ උළුවහු 99කුත් ජනෙල් 38කුත් තිබූ බව මුල් ලේඛනවල ඇත. කාමර 14ක් උඩුමහලේ සහ පහත මහලේ ඇත. මහා සිසිලසක් දැනෙන නෘත්‍ය ශාලාවක් ඇත. මෙය “නැචුරල් ඒ සී” ලෙස ද සමහරු විග්‍රහ කරති. වේදිකාවක් මත ඉදිකර ඇති දැවමය බිම ටෙනිස් බෝලයකට වඩා තරමක් කුඩා සිදුරු දක්නට ඇත. මෙම සිදුරු බට මාර්ගයෙන් කළුගඟ තෙක් දිවයන අතර කළුගඟේ සිසිල් වාතාශ්‍රය ශාලාවට ගෙන ඒම එහි අරමුණ විය. මේ බිම සඳහා යොදා ඇත්තේ ආනයනික ඕක් ලීය. 
තම මන්දිරයට ගෙවැදීමත් තම විවාහයත් එකම දිනක පැවැත්විය යුතු බවට මුදලිතුමා දැරුවේ තදබල මතයකි. එහෙත් ඔහු ජ්‍යොතිෂ විශ්වාස කළ බවක් දක්නට නැත. ඔහුගේ ව්‍යාපාර අතර රේන්ද, වැවිලි, මැණික් හා මිනිරන් පතල් වෙයි. ඔහුට වැවිලි රජ්ජුරුවෝ යැයි කියූ බව එක් ගැමියකු කියූව ද තවත් ගම්වැසියකු අප සමග පවසා සිටියේ රබර් රජ්ජුරුවෝ ලෙස සඳහන් කරන ලද්දේ විල්මට් ඒ. පෙරේරා මහතාගේ පියා බවය. නමුත් උත්පත්තියෙන් පිරිසිදු බෞද්ධ පවුලක දරුවකු වූ මුදලිතුමා කුඩා කලම කතෝලික දහම වැළඳ ගත්තේ ප්‍රතිපත්තිමය වශයෙන් ද නැත්නම් ඉංගිරිසි ආණ්ඩුවේ වරප්‍රසාද ලබා ගැනීමට දැයි තීරණය ඔබ සතුය. 

මුදලිතුමා කරකාර බඳින්නට තෝරා ගත්තේ මහනුවර රදල පවුලක දෙවැනි දියණියයි. එවකට එම ළමා තැනීගේ පියා කළුතර නඩුකාර උන්නාන්සේ ලෙස සේවය කොට තිබිණි. ‘පාතයෙක්’ වූ මුහන්දිරම් ගොයියාට හිර දෙන්නට රදලයෝ කැමති වූයේ නැත. එහෙත් ඔහු ගොඩනැගූ රිච්මන්ඩ් මැඳුර දුටු උඩරට රදලයන් අන්දුන්කුන්දුන් වූහ. මහමුදලිගේ ප්‍රෞඩත්වය හමුවේ රදලයෝ පසුබා ක්ලැරිස් මෝඩ් මැටිල්ඩා සූරිය බණ්ඩාර ළමා තැනී මනමාලිය ලෙස රිචම්න්ඩ් මැඳුරට කැඳවාගෙන යෑමට අවසර දෙන ලදී.

වජිර ලියනගේ

ලිපි ඔබේ වෝල් එකටම ගෙනවා ගන්න ෆෙස්බුක් පිටුවට ලයික් කරන්න කරන්න

Category: , ,

sinhala.lakdiva news:
sinhala.lakdiva news

0 comments